පිරි­මින් හා කරට කර ගැටෙන VISION LADIES | සිළුමිණ

පිරි­මින් හා කරට කර ගැටෙන VISION LADIES

මෙරට අස්සක් මුල්ලක් නෑර සංගීත කණ්ඩායම් බිහි වෙමින් තිබේ. ඒ හැම කණ්ඩායමකම සාමාජිකයෝ බොහෝවිට පිරිමිය. එහෙත් පිරිමි කණ්ඩායම්වලට නොදෙවැනි කාන්තාවන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් කළුතර දිස්ත්‍රික්කයෙන් බිහිවී තිබේ. ඒ ‘විෂන් ලේඩීස්‘ ( VISION LADIES) නමිනි. මෙවර BAND OF THE WEEK හැඩ කරන්න අපි එහි නායිකා දීපා ගොඩැල්ලවත්ත එක්කර ගත්තෙමු.

 ‘විෂන් ලේඩීස්,කියන බෑන්ඩ් එකට නම දැම්මේ කවුද ?

අපේ කණ්ඩායමේ සියලුම දෙනාගේ කේන්දර බැලුවා. මගේ කේන්දරෙත් බැලුවා. ඒ අනුව තමයි මේ නම යෙදුවේ.

කොහොමද සංගීතයට නැඹුරු වුණේ?

මම සංගීතය හැදෑරුවේ පාසල් කාලයේ ඉඳලා. ඊට පස්සේ පාසලෙන් ඉවත් වුණාට පස්සේ සංගීත පන්තියකට ගියා කී බෝඩ් පුරුදු වෙන්න. ඒත් එතැනට ආව අයියල ඩ්‍රම්ස් ගහනවා දැක්කම අසාවක් ආවා. මම හිතන්නේ ඩ්‍රම්ස් කලාව මගේ ඇඟේ තියෙන්න ඇති. ඒකයි මම කී බෝඩ් වෙනුවට ඩ්‍රම්ස් ප්ලේ කරන්න ගත්තේ.

ඩ්‍රම්ස් ගහන්න ලේසි නැහැ. ඔබ කාන්තාවක් ලෙස කොහොමද ඒ අභියෝගය ජයගත්තේ?

මුලදිත් ඒකයි මම කිව්වේ ඩ්‍රම්ස් ගහන කලාව මගේ ඇඟේ තියෙන්න ඇති. නැත්නම් ඒ වගේ දේකට කීයටවත් නැඹුරුවෙන්නේ නැහැ නේ. හැබැයි මම හිතුවටත් වඩා පහසුවෙන් මට ඒ දේ ඉගෙන ගන්න පුළුවන් වුණා. මම ප්‍රසංග වේදිකාවේ ඩ්‍රම්ස් ගහන්න ගන්න කලින් කවුරුවත් එහෙම ගහල තියෙනව කියලා අහලත් නැහැ. දැකලත් නැහැ.

බෑන්ඩ් එකට සාමාජිකයන් හොයාගත්තේ කොහොමද?

මම සංගීතය ඉගෙන ගන්න ගිය පන්තියට ආව අය එකතු වෙලා මුලින් බෑන්ඩ් එකක් පටන් ගත්තා. පසුව ඒක නැවතුණා. එහෙම ටික කාලයක් ගියාට පස්සේ තමයි නැවත විෂන් ලේඩි කියන නමින් බෑන්ඩ් එක පටන් ගත්තේ. මුල් බෑන්ඩ් එකේ හිටිය සමාජිකාවොත් ඉන්නවා. අලුතෙන් එකතු වුණ අයත් ඉන්නවා. අපේ බෑන්ඩ් එක තියෙන්නේ කළුතර. ඒ අවට වගේම දුර බැහැර අයත් අපිත් එක්ක ඉන්නවා.

පිරිමි කරන දේවල් කරන්න යනකොට ගෙදරින් විරෝධයක් ආවේ නැද්ද?

