සීමිත කලෙක අසී­මිත මෙහෙ­ව­රක් කළ සුනිල් අයියා | සිළුමිණ

සීමිත කලෙක අසී­මිත මෙහෙ­ව­රක් කළ සුනිල් අයියා

සුනිල් මිහිඳුකුල නම් වූ සුන්දර මිනිසා අප අතරින් වියෝ වී වසරක් ඉක්ම ගොස් තිබේ. ඒ කටුක සත්‍යය මතකයට නැංවීමේදී අදහාගත නොහැක්කේ ඔහු අප අතරින් වෙන්ව ගිය බව පමණක් ම නොවේ. ඔහුගේ සමාගමය හා ඔහුගේ මාධ්‍ය භාවිතය ද අප හට අහිමි වී පුරා වසරක තරම් දිගු කාලයක් ගත වීමයි. 1960 සැප්තැම්බර් මස 26 වැනි දින මෙලොව එළිය දැක, වසර 57 කට මඳක් අඩු කාලයකට සීමා වූ තම කෙටි ජීවිත ගමන් මඟ ඉතා අර්ථවත් ලෙස ගත කරමින් තමන් නියැළී සිටි මාධ්‍යයන් ඔස්සේ ජනතාවට, රටට සේම එකී මාධ්‍යයන්ට අමිල මෙහෙවරක් ඉටුකළ කලාකරුවකු ලෙස සුනිල් ඉතිහාසයට එක් වී හමාර ය.

සමීපතමයකුගේ වියෝව පිළිබඳව නැගෙන ශෝකය, විරහ වේදනාව කාලය විසින් මකා දමනු ලබන්නේ යයි පැවසූවද සුනිලුන් විෂයයෙහි එය මිථ්‍යාවකි. ඔහු, තමා නියැළි ක්ෂේත්‍රයන්හි, වෙසෙසින් ම මාධ්‍යවේදියකු ලෙස, පුවත්පත් කතුවරයකු ලෙස කටයුතු කළ පුළුල් ආකාරය සේම, උතුම් මානව ගුණාංගයන්ගෙන් අනූනව තම ක්ෂේත්‍රය තුළ ක්‍රියා කළ ආකාරය සිහිපත් වීමේදී පුරා වසරක් ඉක්ම ගිය ද ඔහුගේ වියෝව අප තුළ ජනිත කරන්නේ තියුණු ශෝකයකි. ඔහු ප්‍රකට කළ ඒ පූර්වෝක්ත මහඟු චර්යා පද්ධතිය විමසා බැලීම ඔහුගේ වියෝවෙන් වසරක් පිරෙන මෙම වකවානුවේ ඔහුට කරන ඉහළ ම ගෞරවය වනවා නො අනුමාන ය.

බොහෝ මිනිසුන්, එසේ ම බහුතර දේශපාලනඥයන්, ඇතැම් කලාකරුවන් හා මාධ්‍යවේදීන් පවා මිය ගිය විටෙකදී ඔවුන්ගේ දෙණ ඉදිරිපිට, නොඑසේ නම් ඔවුන්ගේ ගුණානුස්මරණයකදී කෙරෙන ගුණ ගායනා සවන් වැකෙන විට ඇතිවන්නේ විමතියකි. ඒ, එසේ පළ කෙරෙන බොහෝ දෑ සත්‍යයෙන් ඉඳුරා බැහැර, මරණය සලකා එවන් පුද්ගලයන් වෙත බලෙන් ආරෝපණය කරන ලද ව්‍යාජ, සාමෝ්‍ය ප්‍රකාශන බැව් ප්‍රත්‍යක්ෂ වීමෙනි. එහෙත් සුනිලුන් සම්බන්ධයෙන් එය එසේ යැයි ඔහුගේ පසමිතුරකුට හෝ පැවසිය හැක්කේ නොවේ. තම පුවත්පතක් මඟින් ඔහු පළ කළ අදහසක, ඔහුගේ කලා තරග විනිශ්චයක ඌනතාවක් පෙන්නා, ග්‍රාම්‍ය, නොසරුප් බසින් ඔහුට පන්න පන්නා පහර ගැසූ හුදු නාමමාත්‍ර, නිසරු මාධ්‍යවේදියකු, දෙදෙනෙකු වූ බැව් මාධ්‍ය ලෝකයට නොරහසකි. එවන් දුහුනන්, සුනිලුන්ගේ අදීන මාධ්‍ය පිළිවෙත් දරාගත නොහැකිව, හුදු ද්වේශය සහ ඉහවහා ගිය කුහකවත මත එසේ පළ කළ අවලාද නිසරු, අරුත්සුන් ප්‍රලාප බැව් මැදිහත් විද්වත්හු දනිති, පිළිගනිති.

සුනිල් වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම පරමාදර්ශී මාධ්‍යවේදියෙකි. ඒ, තමන්ට ආවේණික, අපූරු, තියුණු, සංක්ෂිප්ත භාෂා ශෛලියකින් පුවත්පත් කලාවේ මෙන් ම ග්‍රන්ථකරණයේ නියැළුණු අපේ කාලයේ කැපී පෙනුණු මාධ්‍යවේදියකු වීමේ හේතු වෙනි.

