රේල්පාර දිගේ පල්ලම් බැස කඩුගන්නාවේ සිට රඹකැන්පුරට ආ‍වෙමු | සිළුමිණ

රේල්පාර දිගේ පල්ලම් බැස කඩුගන්නාවේ සිට රඹකැන්පුරට ආ‍වෙමු

කෝච්චියේ ගියාට දකින්න බැරි දුම්රිය මඟේ අපූරු ස්ථාන - 12

මෙරට දුම්රිය මාර්ග පද්ධ­තියේ කෙටි දුරක් තුළ ඉහළ උස­කට ළඟා­ වන දුෂ්කර මාර්ග කොට­සක් ලෙස රඹු­ක්කන - කඩුග­න්නාව දුම්රිය මාර්ග කොටස හැඳින්විය හැකිය. ඒ ආශ්‍රිත සුවි­ශේෂ ස්ථාන සහ ඉංජි­නේ­රු­මය නිමැ­වුම් සොයා කඩු­ග­න්නාවේ සිට පාග­ම­නින් දුම්රිය මාර්ගය දිගේ යන සංචා­ර­යක් ඇසු­රෙන් සැක­සෙන ලිපි පෙළක පෙර කොටස් පසු­ගිය සිළු­මිණේ පළ­විය. මේ සතියේ පළ­වන්නේ එහි අව­සන් සට­හ­නයි.

හිමි­දිරි උදයේ කැබැ­ල්ල­ව­ත්තෙන් යළි ගමන ඇරඹූ අප දැන් සිටින්නේ අංක 04 දරණ බිංගෙ­යට පහ­ළින් රඹු­ක්කන දෙසට පල්ලම් බසි­මිනි. අපේ වම්ප­සින් වූ උඩ­ගම කන්දට ඉහ­ළින් පතිත වූ හිරු රැස් ලබු­ගොල්ල කන්ද එකලු කර තිබේ. දුම්රිය මඟට පහ­ළින් ඇදෙන රඹු­ක්කන - මාව­නැල්ල මාර්ගය කඩි­ස­රය.

ගම්මි­රිස් වගා­වත්, පොල් වගා­වත් යහ­මින් කෙරෙන සරු­සාර ගෙවතු වගා මැදින් පල්ලම් බසින අපට ඊළ­ඟට හමු­වන්නේ අංක තුන දරණ බිංගෙ­යයි. ඉතා කෙටි බිංගෙ­යක් වන එය අඩි 86ක් දිගය. මේ කෙටි බිංගෙය පෙදෙ­ස්වැසි මිනි­සුන් විසින් හඳු­න්වන්නේ “කොට බිංගේ” හෙවත් “පොඩි බිංගේ” යනු­වෙනි.

පොඩි බිංගේ ආස­න්න­යේම අතුරු පාර­කින් කෝච්චි පාරට පිවිසි “අරු­නෝ­ලිස් මාමා” මට්ටම් ලීයත්, මේසන් හැන්දත්, ලඹ­යත්, මනිස් ලෑල්ලත් ගෙන පල්ලම් බසින්නේ එදා දවසේ රැකි­යා­ව­ටය. නිර­න්තර දුම්රිය මඟි­යෙකු නොවූ­වද, දුම්රිය මාර්ගය ඔහුට බොහෝ ප්‍රයෝ­ජ­න­වත් වන්නේ උඩ­ගම කන්ද වටා කිලෝ­මී­ටර හතක බස් රථ ගමන වෙනු­වට සිල්පර දිගේ කෙරෙන අඩ හෝරා අඩක පාග­මන ඔහු නග­ර­යට සමීප කර­වන බැවිනි. අරු­නෝ­ලිස් මාමාට සේම, දුම්රිය මඟ­දෙ­පස බොහෝ දෙනෙකු සිය කට­යුතු සඳහා දුම්රිය මාර්ගය විවිධ ආකා­ර­යෙන් ප්‍රයෝ­ජ­න­යට ගන්නා නිසාම ඔවුන් දුම්රිය මඟට බොහෝ ළෙන්ග­තුය.

