චිත්‍ර­ක­තා­වට යළි පණ දෙන්නට සැර­සෙන වසන්ත පර­ණ­වි­තාන | සිළුමිණ

චිත්‍ර­ක­තා­වට යළි පණ දෙන්නට සැර­සෙන වසන්ත පර­ණ­වි­තාන

ලෝකයේ ප්‍රබලම මාධ්‍යයක් වන චිත්‍රකතාව අපේ රටේ ආරම්භ වන්නේ ජී. ඇස්. ප්‍රනාන්දු නම් ප්‍රවීණ චිත්‍රශිල්පියා ඇඳි ‘නීලා‘ චිත්‍රකතාවෙනි. ඉන්පසු සුසිල් ප්‍රේමරත්නයන්ගේ ලන්දේසි හටන වැනි පොත් බිහිවුණු අතර පසුව 70 දශකයේ චිත්‍රකතාව මෙරට අතිශයින් ජනප්‍රිය විය. 80දශකය මෙරට චිත්‍රකතා කලවේ ස්වර්ණමය යුගයයි. විවිධ පුවත්පත්වල තීරු ලෙස චිත්‍රකතා පලවුණු අතර මෙරට පළමු චිත්‍රකතා පත්‍රය වූයේ ලේක්හවුස් ආයතනය ප්‍රකාශයට පත්කළ ‘සතුට‘ පත්‍රයයි. ඉන්පසු සිත්තර, සත්සිරි,මධුර, සිතුවම්, සිතුවම, සුහද, දසුන,චිත්‍රමිත්‍ර, ස්වර්ණ වැනි චිත්‍රකතා පත්තර ගණනාවක් බිහිවුණු අතර අද වන විට එයින් ඉතිරිව ඇත්තේ සතුට පුවත්පත පමණි. අතීතයේ අප චිත්‍රකතා බලා කියැවිමෙන් ලබාගත් රසවත් අත්දැකීම යළිත් ලබා දෙන්නට කටයුතු කරන සුවිශේෂී චරිතයක් සිටී. චිත්‍රශිල්පියකු ලෙසත් රසිකයකු ලෙසත් තමන් එදා රසවිඳ ලැබූ අත්දැකීමත් පැරැණි රසබර මතකයත් යළි මෙරට ජනතාවට ලබාදෙන්නට කටයුතු කරන ඔහු නිමන්සා ප්‍රකාශන අධිපති වසන්ත පරණවිතානයි.

‘‘මගේ නම වසන්ත පරණවිතාන. ගම මීරිගම. මුලින්ම පාසල් ගියේ මීරිගම නාවන්න මහා විද්‍යාලයට. ඊට පස්සෙ මීරිගම ඩී. එස්. සේනානායක විද්‍යාලයට ආවා. නාවන්න මහා විද්‍යාලයේ ඉන්න කාලෙයේ ඉඳන් අපි චිත්‍රකතා වලට බොහොම ආසයි. ඒ නිසාම ඉස්කෝලෙ චිත්‍රකතා සඟරාවක් කළා. යාළුවො අතරේ හොරෙන් තමයි බැලුවේ. මේක අහුවෙලා ප්‍රින්සිපල් ගෙන් ගුටි කෑවා. ඒ දවස්වල තිබුණේ ලේක්හවුස් එකෙන් මුද්‍රණය කළ ‘සතුට‘ පත්තරේ විතරයි. සතියකට සැරයක් ඒක ගෙදර ගේනවා. අහල පහළ ගෙවල්වල කට්ටිය එක්ක අයියලා, අපි බෙදාහදාගෙන බලනවා. අපි විනෝදාංශයක් විදිහට කළේ චිත්‍රකතා පත්තර බලන එකයි චිත්‍ර අඳින එක තමයි. ඒක තරුණ වයසට ඇවිත් වැඩිහිටියන් වුණත් අතහැරුණෙ නැහැ. කාලයක් යනකොට චිත්‍රකතා පත්තර හතු පිපෙන්නා වාගේ වැඩිවෙලා නැතුව ගියා.‘‘

වසන්ත චිත්‍රකතා පොත් එළි දක්වන්න පෙළඹී ඇත්තේ අපූරු සිදුවීමකින්.

