සර­ස­විය සම්මා­න­ය­ දිනූ ළාබා­ල­තම ගායි­කාව විදූෂා නේත්‍රාං­ජලී | සිළුමිණ

සර­ස­විය සම්මා­න­ය­ දිනූ ළාබා­ල­තම ගායි­කාව විදූෂා නේත්‍රාං­ජලී

අප්පච්චි හිටියා නම් ගොඩක් සතුටු වේවි

ලිට්ල් ස්ටාර් තරුව වුණාට පසු

සංගීත ක්ෂේත්‍රයේ දොරටු විවර වුණා

අක්කා තමයි මගේ ගුරුවරයා

සරසවිය සම්මාන උලෙළේ (2017) වසරේ හොඳම ගායිකාව සම්මානය විදුෂා නේත්‍රාංජලී රාජගුරුට හිමි වුණා. ඒ අලි කතාව චිත්‍රපටයට ගායනා කළ 'සීත ගඟුල් ඇද හැළේ' ගීතය ගායනා කිරීම වෙනුවෙන්. මෙරට සිනමා සම්මාන උලෙළකදී හොඳම ගායිකාව ලෙස කිරුළු පැලඳූ ළාබාලතම ගායිකාව (වයස අවුරුදු 16) වන්නටත් විදූෂාට හැකි වුණා. මීට පෙර පළමු සරසවි සම්මාන උලෙළේ දී (1964) එවකට 19 වැනි වියේ සිටි නන්දා මාලිනිය 'ගලන ගඟකි ජීවිතේ 'ගීතය ගායනා කිරීම වෙනුවෙන් හොඳම ගායිකාවට හිමි සම්මානය හිමිකරගෙන තිබුණා. විදුෂාගේ වැඩිදුර තොරතුරු රසඳුන තුන්වැනි පිටුවෙන් ගෙන එන්නට අපි සිතුවේ ඒ නිසාමයි.

සරසවිය සම්මානය හිමි කර ගැනීම ඔබේ හීනයක් සැබෑවීමක්ද?

ඇත්තටම සරසවිය සම්මානය හිමිවීම මට හීනයක්. ඒ වගේම ලොකු සතුටක් මෙන්ම අභිමානයක් තියෙනවා. සරසවිය සම්මානයක් ලැබෙනවා කියන්නේ කිසියම් කලාකරුවකු හෝ කලාකාරිනියක ජීවිතයේ ලැබෙන ලොකුම ඇගයීමකට ලක්වනවා කියන එක. ඒ ඇගයීම හොඳම ගායනය වෙනුවෙන් හිමිවීම ගැන සතුටුයි.

සම්මානනීය ගායිකාවක වුවත් ඔබව බොහෝ පිරිසක් හඳුනන්නෙ නෑ..

මම තවම කලාවට ආධුනිකයි. ඒ නිසා බොහෝ පිරිසක් මම කවුද කියා හඳුනන්නේ නෑ. මම තවම පාසල් යන අවුරුදු දහසයක සිසුවියක්. මාතලේ සංඝමිත්තා බාලිකා විදුහලේ එකොළහ වසරේ ඉගෙනුම ලබනවා. මගේ ගම මාතලේ.

පසුගියදා ලැබුණු සම්මානය ගැන කතාකරමුද ?

සුනිල් ආරියරත්න මහතා විසින් අධ්‍යක්ෂණය කළ අලි කතාව චිත්‍රපටයට සුනිල් ආරියරත්න මහතා පද රචනය කළ රෝහණ වීරසිංහ මහතා සංගීතවත් කළ 'සීත ගඟුල් ඇද හැළේ' ගීතයට තමයි සරසවිය සමමානය හිමි වුණේ. සම්මානය පිරිනැමුවේත් සුනිල් ආරියරත්න මහතා වීම තවත් සතුටට කරුණක්. ඇත්තටම මේ තාක් සම්මාන උළෙලවලදී හොඳම ගායිකාව වූ ළාබාලතම ගායිකාව වීම ගැන ඉතාම සතුටුයි. මීට පෙර නන්දා මාලනී මහත්මිය තමයි ළාබාලතම ගායිකාව ලෙස සම්මානයට පාත්‍ර වී තිබෙන්නේ. මම ඒ වාර්තාව කඩ කරමින් මෙරට සිනමාවේ පැරැණිතම සහ අභිමානවත්ම සම්මාන උලෙළේදි හොඳම ගායිකාව වීම ගැන ඉතාම සතුටුයි.

විදුෂා තරග කළේ තවත් දක්ෂම ගායිකාවන් දෙදෙනකු සමග..

ඔව්. හීන හොයන සමන්ල්ලු චිත්‍රපටයට 'සඳ නෑවිදින්' අහසට ගීතය ගායනා කළ උරේෂා රවිහාරි සහ 'කාල' චිත්‍රපටයට ගීත ගායනය කළ 'කලා වැවම කඳුළින්' ගීතය ගායනා කළ සචිනි රණවක සමග. ඔවුන් දෙදෙනාම මට වඩා ප්‍රවීණයන්.

සංගීතයට යොමු වුණේ පුංචි කාලයේ සිටමද?

ඔව්. අවුරුදු තුනේ සිට ගීත ගායනා කරනවා. පුංචි කාලෙ පටන්ම ගීත ගායනය සහ වාදනය යන අංශ දෙකම ඉගෙන ගත්තා.

