අනු­රා­ධ­පුරේ සිට කලා­වැ­වට සුද්දෝ ඔරු­වෙන් ගිය හැටි | සිළුමිණ

අනු­රා­ධ­පුරේ සිට කලා­වැ­වට සුද්දෝ ඔරු­වෙන් ගිය හැටි

යෝධ ඇළ දිගේ පාග­ම­නින් යන මහා චාරි­කා­වක පළමු කොටස

වැහි බිත්තර එක් රැස්වන රජ­රට අහස තෙව­ස­රක සිට එහි වැසි­යන්ට දෙන්නේ බලා­පො­රොත්තු පමණි. අපේ­ක්ෂා­වන් යථා­ර්ථ­යක් කර ගන්නට ඉඩ නොත­බාම උඩු සුළ­ඟට හසුව ගසා­ගෙන යන වලා­කුළු කෙළි කව­ට­කම් කරන්නේ රජ­රට ගොවීන් සමඟ පම­ණක් නොවේ. රටේ ආර්ථි­ක­යද සම­ඟය. රජ­රට අහසේ නොහො­බි­නා­කම් අව­බෝධ කර­ගත් අතීත රජ දරු­වන් ගම් වැව්ද මහ වැව්ද තැන­වූයේ මේ නිසාය. වැව් සහ ඒ වැව් එකි­නෙක බැඳ තබන ‘එල්ලංගා පද්ධති’ද නිර්මා­ණය කළ රජ දරුවෝ එම වැව් පද්ධති යා කර­මින් යෝධ ඇළ මාර්ගද තැන­වූයේ අඛණ්ඩ ජල කළ­ම­නා­ක­ර­ණ­යක අව­ශ්‍ය­තාව හඳු­නා­ග­නි­මිනි.

කෙත­රම් නියඟ පැමි­ණි­යද, අතීත ජල කළ­ම­නා­ක­රණ විස­ඳු­ම්වල සාර්ථ­ක­ත්වය නිසාත්, අපේක්ෂා කළ තර­ම­ටම නැතත් මහ­වැලි ව්‍යාපෘ­ති­යෙන් ලැබෙන තෙත් කලා­පීය ජල­යත් නිසා කිසිදු විටෙක මුළු රජ­ර­ටම හේබා යන්නේ නැත. මේ අපූ­ර්ව­ත්වය විනි­විද යමින් රජ­රට කෘෂි ජන­තා­වගේ හද ගැස්ම සොයා යන්නට ඇත්නම් එය අපූර්ව ගවේ­ෂණ සට­හ­නක් වනු ඇතැයි, ඇතුළු හිත උඩු හිතට බල­පෑම් කර ඇත්තේ වරක් දෙව­රක් නොවේ.

එනි­සාම කල් යල් බලා මේ සැර­සෙන්නේ රටේ වැව් පද්ධ­තිය සිසාරා ඉදි­වුණු සොඳුරු ජල මාර්ග­යක බැම්ම දිගේ ඇවිද යන්න­ටය.

කලා­වැවේ සිට විහි­දෙන යෝධ ඇළ යනු සැතැ­පුම් පනස් හත­ර­කට ආසන්න දුරක් ගෙවා දම­මින් අනු­රා­ධ­පුර තිසා වැවෙන් අව­සන් වන වෙනස් ආරක වාරි­ම­ඟකි. ලංකාවේ දැන­ටත් හඳු­නා­ගත හැකි යෝධ ඇළ ගණන හත­රකි. ඉනිදු පෙර සඳ­හන් කළ යෝධ ඇළ වාරි තාක්ෂ­ණය මැන­වින් යොදා නිර්මා­ණය කළ අපූර්ව ආකෘ­ති­ය­කින් යුත් එකකි. යෝධ ඇළෙන් පෝෂ­ණය වන කුඹුරු අක්කර ගණන 1,144,000කි. එල්ලංගා පද්ධති 34ක් ඔස්සේ ගම් වැව් 120කට දිය­වර සප­යන යෝධ ඇළ නිසාම බිහි­වුණු උප සංස්කෘ­තින් ගණ­නා­වක් හඳු­නා­ගත හැකිය.