‘‘කාලයක් ගතවෙලා මීට වසර කීපයකට ඉස්සර චිත්‍රකතා ශිල්පීන්ට සම්මාන පිරිනැමෙන සම්මාන උලෙළක් තිබුණා. සම්මාන උලෙළට ගියාම මට හිතුණා මේ නැතුව යන චිත්‍රකතා ආයෙත් පටන් ගන්න ඕන කියලා.

මට චිත්‍ර ශිල්පී අරවින්ද හඳුනාගන්න ලැබුණේ එතැනදී . දවසක් මම කෝච්චියේ යනකොට අරවින්ද ආයෙත් හම්බවුණා. අරවින්ද එදා මට ජගත් හේවාපන්න අඳුන්වලා දුන්නා. එදා අපි චිත්‍රකතා ගැන කතා කර කර යන අතර මම කිව්වා මට චිත්‍රකතා පොත් ගහන්න ආසයි කියලා. එතකොට අරවින්ද කිව්වා අපි උදව් කරන්නම් ඔයා පටන් ගන්න කියලා. ඒ අනුව මම මුලින්ම සිත්තර පත්‍රයේ පලවුණු සරත් කවිරත්න චිත්‍රශිල්පියාගේ හිතට වහල්වීමි කියන චිත්‍රකතාව පොතක් ලෙස මුද්‍රණය කළා. ඊට පස්සේ සරත්මධුගේ යුනිකෝ, නිව්රෝ, අනුර විජේවර්ධනගේ විරෝ, රොබින් හුඩ්, හර්කියුලීස් චිත්‍රකතා පොත් එළිදැක්වුවා.‘‘

එහෙම ආරම්භ කළ ගමන දැන් ගොඩක් දුර ඇවිත්. ‘‘මේ වෙනකොට චිත්‍රකතා පොත් 45 ක් පමණ කරලා තිබෙනවා. මේ දිනවල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය වෙනුවෙන් පොත් 7 ක් මුද්‍රණය කළා. බන්ධුල හරිශ්චන්ද්‍රගේ හෙලන්, ඇන්ටන් බී.පෙරේරාගේ සාතන්ගේ දූපත, ගුණපාල ජයලත්ගේ වර්ණ සහ ත්‍රාස, වික්‍රමගේ පංචාලී, ඉන්ද්‍රජිත් රන්ජන් දන්තනාරායනගේ නිරාශා, සහ අනුර විජේවර්ධනගේ පුල්ලි සහ සේන ඒ අතර වෙනවා. මේ කාර්යය ආරම්භ කරන එක එතරම් ලෙහෙසි කටයුත්තක් නොවේ.

‘‘මම මේක පටන් ගත්තේ හරිම අමාරුවෙන්. මුල් කාලයේ චිත්‍රශිල්පීන්ට මම කරන්න යන වැඩේ ගැන එතරම් අවබෝධයක් වටිනාකමක් තිබුණෙ නැහැ.

මුලින්ම සමහරු මාව ගණන් ගත්තේවත් නැහැ. මම චිත්‍රකතා ඉල්ලගෙන චිත්‍ර ශිල්පීන් පස්සෙන් ගියා. දැන් චිත්‍ර කතා ශිල්පීන් අතර මාව ජනප්‍රියයි. ‘‘ මේ පැරැණි චිත්‍රකතා සොයාගැනීම ඉතා දුෂ්කර කාර්යයක්

‘‘ මම චිත්‍රකතා වලට කොච්චර ආසාවුණත් මගේ ළඟ එකතුවක් තිබුණෙ නැහැ. ඒත් අද වෙනකොට ලංකාවේ හැම අතින්ම චිත්‍රකතා එකතු කරපු අය මට ටෙලිෆෝන් කරලා චිත්‍රකතා දෙනවා බලෙන්.

