ඉන්ධන මිල වෙනස සතියකට වරක් | Page 2 | සිළුමිණ

ඉන්ධන මිල වෙනස සතියකට වරක්

මාස දෙකකට වරක් ඉන්ධන මිල සංශෝධනයට ගෙන ඇති මිල සූත්‍රය වෙනස් කර, සතියකට වරක් ඉන්ධන මිල සංශෝධනය කිරීමේ මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශය පවසයි. ජනතාවට වැඩි වාසි සැලසීමේ අරමුණින් සතියකට වරක් ඉන්ධන මිල සංශෝධනය කිරීම කෙරෙහි මෙසේ රජයේ අවධානය යොමු වී ඇති බවත්, ඉන්ධන මිල සංශෝධනයේදී මිල ඉහළ යන අවස්ථාවල ජනතාවට එක්වරම ඇති වන ගැටලු අවම කිරීම සඳහා මෙසේ සතියකට වරක් මිල සංශෝධනය කිරීමේ නව මිල සූත්‍රය හඳුන්වා දීමට සැලසුම් කර තිබේ.

ඉන්ධන මිල සූත්‍රය හරහා ඉන්ධන මිල සංශෝධනයට පත් කළ කමිටුව විසින් සකස් කරන ලද වාර්තාවට අනුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත්තේ දෙමසකට වරක් මිල සංශෝධනයට වන අතර ඒ අනුව පසුගිය සිකුරාදා සිට ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කරන ලදී.
එසේ වුවත් යම් හෙයකින් සතියකින් හෝ දෙකකින් ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල පහළ ගියද නව මිල සූත්‍රයට අනුව ජනතාවට එම සහනය ලබා දීමට මාස දෙකක කාලයක් බලා සිටිය යුතු හෙයින් අදාළ මිල සූත්‍ර කමිටුව විසින් සතියකට වරක් ඉන්ධන මිල සංශෝධනය කෙරෙහි අවධානය යොමු කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. මේ නිසා සතියකට වරක් මිල සංශෝධනය කළ හැකි නව මිල සූත්‍රයක් සකස් කර එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම සම්මත මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණනය කිරීමේදී ලෝක වෙළඳපොළේ මිල හැසිරීම මෙන්ම අමෙරිකානු ඩොලරයේ වටිනාකමද සැලකිල්ලට ගැනෙනු ඇත.
මිල සූත්‍ර කමිටුව මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත අතර මහා භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂවරුන් දෙදෙනකු හා ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ ඔහුගේ නියෝජිතයකුගෙන්ද සමන්විතය.
 

Comments