එම උප සංස්කෘ­තින් විනි­විද යමින් කලා­වැවේ සිට තිසා වැවට දිය ගෙන යන ‘යෝධ ඇළ දිගේ’ චාරිකා සට­හන් පෙළ ඉදි­රි­යේදී ‘සිළු­මිණේ’ පළ­වෙනු ඇත.මේ සට­හන් වෙන්නේ එහි ඇර­ඹු­මට අදාළ පසු­බිම් කතා­වයි.

මධ්‍ය කඳු­ක­රයේ වයඹ දිග සහ උතුරු දිග සීමා­වෙන් ඇර­ඹෙන මිරි­ස්ගෝ­නි­යාව ඔයත්, දඹුලු ඔයත් කලා­වැවේ ප්‍රධාන ජල පෝෂ­ක­යන්ය. ඊට අම­ත­රව අප්‍ර­කට ඔයක් වන හැව­න්ඇල්ලා ඔය කලා­වැ­වට සම්බන්ධ බළ­ලු­වැ­වට ප්‍රධාන වශ­යෙන් දිය­වර සප­යයි. වර්ත­මා­නයේ බෝව­තැන්න ජලා­ශය ඔස්සේ පැමි­ණෙන මහ­වැලි වතු­රත් මිරි­ස්ගෝ­නියා ඔයට සහ දඹුලු ඔයට එක්වන නිසා කලා­වැව මහ­වැලි ජල­යෙ­නුත් පෝෂ­ණය වේ. අතී­ත­යේදී අඹන් ගඟේ ජල­යද කලා­වැ­වට ලැබී ඇත.

කලා­වැ­වත්, යාබ­දව පිහිටි බළලු වැවත් යනු අතී­තයේ සිට පිහිටි ස්වභා­වික ජලා­ශ­යන්ය. විල් යනු­වෙන් හැඳි­න්වීම වඩාත් යෝග්‍ය මෙම ජලාශ ගැන ලැබෙන පැර­ණි­තම වාර්තාව වන්නේ ප්ලීනි නම් නාවි­කයා විසින් තැබූ සට­හ­නකි. ඒ ක්‍රි.පූ. 336-323 සමයේ මෙසි­ඩෝ­නි­යාව ප්‍රමුඛ සම­ස්ත­ ආ­සි­යා­වේම ආදි­පත්‍ය දැරූ මහා ඇලෙ­ක්සැ­න්ඩර් යුගයේ දීය. සම­ගාමී කාලයේ ලංකාව පාල­නය කර ඇත්තේ විජය රජුගේ ඇවෑ­මෙන් සය­වන රජුවූ මුටසිව රජුය. සම­හර මූලාශ්‍ර අනුව නම් ප්ලීනි සිය සට­හන් තබා ඇත්තේ ක්‍රි.ව. 50-79 සම­යේදී බව හඳුනා­ගත හැක. ඒ මූලාශ්‍රය අනුව බලන කල මෙරට රාජා­ව­ලියේ වසභ රජුගේ පාල­න­යට පෙර සම­යේ­දීය.

කෙසේ හෝ ප්ලීනි නම් නාවි­කයා සිය සට­හ­න්වල දක්වන ‘මෙගිස්බා’ (Megisba) නම් විල් සමූ­හය කලා­වැව සහ බළ­ලු­වැවේ අතීත ස්වභා­වය බව ඉති­හා­ස­ඥ­යන්ගේ පිළි­ගැ­නී­මයි.