අපේ ගෙදර දැන් පරණ චිත්‍රකතා පත්තර, පොත් පිරිලා තිබෙනවා. ඒ අය මට දෙන්නේ මම ඒවා සංරක්ෂණය කරලා පොත් ගහන නිසා. දැන් මම ළඟ ගොඩක් පැරැණි, සොයාගන්න අපහසු, දුර්ලභ ගනයේ චිත්‍රකතා පොත් තියෙනවා.‘‘ නිශාන්ත කෝදාගොඩ කියලා වේයන්ගොඩ යාළුවෙක් ඉන්නවා. එයා තමයි SL COMICS කියන වෙබ් අඩවිය කරන්නේ. එයා මට මේවා ස්කෑන් කරලා ගෙනැත් දෙනවා.

ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් වන ඇන්ටන් බී. පෙරේරා සහ අනුර විජේවර්ධන මට ගොඩක් උදව් කරනවා. ඔවුන් මුදල් ගැන හිතලා නෙමෙයි ඒ දේවල් කරන්නේ. මේ කලාව රැක ගන්න ඕන කියන අදහසිනුයි. ඇත්තටම මගේ මතයක් ඒකම තමයි. මට ඕන මම ආසාකරපු මේ චිත්‍රකතා කලාව මතු පරපුරට රැක ගන්නයි.

මෙවර පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය චිත්‍ර කතා රසිකයින්ට හොඳ අවස්ථාවක් .

BMICH හ් H හෝල් එකේ 234 ප්‍රදර්ශන කුටියට පැමිණියහොත් මේ චිත්‍රකතා පොත් සියල්ල දැකගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ චිත්‍ර කතා නිර්මාණය කළ චිත්‍ර ශිල්පීන් හමුවන්නත් අවස්ථාව උදාවේවි. වසන්ත මේ ක්ෂේත්‍රය තෝරාගන්නට හේතුව ඔහු කුඩා කල සිට චිත්‍ර ශිල්පයට දැක්වූ දක්ෂතාව මෙන්ම ආසාවයි.

‘‘ඇත්තටම මමත් චිත්‍ර ඇන්දා. පොඩි කාලයේ කළේ මේ චිත්‍රකතා පත්තරවල තියෙන චිත්‍ර බලාගෙන ඇඳපු එකයි. පස්සෙ ලේක්හවුස් එකට ඇවිත් පී. වික්‍රමනායක මහත්මා හම්බ වුණා. එතුමන් ගෙන් උපදෙස් ගත්තා. ඒ අනුව මම එක්දින චිත්‍රකතා ඇන්දා. පසුව සතුට පත්‍රය විජය ප්‍රකාශනයක් විදිහට මුද්‍රණය කළා. ඒ සතුට පත්‍රයේ මගේ එක්දින චිත්‍රකතා කිහිපයක් පලවෙලා තිබෙනවා. එතුමන් සිහිවෙන්න තමයි මම මේ පංචාලි පොත මුද්‍රණය කළේ.‘‘

අලුතෙන් බිහිවුණු චිත්‍ර ශිල්පීන්ට අතදෙන්නට වසන්තගේ අදහසක් ඇත.

‘‘දැනට මම මේ විදියට එළිදක්වලා තියෙන්නේ පැරැණි අයගේ චිත්‍රකතා විතරයි. ඒත් මගේ අදහසක් තිබෙනවා නව පරපුරේ දක්ෂයින්ගේ චිත්‍රකතා නිර්මාණත් මේ විදියට මුද්‍රණය කරන්න. අලුත් කෙනෙක් මට කතා කළොත් මම උදව් කරනවා.‘‘

නිමංසා ප්‍රකාශන 25/2 ස්වර්ණ ජයන්ති මාවත, වලව්වත්ත, මීරිගම යන ලිපිනයට ලිවිමෙන් වසන්ත පරණවිතාන සම්බන්ධ කරගත හැකියි.