“ඉස්සර කෝච්චි පාර බලන්න ලස්ස­නයි…සිල්පර මැදට ගල් පුර­වලා, තණ­කොළ සුද්ද කරලා ලස්ස­නට හද­නවා…. ක්ලිප්, ඇණ, තහඩු අඩු­පා­ඩු­වක් නැතිව තියෙ­නවා… උදේ වැඩට එන සේව­කයා දෙක තුන වෙන­කම් පාරේ වැඩ කර­නවා… මූන­ඩිය කියල නීති­යක් කෝච්චි පාරේ තියෙ­නවා… ඒ කියන්නේ පාර දෙපැත්තේ අඩි තුන ගානේ සුද්ද කරලා තියෙන එකට. හැත්තෑවෙ විතර ඒක කොච්චර හොඳට තිබ්බද කිය­න­ව­නම් කඩි­ග­මුවෙ ඉඳන් මූන­ඩිය දිගේ පුට් සයි­ක­ලෙන් බලන ස්ටේෂ­මට වැඩට ගිය පොලි­ස්මන් කෙනෙක් හිටියා….ඒකට අද ”

දුම්රිය සේව­ක­යෙකු වූ යු.එච්. ටිකි­රි­බණ්ඩා මහ­තාගේ අතීත කාමය අති­ශෝ­ක්ති­මත් විග්‍ර­හ­යක් යැයි නොසි­තෙන්නේ අතීත දුම්රිය මාර්ග ඡායා­ර­වල දකින සුන්ද­ර­ත්වය අද ඡායා­රූ­ප­වල නැති බව පැහැ­දි­ලිව හඳු­නා­ගත හැකි නිසාය.

වැඩි­දු­රක් යෑමට මත්තෙන් යළිත් දුම්රිය බිංගෙ­යක් හමුවේ. ඒ අපේ දුම්රිය මාර්ග පාද චාරි­කාවේ හමු­වන අව­සාන බිංගෙ­යයි. කොළඹ සිට සැතැ­පුම් 54ක් දුරින් පිහිටි අංක 02 දරණ එම බිංගෙය අඩි 293ක් දිගය. ගැමි­යන් මෙම බිංගෙ­යට කියන්නේ “වැල්කාර බිංගේ”කියාය.

වැල්කාර බිංගෙ­යින් පසුව දුම්රිය මඟ පිවි­සෙන්නේ “කන්ස­ල­ග­මුව’ ගම­ටය. බොහෝ ගම්මා­නත්, දිය ඇළි වක්ක­ලම් ආශ්‍රි­ත­වත් අස­න්නට ලැබෙන නිදන් රකින ආඳෙ­කුගේ කතා­වට ඌණ පූර­ණ­යක් ලෙස “තෝඩු” දැමූ ආඳෙකු ගැන කතා­වක් කන්ස­ල­ග­මු­වට තිබේ. අතීත ප්‍රාදේ­ශිය පාල­ක­යෙ­කුගේ නිදන් වස්තු රකින ආඳෙකු මේ ප්‍රදේ­ශයේ වැවක විසූ බවත්, ඌ කන් සලන විට මිහිරි නාද­යක් ඇසුණු බවත් එබැ­වින් මෙගම කන්ස­ල­ග­මුව වූ බවත් කියැවේ. අද වන විට කන්ස­ල­ග­මුවේ වැවක් නැත. වැවක් ඇත්තේ යාබද කිරි­ව­ල්ලා­පි­ටි­යේය. සම­හර විටෙක මේ කතා­වට අදාළ වැව එය විය හැක.

කිරි­ව­ල්ලා­පි­ටිය නමත් සමඟ මත­ක­යට එන දුම්රි­යට සම්බන්ධ ඇඟ කිලි පොළා යන මත­ක­යක් තිබේ. ඒ 2002 ජන­වාරි 13 වන දින සිදුවූ කිරි­ව­ල්ලා­පි­ටිය නග­රා­න්තර දුම්රිය අන­තු­රයි. නිය­මිත වේග­යට වැඩි වේග­ය­කින් පල්ල­මට ඇදී එන දුම්රියේ තිරිංග පද්ධ­තිය නිසි මොහොතේ ක්‍රියා­ත්මක නොකි­රීම නිසා සිදුවූ යාන්ත්‍රික දෝෂ­යක් නිසා මෙම අන­තුර සිදුවූ බව දැනට පිළි­ගන්නා අව­සාන නිග­ම­න­යයි. මහ­නු­වර සිට කොළ­ඹට ගමන් කරන ඕනෑම දුම්රි­යක් කඩු­ග­න්නාව ඩෝසන් කුලු­නත් - පොලී­සි­යත් අතර හමු­වන බෑවුම ආරම්භ වන ස්ථාන­යේදී පව­ත්වා­ගත යුතු වේග සීමා­වක් තිබේ. එම වේග සීමා­වේදී මදින් මද තිරිංග යොද­මින් දුම්රි­යට ගැළ­පෙන ලෙස වේගය වැඩි කර ගැනීම සිදු­වන අතර මෙදින කිසි­යම් අත­ප­සු­වී­මක් නිසා එය සිදුවී නැත. අව­දා­නම හඳු­නා­ගත් මොහොතේ වැඩි තිරිංග බල­යක් එක්වර යෙදී­මට රිය­දුරා උත්සාහ කොට තිබේ. එම නිසා බල­නට පහ­ළින් හමු­වන මාකෙ­හෙ­ල්වල ප්‍රදේ­ශ­යේදී එන්ජිමේ රෝද හිරවී ඇති අතර පසු­පස මැදි­රි­වල බර නිසා දුම්රිය එන්ජිම පහ­ළට තල්ලු වී පැමිණ තිබේ.