රටක නාය­කයා ලෙස ජන­තා­වගේ ආහාර නිෂ්පා­ද­නය කෙරෙහි සාධ­නි­යව මැදි­හත් වීම වග­කී­මක් ලෙස ගත් අනු­රා­ධ­පුර පාල­කයෝ වැව් තැනීම සිදු කළහ. මුලින්ම ගම් වැව් ලෙස වැව් ඉදි­කි­රීම සිදුවූ අතර වංශ කතා ගත තොර­තු­රු­ව­ලට අනුව ප්‍රථම වරට රාජ්‍ය අනු­ග්‍ර­හය ලැබ වැවක් ඉදි­කි­රීම පිළි­බ­ඳව සඳ­හන් වනුයේ අනු­රාධ අමා­ත්‍යයා ඇරඹි අනු­රාධ ග්‍රාමය අංග සම්පූර්ණ පුර­යක් බවට පත් කළ පණ්ඩු­කා­භය රජු, අනු­රාධ නග­රය ආශ්‍රි­තව ඉදි කළ අභය හෙවත් බස­ව­ක්කු­ලම වැවයි. පසු­කා­ලීන යුග­යේදී වසර 44ක් රජ කළ වසභ රජු වැව් 11ක් සහ ඇළ මාර්ග 12ක් නිර්මා­ණය කළ අතර වසර 27ක් රජ කළ මහ­සෙන් රජු වැව් 18ක් සහ ඇළ මාර්ග ගණ­නා­වක්ද ඉදි­ක­ළේය. මෙරට වාරි කර්මා­න්ත­යට කළ­සේ­වය නිසාම මහ­සෙන් රජු "මින්නේ­රිය දෙවියෝ හෙවත් හත් රජ්ජුරු බණ්ඩාර" ලෙස ජන­තාව අතර වන්ද­න­යට පාත්‍රව ඇත. මේ අනුව පෙනී යන්නේ වැව් ඉදි­කි­රීම පිළි­බ­ඳව රජ­රට පාල­ක­යින් අතර තර­ග­යක් පැවැති බවය. රජු විසින් වැව් තනවා, ඒවා­යින් නිකුත් කළ ජල­යට බදු අය­කළ අතර එම­ගින් රාජ්‍ය භාණ්ඩා­ගා­රය ශක්ති­මත් විය.

පෙර රජ­ව­රුන් ගිය මඟ යමින් ධාතු­සේන රජුද අනු­රා­ධ­පු­රය ආසන්න ප්‍රදේ­ශයේ වැව් කර­වී­මට සුදුසු ස්ථාන ගැන සෙවි­ල්ලෙන් සිටි අතර රාජ­ධා­නියේ සැරි­ස­රන අව­ස්ථා­වන් හීදී වාරි කර්මාන්ත සඳහා සුදුසු ප්‍රදේශ ගැන මනා විම­සි­ල්ලෙන් සොයා බැලීය. වරෙක කලා ඔය නිම්නයේ ගම් මැදින් සංචා­ර­යක යන එතු­මාට “මුවන් සමඟ වනයේ සැරි­ස­ර­මින් නිධා­න­යක් රකින යකෙකු” ගැන තොර­තුරු දෙන්නේ රජු ඇතුළු පිරි­ව­රට ආහාර සඳහා මස් පිණිස දඩ­යමේ ගිය වැද්දෙකි.

ධාතු­සේන රජු සමයේ අනු­රා­ධ­පුර ආස­න්නයේ ගමක විසූ හැඩි දැඩි ගොවි­යෙකි. ඔහු කුඹුරු වැඩට සම­තෙකි. ඇළ­වේලි කපා තනි­වම සිය කුඹුර අස්ව­ද්දන ඔහුගේ අටු කොටු සැම­වි­ටම පිරී පවතී. සිය විනෝ­දය උදෙසා රා බීම කළ ඔහු විවේ­කය ගත කළේ නින්දෙනි. කුඹුරු වැඩ නොමැති දිනක නින්දේ සිටි ඔහුට බිරිය විසින් පැවැරූ වතු­පිටි වැඩ කිහි­ප­යක් මඟ­හැරී ගියේය.

ඉක්ම­නින් කෝප­යට පත්වන ගැහැ­නි­යක වූ ඇය, සිය ඉල්ලීම ඉටු නොකි­රීම ගැන සැමියා සමඟ කෝප­යෙන් පසු­විය. හෝරා කිහි­ප­ය­කින් අව­දිවූ මේ මිනිසා උයා තිබූ ආහාර ද ගෙන යළි නිදා­ගැ­නීම ගැන තව­දු­ර­ටත් කෝප වූ ගැහැ­නිය අඩක් ඉතිරි වූ බත් මුට්ටිය ගෙන සැමි­යාගේ හිසේ ගසා තදින් බැණ වැදු­ණාය.

