කෝපි කඩෙන් රංග­න­යට පැමිණි අරුණ කුමාර | සිළුමිණ

කෝපි කඩෙන් රංග­න­යට පැමිණි අරුණ කුමාර

පුංචි තිරයේ නාළිකා ගණනාවක විකාශය කෙරෙන ටෙලි නාට්‍ය ගණනාවකින් ඔබ හමුවට එන අරුණ කුමාර මේ දිනවල රසික ආදරය දිනූ රංගන ශිල්පියෙක්. අළු, සිඳු, හඳයා, අහිමි, හරස් පාර, පැකේජ්, අහස් මාළිගා, දෙව්ලියේ, ආදරය ගින්දරක්, කොළඹ අපි ආවා, පැහැසරා, හාරකෝටිය, සල්සපුනා ටෙලි නාට්‍ය හරහා ඔබට සමීප අරුණ දැන් පුංචි තිරයට නැතුවම බැරි රංගන ශිල්පියෙක්. කවදත් බොහොම නිහඬ රංගන ශිල්පියකු ලෙස ක්ෂේත්‍රයේ කා අතරත් සුහද මේ රංගන ශිල්පියා පසුගියදා පත්තර මහ ගෙදරට ගොඩවැදුණේ නවක තතු අපට කියන්නටයි.

'මගේ ගම තඹුත්තේගම, මකුලෑව. මකුලෑව මහා විද්‍යාලය, ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලය සහ කැකිරාව මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා. පුංචි කාලෙ සිටම රංගනයට කැමැත්තක් තිබුණත් අපේ ප්‍රදේශය කොළඹින් ගොඩක් දුර බැහැර නිසා ඒ සඳහා අවස්ථාවක් ලබාගත නොහැකිවුණා. මගේ අම්මා, තාත්තා සහ යහළුවන් පවා නිතරම කීවේ මගේ පෙනුම රංගන ශිල්පියකුට සරිලන බවයි. නමුත් ඒ සඳහා මාර්ගය විවර වෙන්නේ එම පළාතේ සංගීත සංදර්ශන සම්බන්ධීකරණ කෙනෙක් ලෙස වැඩ කිරීමත් එක්ක.එයින් මට ප්‍රදේශයේ පැවැත්වෙන සංගීත සංදර්ශන සඳහා සහභාගිවන කලාකරුවන් හඳුනා ගැනීමට අවස්ථාව හිමිවුණා.

ඒ මාර්ගයෙන් තමයි කෝපි කඩේ පාලගේ චරිතය නිරූපණය කරන උපසේන සුබසිංහ මහතාව හමුවන්නේ. ඔහුගේ මාර්ගයෙන් ස්වාධීන රූපවාහිනියෙන් ඉදිරිපත් කෙරෙන කෝපි කඩේ ටෙලිනාට්‍යයේ කැමරා ශිල්පියකුගේ චරිතය නිරූපණය කරන්න අවස්ථාව ලැබුණා.ඒ මගේ පළමු ටෙලිනාට්‍ය රංගනයයි. ඉන්පසු බණ්ඩාර දෙයියෝ ටෙලි නාට්‍යයේ ජැක්සන් ඇන්තනීගේ ගෝලයා ලෙස රඟපාන්න අවස්ථාව ලැබුණා.

බණ්ඩාර දෙයියෝ ටෙලිනාට්‍ය රඟපෑමත් සමග අරුණගේ රංගන දිවියට නව ආලෝකයක් උදාවුයේය. කලාවට ආධුනිකයකු වු අරුණට විවිධ චරිත ලැබෙන්නට විය.

'කලාවට ටික ටික අවතීර්ණ වුවාට පසුව ලැබෙන චරිත ප්‍රමාණය වැඩි නිසා තඹුත්තේගම වැනි දුර බැහැරක සිට කොළඹට ඒමට අපහසු වුණා. ඔය කාලයේදි තමයි තලවතුගොඩ ඒෂියා හෝල්ඩින් ආයතනයේ සේවයට බැඳෙන්නේ. දැන් කලාවට ඇවිත් වසර තුනයි. රැකියාවටත් වසර තුනයි. ඒ වසර තුනට රඟ පෑ ටෙලිනාට්‍ය සංඛ්‍යාව දහයකට වැඩියි. මේ දිනවලත් ටෙලිනාට්‍ය කිහිපයක් රූ ගත කරනවා.

මට රංගනය ශිල්පියකු ලෙස මේ ගමන එන්නට අතහිත දුන් කිහිප දෙනෙක් ඉන්නවා. ඔවුන් තමයි චනික පෙරේරා, නාලන් මෙන්ඩිස්, ධනුෂ්ක පෙරේරා, සහාය අධ්‍යක්ෂවරුන් වන තුෂාර සම්පත්, තරිඳු ඉලංගකෝන්, පිටපත් රචක සුනන්ද සිල්වා. ඒ වගේම මගේ පවුලේ සියලු දෙනාව ඉතා ආද‍රයෙන් මතක්කරනවා.'

අරුණට ලැබෙන බොහො­් චරිත පොලිස් නිලධාරීන්ගේ චරිතය. ඒ ඔහුගේ පෙනුම සහ හැසිරීම නිසාවෙනි. ලැබෙන ඕනෑම චරිතයකට සාධාරණය ඉටුකරන මේ රංගන ශිල්පියා රාත්‍රි රැකියාව කර දහවල් කාලයේ රඟපෑමට යයි. මේ සියලු වැඩ අතර සති අන්තයට තඹුත්තේගම බලා යන්නේ නිවැසියන් දැකීමටයි. විජය , ගාමිණී අඩි පාරේ යන්න උත්සාහ කරන අරුණගේ ලොකුම බලාපොරොත්තුව ඉක්මනින්ම සිනමා රංගනයට පිවිසීමයි.

 

 

Comments