“පල්ලම තියෙන නිසා එන්ජිමේ රෝද වැඩ නොක­ළත් පහ­ළට තල්ලු වෙලා ආවා… රෝදත්, පීලිත් අතර ඇති­ල්ලී­මෙන් රෝද­වල යකඩ උණු වෙලා ජෙල් එකක් වගේ වෙලා තිබිලා තියෙන්නේ.. මේ නිසා මඟ දිගට උණු වුණු යකඩ කෑලි පවා වැටි වැටී ඇවිත් තියෙන්නේ…කන්ස­ල­ග­මුවේ පල්ලම ඉවර වෙන­කොට එන්ජිම තල්ලු කරන්න පෙට්ටි­වල බලය මදි… රෝද වැඩ නෑනේ.. ඒ නිසා එන්ජිම හිර වුණා… පෙට්ටි­ව­ලට ආපු වේගය දරා­ගන්න බැරිව එක උඩ එක ගිහින් පෙර­ළුණා. මුලින්ම තිරිංග වැඩ නොක­රපු වෙලාවේ යළි යළිත් තිරිංග යෙදී­මට උත්සාහ නොකර හිටි­ය­නම් රෝද හිර­වීම සිදු නොවන නිසා කෝච්චිය රඹු­ක්ක­නට නිරු­ප­ද්‍රි­තව එන්න තිබුණා….රංජිත් කියන්නේ හොඳ රියැ­දු­රෙක්… ඒත් එදා හදන්න බැරි වැරැ­ද්දක් වුණා….”

ඒ රත්ම­ලාන දුම්රිය කර්මාන්ත ශාලාවේ එව­කට ප්‍රධාන යාන්ත්‍රික ඉංජි­නේරු ලෙස කට­යුතු කළ, පසු­කා­ලී­නව දුම්රිය සමා­න්‍යා­ධි­කා­රි­ව­ර­යෙකු වූ පී. පී. විජේ­සේ­කර මහතා මේ දුම්රිය අන­තුර පිළි­බඳ කළ විග්‍ර­හ­යයි.

මෙම අන­තු­රෙන් දෙසී­ය­කට අධික පිරි­සක් තුවාල ලබා පහ­ළොස් දෙනෙකු මිය ගිය අතර එන්ජිම හැර ඉතිරි මැදිරි සියල්ල සුන්බුන් ලෙස භාවි­ත­යෙන් ඉවත් කර­න්නට සිදු­විය.

“මම ඒ වෙලාවේ කන්ස­ල­ග­මුවෙ ඉඳන් කිරි­ව­ල්ලා­පි­ටි­යට පයින් එන­කොට තමයි කෝච්චිය පහළ ආවේ… දිග හෝන් සද්ද­යක් ඇහු­ණත් ගමනෙ වෙන­සක් තේරුණේ නෑ… විනා­ඩි­යක් යන්න හම්බුණේ නෑ… ලොකු සද්ද­යක් එක්ක කෝච්චිය පෙර­ළෙ­නවා දැක්කා… මම හිතන විදි­යට මම තමයි කන්ද පැත්තෙන් එත­නට මුලින්ම ගියේ… පස්සේ සෙනඟ වට­වෙලා තුවා­ල­කා­රයෝ බස්වල පට­ව­ගෙන ඉස්පි­රි­තා­ලෙට ගෙනිච්චා…තුවා­ල­කා­ර­යින් එක­පාර පාර­කට ගන්න බෑ… මඩ නාගෙන කුඹුරු දිගේ තමයි පාරට අරන් ගියේ… ගමේ සම­හර තරු­ණයෝ තුවාල වුණු ළමයි අත්දෙ­කට අරන් ඉස්පි­රි­තා­ලෙට දිව්වා…” අන­තුර සිදුවූ වෙල්යාය ආසන්න ගොඩ­ග­න්දෙ­ණියේ පදිංචි 55 හැවි­රිදි ලාල් කුමාර මහතා අපට අන­තුර සිදුවූ ස්ථානය පෙන්ව­මින් සිය අත්දැ­කීම විස්තර කළේ එලෙ­සය.