අවශ්‍ය අව­ස්ථා­ව­න්වල වෙහෙ­සව වැඩ කර, අටු­කොටු පුරවා සිය නිවෙ­සට අඩු­පා­ඩු­වක් නොකළ තමාට බිරිය කළ පරි­භ­වය තදින් දැනුණු ඔහු කළේ නිවෙස අත­හැර වන­ගත වීමයි. අවුල්වූ මන­සින් නිවෙ­සින් පිටව ගිය ඔහු අව­සා­නයේ නැවැ­තුණේ කලා ඔය නිම්නයේ වන බිම­කය. පසු­කා­ලී­නව එහි විසූ මුව රංචු­වක් සමඟ එක්වූ ඔහු මුව රංචුවේ ආර­ක්ෂා­වට කට­යුතු කර­මින් උන් සම­ඟම ඇවිද ගියේය. අහු­වෙන ගහක කොළ සහ ගෙඩි කෑ ඔහු පැන් සැන­සුණේ කල­වැ­ලක් නිසා ගමන අව­හිර වූ කලා ඔයේ තටා­ක­ය­කය. මෙසේ වසර ගණ­නා­වක් කැලෑවේ සිටි ඔහුට මිනිස් භාෂාවේ දැන­සිටි වදන් කිහි­ප­යද අම­තක වී ගියේය. එහෙත් බිරිය විසින් පහ­ර­දුන් බත්මු­ට්ටියේ කර කොටස තව­දු­ර­ටත් බෙල්ලේ රැඳී තිබිණි.

කලා­ඔය නිම්නයේ සංචා­ර­යක යෙදෙන රජු ඇතුළු පිරිස වෙනු­වෙන් දඩ­යමේ යන වැද්දාට ‘මුවන් සමඟ වනයේ සැරි­ස­ර­මින් නිධා­න­යක් රකින යකෙකු’ ලෙස පෙනෙන්නේ මේ වන­ගත මිනි­සාය.

අව­සා­නයේ කරේ ඉතිරි වූ වළං­ගැ­ට්ටද සමඟ රජු ඉදි­රි­යට පමු­ණු­වන මේ අරුම පුදුම මිනිසා හෙළි කළ තොර­තුරු අනුව ‘කළ වැලින් අව­හිර වූ කලා ඔයේ තටා­කය’ දකින රජ­තුමා එතැන වැවක් කර­ව­න්නට පිඹුරු සක­ස­න්නේය. තනි වැව­කින් නොසෑ­හෙන ඔහු යාබ­දව පිහිටි තවත් තටා­ක­යක්ද සම්බන්ධ කර විශාල වැවක් තන­න්නේය. ඒ යාබද තටා­කය නමින් බළ­ලු­වැව ය. සම­හර විටෙක කලා වැව ඉදි­ක­ර­න්නට යම් කල­කට පෙර අතුරු ව්‍යාපෘ­ති­යක් ලෙස බළලු වැව ඉදි­ක­ර­න්නට ඇත. කලා වැව සම්පූර්ණ කිරී­මේදී බළලු වැවද ඊට මැදි වන්නට ඇත.

බළලු වැව ගැනද අපූරු ජන­ප්‍ර­වාද කලා­ඔය නිම්නයේ ජන­තාව අතර පවතී. කලා­වැවේ පළමු දිය­වර නිකුත් කිරීමේ උත්ස­ව­යට පැමිණි ධාතු­සේන රජ­තු­මාගේ ගමන් මඟේ ඉදි­රි­යට පැමිණි බළ­ලෙකු ඉවත් කිරී­මට රාජ පුරු­ෂ­යන් උත්සාහ ගත්ත­ත්‌ ­අඬා වැටෙ­මින් රජුගේ සළුවේ දැව­ටෙ­න්නට වීම පුදුම සහ­ගත සිදු­වී­ම­ක්‌ ­විය. මෙය දුටු රජ­තුමා එහිදී බළලා ආ දිසා­වෙහි පිහිටි වැව "බළලු වැව" ලෙස නම් කළේලු. තවත් ජන­ප්‍ර­වා­ද­ය­කින් කිය­වෙන්නේ වැව සෑදී­මේදී මෙම බැළ­ලි­යගේ දරු­වන් වැව් බැම්මට යට­වීම නිසා ශෝක­යෙන් සිටි මවු බැළ­ලිය රජුගේ සළුවේ දැවටී තම ශෝකය ප්‍රකාශ කිරීම නිසා රජු ඒ බව දැන සියලු දෙනාට ඒ බව දන්වා "බළලු වැව" ලෙස නම් කළ බව ය.

