ගැටලු විසඳාගන්න පොලිස්පතිට සති 2ක් | සිළුමිණ

ගැටලු විසඳාගන්න පොලිස්පතිට සති 2ක්

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති නිර්දේශ දින 14ක් ඇතුළත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලෙස අගමැතිවරයා, කථානායකවරයා ඇතුළු 10 දෙනකුගෙන් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පොලිස්පතිවරයාට නියෝග කළ බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති පී.එච්. මනතුංග මහතා සිළුමිණට කීය.

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම පමා වන තත්ත්වයක් පෙනෙන්නට තිබෙන හෙයින් මෙලෙස කඩිනම් තීරණවලට එළඹෙන ලෙස දැනුම් දුන් බවද සභාපතිවරයා පැවසීය.

කොමිෂන් සභාවේ සභාපතිවරයා හා සෙසු සාමාජිකයන්ද පොලිස්පතිවරයාද පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට කැඳවා එම දෙපාර්ශ්වය අතර කටයුතු කිරීමේදී මතුව තිබෙන ගැටලු පිළිබඳ පුළුල් ලෙස අවධානය යොමු කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එලෙස දින 14ක් තුළ දැනට විසඳී නැති සියලු ගැටලු විසඳාගන්නා ලෙස දන්වා තිබේ.

සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කොමිෂසන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවයි. එසේම කොමිසමට යම් බලපෑමක් කරන ඕනෑම අයකුට වසර 8ක සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂයක දඩයක් හෝ මේ දඬුවම් දෙකම හෝ නියම කළ හැකි බවද ඔහු කීය.

Comments