රියැලිටි තරගවලට සහභාගි වීම සිදුවන්නේ කොහොමද ?

රියැලිටි වැඩසටහන්වලට ඉදිරිපත්වෙන්න මූලික අඩිතාලම වැටුණේ මගේ අප්පච්චිගෙන්. ඔහු යුද හමුදාවේ පරිගණක උපදේශකවරයෙක් ලෙස සේවය කළා. ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ගේ ළමයින් වෙනුවෙන් පැවැත්වුණු 'රණවිරු සුවඳ' තරගාවලියේදී වයස අවුරුදු 4-5 වයසේ අංශයෙන් මාවත් අක්කාවත් තරගයට යොමු කළේ ඔහුයි. එහිදී මම දෙවැනි ස්ථානයත් අක්කා ප්‍රථම ස්ථානයත් ජයග්‍රහණය කළා.

සිරස ගුවන් විදුලියත් ඔබේ සංගීත ජීවිතයට සම්බන්ධයි..

සිරස එෆ්.එම්. එකෙන් කළ 'සමනල සිරස' වැඩසටහනෙන් පැවැත්වුවා ගායනා තරගයක්. එයට සහභාගි වී මධ්‍යම පළාතෙන් පළමුවැනියා ලෙස ජයග්‍රහණය කළා. ඉන් පසු අවුරුදු දෙකක් සමනල සිරසේ ගීත ගයන්න අවස්ථාව හිමිවුණා. එම තරගයට මුලින්ම ගායනාකළේ අමරදේව සූරීන්ගේ වැලි තල අතරේ කියන ගීතය.

දෙරණ ලිටිල් ස්ටාර් තරගයේ ජනප්‍රිය තරුව වන්නටත් හැකි වුණා ..

ඇත්තටම එයත් මට හීනයක් වගේ. 2011 අවුරුද්දේ ලිට්ල් ස්ටාර් තරගයේ ජනප්‍රිය තරුව වෙමින් ජයග්‍රහණය කරන්නට මට හැකිවුණා. එම තරගයෙන් පසුව තමයි සංගීත ලෝකයට යන දොරටුව හොඳින්ම විවර වෙන්නේ. ඉන්පසුව දෝණි, සාගරය, සිංහයා ආදී චිත්‍රපට හයකට ගීත ගායනාකරන්න අවස්ථාව හිමිවුණා. ඒ වගේම අත්තම්මා, මායාකාරි ටෙලිනාට්‍ය සහ කාටුන් ගණනාවකටම ගීත ගායනා කළා.

මේ තරම් දක්ෂ ලෙස ඔබට මඟ විවර කර දෙන ඔබේ ගුරුවරයා ගැනත් කියමු..

මගේ ගුරුවරයා තමයි මගේ අක්කා. ඇගේ නම උමේෂා රාජගුරු. ඇය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත කථිකාචාරිණියක්. මගේ පිටුපසින් ඉඳගෙන මාව මේ තැනට ගෙන ආවේ ඇයයි. වාදනය ඉගෙන ගන්නේ අශෝක ඉඳුනිල් සර්ගෙන්.

විදූෂා වැඩිපුර කැමැති ශාස්ත්‍රිය ගී ගායනයට කියන්නෙ ඇත්තක්ද?

මම කැමැතියි නන්දා මාලනී මහත්මියගේ ගීතවලට. අත්තම්මා ටෙලිනාට්‍යයේ ගීතය ගැයුවේ ඇය සමගයි. ඒ වගේම සුජාතා අත්තනායක සහ සමිතා මුදුන්කොටුව යන ගායිකාවන්ගේ ගීත ගයන්නත් කැමැතියි.

'අප්පච්චි' ගීතය ඔබට විශේෂයි නේද..

ඔව්. එම ගීත‍ය අප්පච්චි සහ දුවෙක් අතර ආදරණීය බැඳීම පෙන්වන ගීතයක්.මම මගේ අප්පපච්චිට හරිම ආදරෙයි. ඔහු සිටියා නම් මම මේ සම්මානය ලැබූ මෙහොතේ ගොඩාක් සතුටුවෙයි. අප්පච්චි සිටියා නම් 'අප්පච්චි' ගීතය ගායනා කරන්නෙ ඔහු සමග. අවාසනාවට ඔහු මිය ගිහින් දැන් අවුරුද්දකට වැඩියි. අප්පච්චි මිය ගිහින් අවුරුද්දේ දානෙ දවසේ තමයි රොහාන් ශාන්ත බුලේගොඩ අන්කල් සමග එම ගීතය ගායනාකළේ.

ඔබ කිඩ් මාස්ටර් කෙනෙක් .?

ඔව්. මම යෝග කරනවා. ඒ වගේම කරාටේ සහ වූෂු ක්‍රීඩාවලටත් දක්ෂයි.

විදූෂා ලස්සන නිසා රංගනයට ආරාධනා ලැබෙන්නෙ නැද්ද?

ආරාධනා නම් ලැබෙනවා. නමුත් මම කැමතියි හොඳින් ඉගෙනගෙන අනාගතයේ ශාස්ත්‍රීය ගායිකාවක් වෙන්න. මගේ අම්මා දමයන්ති රත්නායක සහ අක්කලා දෙදෙනා මගේ පිටුපසින් සිටිමින් සහයෝගය දෙනවා. ඔවුන්ගේ උපදෙස් මත තමයි මේ සියලු දේ කරන්නේ.

Comments