කලා වැවත්, බළලු වැවත් එහි උප­රිම ජල මට්ට­මට පිරුණු පසු ජල තලයේ පැති­රීම වර්ග සැත­පුම් 7කි. එනම් වර්ග කිලො­මී­ටර් 18.1කි. එවන් අව­ස්ථා­වක වැවෙහි වට ප්‍රමා­ණය සැතැ­පුම් 40කි. එනම් කිලෝ­මී­ටර් 64.5කි. ඒ දුර ආසන්න වශ­යෙන් සමාන වන්නේ කොළඹ සිට A1 මාර්ගයේ නෙළු­න්දෙ­ණිය හන්දි­යට ඇති දුර­ටය. මෙම ජලාශ ද්විත්වයේ ගබඩා කළ හැකි ජල ධාරි­තා­වක් අක්කර අඩි ලක්ෂ­යකි. සොරොව් හය­කින් සම­න්විත කලා­වැ­වෙන් දෙක­න්නය අස්ව­ද්දන කුඹුරු අක්කර ගණන 62829කි. මේ නිසාම කලා­වැව යනු රට මැද පිහිටි ධන නිධා­න­යක් බවට සැල­කීම කිසිදු සැක­යක් ඇති කර ගැනී­මට හේතු­වක් නොවේ.

ධාතු­සේන රජු සම­යෙන් පසු පළමු විජ­ය­බාහු රජුද, මහා පරා­ක්‍ර­ම­බාහු රජුද මෙම වැව සහ වැවෙන් කෙත්ව­තු­ව­ලට දිය­වර සප­යන යෝධ ඇළද ප්‍රති­සං­ස්ක­ර­ණය කර තිබේ. රාජ­ධා­නි­වල නිරිත දිග සංක්‍ර­ම­ණ­යත් සමග කැලෑ වැදී කැඩි බිඳී යන කලා වැව යළිත් කර­ළි­යට එන්නේ ඉංග්‍රීසි පාලන සමයේ 1862 දී මේජර් පෝබ්ස් සහ ජෝර්ජ් ටර්නර් යන නිල­ධා­රීන් දෙදෙනා නිසාය. ඒ වන විට සහල් ආන­ය­නය සඳහා විශාල මුද­ලක් වැය­වීම දරා­ගැ­නී­මට අප­හසු නිසා ඉංග්‍රී­සී­හුද දේශීය ගොවි­තැන නංවා­ලීම වෙනු­වෙන් උන­න්දු­වෙන් සිටි­යහ.

වික්ටෝ­රියා රැජ­නගේ පදවි ප්‍රාප්තියේ සැම­රු­මක් ලෙස 1872 මේ වැව ප්‍රති­සං­ස්ක­ර­ණය කර විවෘත කළ ඉංග්‍රි­සීහු විශේෂ ඵල­ක­යක්ද ස්ථාපිත කළහ. එකල කලා­ගම් පළාතේ රටේ මහ­ත්තයා වූ රත්වත්තේ ලොකු­බණ්ඩා විසින් ප්‍රති­සං­ස්ක­රණ සඳහා දැක්වූ දාය­ක­ත්ව­යද එම ඵල­කයේ සඳ­හන් කර ඇත. මෙම ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලදී වැව් බැම්ම ශක්ති­මත් කිරී­මේදී, පස් තැලී­මට අලි ඇතුන් යොදා­ගෙන තිබෙන බව කියැවේ. ඒ අනුව මෙර­ටදී පූර්ණව අලි ඇතුන් යොදා­ගෙන සිදු­කළ අව­සාන යෝධ ව්‍යාපෘ­තිය ලෙස කලා­වැවේ ප්‍රති­සං­ස්ක­රණ හැඳි­න්විය හැකිය. මෑත­කා­ලීන මහ­වැලි ව්‍යාපා­ර­යට අදාළ වේලි ඉදි­කි­රී­මේදී අලි ඇතුන් යොදා­ග­ත්තද, ඒ සඳහා බහු­ල­වම යොදා­ගෙන ඇත්තේ යන්ත්‍ර සූත්‍රය. කලා­වැව ව්‍යාපෘ­ති­යට රජයේ වැඩ දෙපා­ර්ත­මේ­න්තුව යටතේ සේවය කළ හස්ති බළ­කායේ සාමා­ජි­ක­යින් වූ බඹරා හා සෙල්ල­තම්බි නම් හස්‌තීන් දෙදෙනා ඉදි­කි­රීම් අත­ර­තුර සිදුවූ අන­තුරු නිසා මිය­ගිය බවද සඳ­හන් වේ.