කලාකරුවන් සඳහා සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩසටහන

නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් 2018 වර්ෂයේදි ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන වැඩසටහන් අතරින් ප්‍රමුඛතම වැඩසටහනක් ලෙස කලාකරුවන් සඳහා සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩසටහන ක්‍රියාත්මකකර ඇත.

මෙම වැඩසටහන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඒකාබද්දව සංවිධානය කරනු ලබයි. මෙරට කලා ක්ෂේත්‍රය පෝෂණය කරමින් සුවිශාල මෙහෙවරක් ඉටුකළ කලාකරුවන් උදෙසා මෙය ක්‍රියාත්මකයි. තෝරාගන්නා ප්‍රතිලාභීන් සපුරාලිය යුතු සුදුසුකම් අතර ශ්‍රි ලාංකික කලාකරුවකු වීමත් , ජාත්‍යන්තර, ජාතික පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් ඇගයීම ලද අවම වශයෙන් අවුරුදු 20ක කලා ක්ෂේත්‍රෙය් අඛණ්ඩ දායකත්වයක් සපිරූ අයෙක් විය යුතුය. මේ පිළිබඳව වැඩිදුර විස්තර ළඟම පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ සංස්කෘතික විෂයභාර නිලධාරීන්ගෙන් ලබාගත හැක. ජයන්ති කුරේ

 


චම්පිකාගෙන් සැනසුමට මඟ කියන මෝහන විද්‍යාව මනෝ විද්‍යාත්මක විග්‍රහය

පනස් වස අභිමුවේ සිටින තරුණි පුවත්පතේ වැඩිම කාලයක් එනම් දශක දෙකකට අධික කාලයක් එක දිගට පළවන එකම විශේෂාංගය වන්නේ ස්වාපනික චිකිත්සාව (මෝහනය) අළලා පළවන විශේෂාංගය ය.

වත්මනෙහි එය සුබසෙත පුවත්පතෙහිද පළවේ. සිතට සැනසුමක්, සිතට සහනයක් , රීඩ් යුවර් මයින්ඩ්, රිෆ්රෙෂ් යුවර් මයින්ඩ්, සිතට ගැටලුවක් ආදි විවිධ නම්වලින් පළවු එම විශේෂාංගය දිගු කලක් රැගෙන ආ ලේඛිකාව වුයේ තරුණි පුවත්පතේ විසි පස් වසක් සේවය කළ ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදිනිය වන චම්පිකා දීපානි රණසිංහය.

ධර්මා එස්. සමරනායක හිටපු තරුණි කතුවරියගේ ඇරයුමෙන් ඇරැඹී වෛද්‍ය ජී. ඒ ගමගේ මහතා උපදෙස් ලබාදුන් එය අතිශය ජනප්‍රිය විශේෂාංගයක් විය. ඒ ඇසුරෙන් ඇය ශ්‍රි ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති වෛද්‍ය පී. එන් විද්‍යා කුලපති සමග සාකච්ඡාකර සැනසුමට මඟ කියන මෝහන විද්‍යාව නමින් සම්පාදනය කළ කෘතිය මෙවර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි දොරට වඩී.

දැනට සුබසෙත නියෝජ්‍ය කතුවරියවන මේ සම්මානනීය මාධ්‍යවේදිනිය පුංචි ක්‍රිශ්ණා, යහපත් මහරජ, එමිකෝ, ගැබිනි මවට අත්වැලක්, මානසික රෝග වලින් මිදෙමු, ආතරයිට්ස් වළක්වා ගනිමු, ළමා මනස හඳුනා ගනිමු, කැලෑ ගමේ අවුරුදු, ගස් අපේ යාළුවෝ, ඩිංගිරි මාමාගේ අපූරු උගුල, ටික්කා මීයාගේ ගැලවිජ්ජාව, කපටි ගිනි මකරා, රජ හිනාව, සෙල්ලම ලෙල්ලම වෙයි කෘති මින් පෙර සම්පාදනය කර තිබේ.