ඇත්තටම එහෙම විරෝධයක් ආවේ නැහැ. ගෙදර අය ඒ අයට පුළුවන් විදියට උදව් කළා. අනිත් එක අපේ රටේ මේ දේවල් අමුතු වුණාට පිට රටවලට මෙවැනි දේ අමුතු නැහැ. දැන් පිරිමි ගැහැනු කියලා නැහැ. හැමෝම කරට කර වැඩ කරනවා. ඒ නිසා අපිත් බෑන්ඩ් එකක් පටන් අරන් ඒ අභියෝගේ ජයගත්තා.

බෑන්ඩ් එක හැඩ කරන අනිත් සමාජිකාවන් ගැනත් සඳහන් කළොත්?

කී බෝඩ්-නාමලී පාවුලගේ, ලීඩ් ගිටාර් ගිටාර්-උපුල්මලී වෑත්තෑව, බේස් ගිටාර්- නිලූකා ලක්මිණි, රිදම් ගිටාර්- ඩිල්කි මධුභාෂිණී, ඔක්ටර් ෆෑඩ්- දියණි ලන්කේෂි , ඩ්‍රම්ස්-දීපා ගොඩැල්ලවත්ත, ගායිකාවන් ලෙස-ශිරාණි මංගලිකා, චමරි ජයමිණි, අයේෂා බණ්ඩාර බෑන්ඩ් එකේ සමාජිකාවන් ලෙස ඉන්නවා.

වෘත්තියක් විදියටද බෑන්ඩ් එක කරගෙන යන්නේ?

වෘත්තියක් විදියට නෙවෙයි කරන්නේ. අපේ සමාජිකයෝ විවිධ රැකියාවන්හි නිරත වෙලා ඉන්නවා. ගුරුවරියන් ලෙස සේවය කරන අයත් මේ අතර ඉන්නවා. අපි සෑම සෙනසුරාදා සහ ඉරිදාවකම පුහුණු වීම් කටයුතු කරනවා.

කාන්තාවන් ගිහින් බෑන්ඩ් ගහද්දි ප්‍රශ්න ඇවිත් නැද්ද?

මගේ මහත්තයා තමයි බෑන්ඩ් එකේ මැනේජර් විදියට වැඩ කරන්නේ. එයා තමයි සියලුම දේ බාර ගන්නේ. කවුරු හරි අපෙන් නම්බර් එකක් ඉල්ලුවත් අපි දෙන්නේ මහත්තයගේ නම්බර් එක. වාහනේට නැගලා ගිහින් ප්‍රසංගය කරලා, ඒ වාහනේම නැවත එනවා. එහෙම නැතුව කිසිම අනවශ්‍ය කිසි දේකට අපේ සමාජිකාවෝ හවුල් වෙන්නේ නැහැ. සමහර සමාජිකාවන්ගේ ගෙවල්වල අයත් එනවා. ඒ නිසා හොඳ ආරක්ෂාවක් තිබෙනවා. මේ වෙනකම් කිසිම ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ.

මහත්තයා විරුද්ධ වුණේ නැද්ද බෑන්ඩ් ගහනවට?

මට මහත්තයා මුණ ගැසුණෙත් සංගීතය නිසා. දවසක් ෂෝ එකක් බාර දෙන්න ඇවිත් කතා කළා. ඊට පස්සේ එය ආදරයකට පෙරළුණා. මේ සියලු දේ කරගෙන යන්න පුළුවන් වෙලා තිබෙන්නේ ඔහු නිසා. ඔහුගේ සහයෝගය තමයි අපිට මේ තරම් දුරක් එන්න ශක්තියක් වුණේ.

බෑන්ඩ් එකේ අනාගත බලාපොරොත්තු මොනවද?

අපි කාන්තාවෝ කියලා නැහැ. පිරිමි අයගේ කණ්ඩායම් එක්කත් ඇටෑක් ෂෝ පවා කරලා තිබෙනවා. ඒ නිසා අපේ අරමුණ රටම දන්න, හැමෝම ඉල්ලන බෑන්ඩ් එකක් වෙන එක.

Comments