කලා වැව ප්‍රති­සං­ස්ක­ර­ණ­යට සම­ගා­මීව යෝධ ඇළ ද ප්‍රති­සං­ස්ක­ර­ණය කළ ඉංග්‍රී­සිහු අනු­රා­ධ­පු­රයේ සිට කලා වැවට පැමිණ ඇත්තේ යෝධ ඇළ දිගේ ඔරු මගිනි. එකල කලා­වැ­වට එන්නට හැකි වාහ­නද, පාර­වල්ද නොතිබූ අතර කලා­ඔය නිම්නය සම්පූ­ර්ණ­යෙන් වන­ග­තව පැවැතී ඇත. උත්ස­ව­යට සහ­භාගී වූ ආණ්‌ඩු­කාර ශ්‍රීමත් ආතර් හැමි­ල්ටන් ගෝර්ඩ්න්, රජයේ ඒජන්ත අයි­වර්ස්‌, ඉංජි­නේරු රයි­ටන් හා ඉංජි­නේරු මැක්‌ඩො­නල්ඩ් යන මහ­ත්ව­රුන් මෙලෙස ඔරු­ව­ලින් අනු­රා­ධ­පු­රයේ සිට කලා­වැ­වට පැමිණ ආපසු ගොස් ඇති අතර වැව සහ ඇළ තැන­වූ­වද ඉංග්‍රි­සීන්ගේ යළි ජන­පද කරන සැල­සුම නම් අසා­ර්ථක වී ඇත. එයට හේතු වි ඇත්තේ පසු­කා­ලී­නව රජ­රට වෙළාගත් මැලේ­රියා වසං­ග­ත­යයි. කලා­වැව ජන­ප­ද­ක­ර­ණය යළි සාර්ථක වී ඇත්තේ 1970 දශ­කයේ මහ­වැලි ව්‍යාපා­රය යටතේ සිදු­කළ පදිංචි කිරි­ම්ව­ල­දීය. එදා සිට අද දක්වා අඛ­ණ්ඩව කලා­වැවේ ජල­යෙන් කෙරෙන ගොවි­තැන රටේ නිෂ්පා­දන ධාරි­තා­වට ලබා දෙන රුකුල අති­ම­හත්ය.

කලා­වැවේ බැම්මේ සිට ඇර­ඹෙන යෝධ ඇළ ඉවුර දිගේ යමින් මේ මහා ජල කඳෙන් ප්‍රාණය ලබන මිනි­සු­න්ගේත්, ඔවුන්ගේ වගා­බි­ම්ව­ලත්, ඔවුන්ගේ පවුල් ජීවි­ත­ව­ලත්, ආගම, දහම, භාෂාව සහ සිරිත් විරිත් එක්රැස් වුණු සංස්කෘ­ති­යේත් රස මුසු­තැන් සොයා දකි­මින් යන‘යෝධ ඇළ දිගේ’ චාරිකා සට­හන වෙනු­වෙන් වූ පෙර­ව­දන නිමා කර­මින් අපි විජි­ත­පුර හන්දි­යට පිවි­සියේ හිමි­දිරි උදෑ­ස­න­කය.

අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කයේ ඉප­ලෝ­ගම ප්‍රාදේ­ශීය ලේකම් බල ප්‍රදේ­ශයේ පිහිටි විජි­ත­පුර මංස­න්දිය කලා­වැව් බැම්මේ උතුරු කෙළ­වරේ පිහිටා ඇත. එතැන් සිට යෝධ ඇළ දකි­න්නට පළ­මුව දැකිය යුතු බොහෝ වැද­ග­ත්කම් වේ. ඒවා සොයා යන්නට පෙර අපට මඟ පෙන්ව­න්නට පොරොන්දු වූ විජි­ත­පුර පුලි­ය­න්කු­ලමේ ගාමිණී එදි­රි­සිංහ මහතා හමු­විය යුතුය.

ඔහු එන­තුරු අප කලා­වැවේ වැව් බැම්මට ගොඩ­වූයේ කලා වැවේ සිරි අසිරි දෙනෙ­තින් දකි­න්න­ටය.

අවු­කන පිළි­ම­යත්, කලා­වැව බැම්මට ගල් කුට්ටි ගෙනා කෝවි­ල්ගල යාය­ටත් ගිය ගමන ගැන කතාව ලබන සතියේ.

ඡායා­රූප - චතුර හේමාල්
ඥානේන්ද්‍ර ප්‍රදීප් පති­රණ

Comments