“ඒ වෙලාවේ මම හිටියේ මගේ කඩේ මිදුලේ… උඩින් එන කෝච්චිය එක­පා­රට වේල්ල ගාවදි නැතිව ගියා… ලොකු සද්දෙ­කුත් ඇහුණා… අන­තු­රක් බව තේරුණු නිසා කඩ­වල් පැත්තක දාලා එතෙන්ට ගියා… ගමේ කට්ටිය එකතු වෙලා බස් එහෙම ආපහු හර­ව­ගෙන තුවා­ල­කා­ර­යින් ඉස්පි­රි­තා­ලෙට ගෙනිච්චා… කිසිම මඟි­යෙ­කුගේ දේප­ළක් කොල්ල­කන්න නොදී මමත් ඇතුළු කිහිප දෙනෙක් ඒ දේවල් ආරක්ෂා කළා… ගැහැනු අයගේ ආභ­රණ, ඔර­ලෝසු පවා ඒ ඒ අයගේ ඇඳු­ම්වල ගැට ගහල තමා ඉස්පි­රි­තා­ලෙට යැව්වේ…ඒ සතියේ පත්ත­ර­වල අපිට ස්තූති කරලා කතු­වැ­කිත් ලිව්වා… සම­හරු අවු­රුදු ගාණක් යන­කන් අපිට ස්තූති කරන්න මේ ගම­ටම ආවා… ” කිරි­ව­ල්ලා­පි­ටියේ හෝට­ල­යක් පව­ත්වා­ගෙන යන විශ්‍රා­මික පරි­වාස නිල­ධා­රි­යෙකු වන නිමල් අම­ර­සිංහ මහතා පැවැ­සීය.

දුම්රිය අන­තුර සිදුවූ ඉසව්ව පසු­ක­ර­මින් ඉදි­රි­යට එන අපට දුම්රිය පාරට සමා­න්ත­රව ඇදෙන රඹු­ක්කන හත­ර­ලි­යද්ද මාර්ගය පැහැ­දි­ලිව පෙනේ. මෙයට පෙර කැබැ­ල්ල­ව­ත්තේදී දුම්රිය මඟට යටින් විහි­දුණු මාව­නැල්ල පාර කැබැ­ල්ල­වත්ත අංක 04 බිංගෙය අස­ලදී හත­ර­ලි­යද්ද මාර්ග­යෙන් බෙදී යන අතුරු පාරකි.

දැන් අප ළඟා­වෙ­මින් සිටින්නේ රඹු­ක්කන දුම්රිය ස්ථාන­ය­ටය. රඹු­ක්කන දුම්රිය ස්ථානයේ පළමු ඇතු­ළු­වීමේ සංඥා­වට ඔබ්බෙන් වූ සංඥා කුටිය අස­ලින් වමට විහි­දෙන්නේ පින්න­වල අලි අනා­ථා­ගා­ර­යට යන ප්‍රධාන මාර්ග­යයි. එය පසු­කර ඉදි­රි­යට යන විට පැරණි දුම්රිය බඩු ගබ­ඩාද, සමූ­පා­කාර බඩු ගබ­ඩා­වද, අත්හැර දැමූ දුම්රිය නිල නිවාස සංකි­ර්ණ­යක්ද දැක­ගත හැකිය.

අඹේ­පු­ස්සට පළමු දුම්රිය ළඟා­වූයේ 1864දීය. ඉන් වසර තුන­කට පසු 1867දී රඹු­ක්කන දුම්රි­ය­පොළ විවෘත වී ඇත. කොළඹ සිට කිලෝ­මී­ටර් 82.54ක දුරින් පිහිටි මෙම දුම්රිය ස්ථානය එදා සිට අද දක්වාම ප්‍රධාන දුම්රිය මාර්ගයේ වැද­ගත්ම දුම්රිය ස්ථාන­යක් ලෙස සුවි­ශේෂී වටි­නා­ක­මක් අත්පත් කොට­ගෙන තිබේ. කොළඹ සිට විහි­දෙන ද්විත්ව දුම්රිය මාර්ගය රඹු­ක්ක­නදී අව­සන් වන අතර ඉන් ඉහ­ළට දිවෙන්නේ තනි දුම්රිය මාර්ග­යකි. අතී­ත­යේදී කෙසෙල් වගාව නිසා ජන­ප්‍රිය වූ රඹු­ක්කන ට නම් තැබෙ­න්නට ඇත්තේද රඹ­කැන් නිසාම වන්නට ඇත.