ඇයගේ නවතම කෘතිය මනස, මනෝ විද්‍යාව, මෝහනය ගැන උනන්දුවක් දක්වන පාඨකයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත්වනු ඇත. මෙය ෆෙදර් ප්‍රින්ට් බෙදා හැරීමකි. විමසීම් 0775827045


රෝහණ සිරිවර්ධනගේ ‘ඔබේ අතගෙන ගී ප්‍රසංගය‘ 28 දා යොවුන් රඟහලේදී

දශක හතරක් පුරා කලා ක්ෂේත්‍රයේ රැඳී සිටින ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ සිරිවර්ධනගේ සුභාවිත ගී ඇතුළත් ‘ඔබේ අතගෙන පෙර සැඳෑවක‘ ප්‍රේමණීය ගී ප්‍රසංගය ලබන 28 වැනි සිකුරාදා සවස 6.30 ට මහරගම යොවුන් රඟහලේදී පැවැත්වේ. නිර්මලා රණතුංග, දමයන්ති ජයසූරිය, සෙව්වන්දි රණතුංග, අනුරාධා නන්දසිරි, සන්ධ්‍යා බුලත්සිංහල යන ප්‍රවීණ ගායන ශිල්පිනියන් යුග ගායනයෙන් දායකවන මෙම ප්‍රසංගය විශාරද මනෝජ් පීරිස්ගේ සංගීතයෙන් රසවත් වන අතර වසන්ත රෝහණ නිවේදනයෙන් සහාය වෙයි.

1960 දශකයේ චිත්‍ර ශිල්පියකු ලෙස දස්කම් ප්‍රකට කළ රෝහණ කොළඹ ආනන්ද මහා විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. පාසල් කාලයේ ප්‍රේමවංශ හපුවලාන සහ අනිල් මිහිරිපැන්න ගුරුවරුන් යටතේ සංගීතය හදාරා කරුණාරත්න අබේසේකර මහතාගේ ‘ළමා පිටියෙන්‘ ගායනයට හා නාට්‍ය ශිල්පයට අත්පොත් තැබීය.

1970 වසරේ දී ගුවන් විදුලියේ වැඩසටහන් සම්පාදකවරයකු ලෙස කටයුතු කළ රෝහණ 1975 සිට සරල ගී ශිල්පියකු , නාට්‍ය ශිල්පියකු මෙන්ම වැඩ සටහන් සම්පාදක වරයකු ලෙස කටයුතු කළේය. එසේම රෝහණ ගුවන් විදුලියේ Aශ්‍රේණියේ ගායන ශිල්පියකු ලෙසද සමත්ව ඇත. 1995/ 96 දී ඕ.සී.අයි.සී. ජාත්‍යන්තර උණ්ඩා අභිනන්දන සම්මාන උලෙළේදී ‘ස්වර්ණ‘ සම්මානය හිමිකරගත් රෝහණ සත්වෙනි දවස, නිල්ල සොයා, කවුද හරි, යන චිත්‍රපටවලට යුග ගායනයෙන් දායකවී ඇත.

ඔබේ අතගෙන, දේව මන්දීරේ, සීත කඳුරැල්ලේ, මටත් හොරෙන්, ලියූ පෙම්වදන්, ලොවේ කොයි කාටත් හොරෙන්, ඔබේම ඉන්දු, හමුවේවා, ඈ සසැලී සහ වරදින්නේ නැත මට හැමි බත් පත වැනි ගීත අදටත් ජනප්‍රියය. කැසට් යුගය උදා කරමින් 1979 වසරේ මෙරට සුභාවිත ගීතය උදෙසා ‘සින්ග් ලංකා‘ ආයතනය නිෂ්පාදනය කළ කැසට්පට සඳහා ශිල්පීන් 10 දෙනකු තෝරාගත් අතර රෝහණ සිරිවර්ධන ගැයූ මටත් හොරෙන් කැසට් පටය ඊට ඇතුළත් විය. ලලිත කලාව සහ පුණ්‍ය කටයුතු සංවර්ධනය තේමා කොටගෙන මෙම ප්‍රසංගය සංවිධානය කරනුයේ සඳල කලා සංසදයයි.

Comments