පැරණි රඹු­ක්කන ස්ථාන ගොඩ­නැ­ගිල්ල මෑතදී නවී­ක­ර­ණය වූ අතර පසුව ඉදිවූ වේදිකා ගොඩ­නැ­ගිල්ලේ ඉහළ සහ පහළ මාර්ග­වල දුම්රිය මඟීන් සඳහා පහ­සු­කම් වෙන්ව තිබේ.

රඹු­ක්කන දුම්රිය ස්ථානය අසල ඉපැ­රැණි දොඹ­ක­ර­යක්, පැරැණි දුම්රිය එන්ජි­මක් සහ මැදි­රි­යක් ප්‍රද­ර්ශ­නය සඳහා තබා තිබේ. විධි­මත් කෞතු­කා­ගා­ර­යක් නොවු­ණත් රඹු­ක්කන හරහා ගමන් ගන්නා විදේ­ශි­ක­යි­න්ගේත්, ලාංකීය දුම්රිය ලෝලී­න්ගේත් ළෙන්ගතු නැවැ­තු­මක් ලෙස මෙම ස්ථානය හඳු­නා­ගත හැක. මෙහි ස්ථාපිත දුම්රිය එන්ජිම වරායේ මෙහෙ­යුම් කට­යුතු සඳහා භාවිත කළ වාෂ්ප දුම්රිය එන්ජි­මක් බවත්, එයට සම්බ­න්ධිත දුම්රිය මැදි­රිය 1950 දශ­කයේ දුම්රිය සේවයේ නිල­ධා­රින්ගේ රාජ­කාරි අව­ශ්‍යතා සඳහා භාවිත කළ සුඛෝ­ප­භෝගී මැදි­රි­යක් බවත් මේ පිළි­බඳ තොර­තුරු විම­සී­මේදී දුම්රිය සම්බන්ධ තොර­තුරු ගවේ­ශ­ක­යෙකු වන නලීන් අබේ­සිංහ මහතා පැහැ­දිලි කළේය.

වර්ත­මා­නයේ සේම අතී­ත­යේදී ද කොළඹ සිට ඇර­ඹෙන කෙටි­දුර ගමන් සේවා අව­සන් වන දුම්රිය ස්ථාන­යක් ලෙස රඹු­ක්කන භාවිත වී තිබේ. එසේම ඉහ­ළට යන දුම්රි­ය­ව­ලට අවශ්‍ය අති­රේක බලය ලබා­දී­මට පසු­ප­සින් සම්බන්ධ කෙරෙන අති­රේක දුම්රිය එන්ජින් සම්බන්ධ කිරී­මද රඹු­ක්ක­නදී සිදුවී තිබේ. මේ නිසා වාෂ්ප එන්ජින් භාවිත කළ අතී­ත­යේදී එම එන්ජින් හැසි­ර­වීම වෙනු­වෙන් වූ හැර­වුම් වේදි­කා­වක් රඹු­ක්කන දුම්රිය ස්ථානයේ ස්ථාපි­තව තිබී ඇත. අද වන විට භාවි­ත­යට නොගන්නා එය රඹු­ක්කන බට­හිර සංඥා කුටි­යට ඔබ්බෙන් වල් වැදී තිබෙනු අපට දැක­ගත හැකි­විය.

එසේම දැනට අත්හැර දමා ඇති අඟුරු මඩු­වක්ද රඹු­ක්කන දුම්රිය ස්ථානයේ තිබේ. අඟුරු වෙනු­වට ඩීසල් එන්ජින් භාවිත කරන අද දවස වන­විට එහි දක්නට ඇත්තේ ලෝහ­මය කණු කිහි­ප­යක් පමණි.

පුරා සති දොළ­හක් සිළු­මිණ සංචා­රක පිටුව ඔස්සේ සාකච්ඡා කළ රඹු­ක්කන කඩු­ග­න්නාව දුම්රිය මඟේ ඇති සුවි­ශේ­ෂතා පිළි­බඳ ලිපි පෙළේ අව­සා­නය සනි­ටු­හන් කර­මින් රඹු­ක්කන දුම්රිය පොළට පැමිණි අප එහි වූ මඟී පුටු­ව­කට බර වූයේ ගමනේ වෙහෙස පර­යන තෘප්ති­මත් ගවේ­ෂ­ණ­යක අව­සා­නය සනි­ටු­හන් කර­මිනි.

සාමාන්‍ය දුම්රිය මගි­යෙකු ලෙස දුම්රිය ගම­න­කදී දකි­න්නට, විම­ස­න්නට නොලැ­බෙන බොහෝ වැද­ගත් දෑ දකි­න්න­ටත්, ඒවා පිළි­බඳ තොර­තුරු පාඨක ඔබ සමඟ බෙදා­ග­න්න­ටත් ලැබුණු අව­ස්ථාව භාවිත කර­මින් දුම්රිය සේවය සමඟ බැඳුණු ජන­තා­වගේ ළෙන්ග­තු­කම්ද, හුරු­පු­රු­දුද, ජන­ප්‍ර­වා­දද සට­හන් තබ­න්නට මෙම ලිපි පෙළේදී අව­ස්ථාව ලැබිණි.

අතී­තයේ සිට අනා­ග­ත­යට යන ගම­නේදී දුම්රිය සේව­යද, මාර්ග­යද නව්‍ය­ක­ර­ණය විය යුතු­මය. ඒ අනුව රඹු­ක්කන - කඩු­ග­න්නාව මාර්ග කොටස කාලයේ තාල­යට සංව­ර්ධ­නය කර­න්නට දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව මේ වන විටත් මුල් පිය­වර තබා ඇත. ඒ අනුව දැනට රඹු­ක්කන - කඩි­ග­මුව අතර ද්වත්ව මාර්ග­යක් ඉදි­කි­රීම වෙනු­වෙන් මැනුම් කට­යු­තුද සිදු­කර මායිම් සට­හන් තබා ඇතැයි දැන­ග­න්නට ලැබුණි. ද්විත්ව මඟක කඩි­න­මින් රඹු­ක්ක­නෙන් කඩු­ග­න්නා­වට යන දින­යක අද අප දුටු දුම්රිය මඟෙහි බොහෝ වෙන­ස්කම් සිදු­වනු ඇත. එවන් දිනෙක දී අතීත මතක සමඟ ලියැ­වුණු මේ ලිපි පෙළ අනා­ගත පාඨ­ක­යින් සජී­වීව අතී­ත­යට කැඳවා යන සොඳුරු සට­හ­නක් වනු ඇතැයි බලා­පො­රොත්තු වෙමි.

ලිපි පෙළ ලිය­න්නට ආරා­ධනා කළ හිටපු සිළු­මිණ කර්තෘ චාමර ලක්ෂා­න් මහතාටද, ස්තූති­වන්ත වන අතර, අව­සර ගැනීම් සම්බ­න්ධී­ක­ර­ණය කළ ජ්‍යෙෂ්ඨ දුම්රිය රිය­දුරු සමන් ගුණ­ව­ර්ධන මහ­තාට, දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­පාලන නිල­ධාරී (සම්බ­න්ධි­ක­රණ ලේකම්) විරාජ් නානා­ය­ක්කාර මහ­තාට, තොර­තුරු තහ­වුරු කර ගැනී­මට සහාය වූ කොටුව දුම්රිය මාර්ග අධී­ක්ෂණ කළ­ම­ණා­කරු ඇන්ටන් වික්‍ර­ම­රත්න මහ­තාට, නාව­ල­පි­ටිය ප්‍රවා­හන අධි­කාරී කාර්යා­ල­යට සහ ගමන ගවේ­ෂණ කණ්ඩා­ය­මට ද මූලි­කව ස්තුති­වන්ත වෙමි.

අව­සාන වශ­යෙන් ගමනේ අත­ර­මඟ මඟ පෙන්ව­න්නට පැමිණි මාකෙ­හෙ­ල්වල පදිංචි විශ්‍රා­මික දුම්රිය ස්ථානා­ධි­පති එච්. එම්. විජේ­සිරි මහතා ඇතුළු ගම්වැ­සි­ය­න්ටත් ස්තූති­වන්ත වෙමි.

ඥානේන්ද්‍ර ප්‍රදීප් පති­රණ

Comments