පාසැල් වියේ පටන් පුවත්පත් වලට ලිවීම අරඹා, පසුව නිදහස් මාධ්‍යවේදියකු ලෙස විවිධ කලා පුවත්පත් වලට ලිපි සපයා, අනතුරුව ස්ථිර මාධ්‍යවේදියකු ලෙස කටයුතු කිරීම ඇරැඹූ සුනිල් එසේ ලද පළපුරුද්දේ සහ පරිචයේ සාර්ථකත්වයෙන් ලේක්හවුසියේ ‘සරසවිය’, ‘රසඳුන’ වැනි කලා සංග්‍රහයන් හි කර්තෘත්වය ද, ‘සිළුමිණ’ පුවත්පතේ සම කර්තෘ ධුරය ද දැරීමට වරම් ලැබුවේ මාධ්‍යවේදියකු ලෙස, වයස ඉක්මවා ගිය පැසුණු බුද්ධියක් මනාව ප්‍රකට කරමිනි. හේ බොහෝ ඇසූපිරූ තැන් ඇති පුළුල් මාධ්‍යවේදියෙකි.

පාසල් වියේ පටන් සිනමාව, නාට්‍ය වැනි දෘශ්‍ය මාධ්‍ය, වෙසෙසින් ම චිත්‍රපට අතිබහුල ලෙස නැරඹීමේ, හැදෑරීමේ, පතපොත ඇසුරේ ඇලී ගැලී සිටීමේ හේතුවෙන් හේ බොහෝ අදාළ කරුණු කාරණා නිවැරැදිව, අතැඹුලක් සේ දත් මාධ්‍යවේදියකු විය. සිනමාව, පුවත්පත් කලාව, ග්‍රන්ථකරණය යන විෂයයන් පිළිබඳව සේ ම, ඒ ඒ ක්ෂේත්‍රයන්හි නියැළි බොහෝ කලාකරුවන් පිළිබඳව ක්‍රමානුකූලව ගොනුකළ පුළුල් දත්ත ගබඩාවක් ඔහු සතු විය. එය ඉතා වැර වෑයෙමන්, දහසකුත් එකක් දුෂ්කරතා මධ්‍යයේ තම නිවසේ පවත්වා ගෙන ගිය ඉතා දුර්ලභ, අගනා දත්ත එකතුවකි. ලේඛකයන් හට, මාධ්‍යවේදීන් හට, එමෙන් ම සාහිත්‍ය ගවේෂණයේ යෙදෙන විද්‍යාර්ථින් හට අවශ්‍ය තොරතුරු ඔහු එමඟින් නිර්ලෝභිව, අනලස්ව ලබා දුන්නේ බොහෝ නිහතමානීව ය. ඔහුගේ දත්ත ගබඩාව මඟින් බොහෝ තොරතුරු ලබා ගැනීමට හුරුවී සිටි අප හට ඔහුගේ වියෝවේ රික්තය වඩාත් දැඩිව දැනෙන්නේ වෙනත් එවන් දත්ත ගබඩාවක් පිළිබඳ දැනගන්නට නොමැති බැවිනි. ඒ අනුව මින් වසරකට පෙර අපට අහිමි වූයේ පුළුල්, අදීන මාධ්‍යවේදියකු පමණක් නොවේ. කාර්ය වටිනාකමකින් යුතු කලා දත්ත එකතුවකි.

අපගේ බොහෝ සමකාලීන මාධ්‍යවේදීන් හා ලේඛකයන් තම ලේඛන ක්‍රියාවලියේදී ප්‍රකට නොකරන අදීනත්වයක් සුනිල්ගේ දශක තුනකට පමණ සීමාවූ ලේඛන කලාව තුළ දිස්වීම ප්‍රකට කරුණකි. එය ඔහුගේ අවසන් දශකයට ළඟාවත් ම මුහුකුරා ගිය බවක් ද දිස්වේ. ඔහුගේ ලිවීමේ අදීනත්වය නොඉවසූ පටු ඇතැම් අවස්ථාවාදීන් එය පිළිකෙව් කළ ද බහුතරයක් විද්වත්හු ඔහුගේ ලේඛනය නොවළහා පැසසූ බැව් අප හොඳාකාරව ම දනිමු.

වරින්වර තමා කර්තෘත්වය හෙබවූ පුවත්පත්වලට ලියන්නට, එමඟින් මාධ්‍යවේදය පිළිබඳව ක්‍රමික පරිචයක් ලබන්නට, ඒ ඔස්සේ ම ග්‍රන්ථකරණයට පිවිසෙන්නට අංකුර, ආධුනික ලේඛකයන් රැසකට, කුහකවතින් තොරව, නොපැකිළව මඟ හසර විවරකර දුන්, අතහිත දුන් අපේ කාලයේ පුළුල් මාධ්‍යවේදියකු ලෙස සුනිලුන් හැඳින්වීම නිවැරැදි ය. සුනිල් අදින් වසරකට පෙර වියෝ වූයේ කයෙන් පමණකැයි නිගමනය කළ හැක්කේ ඒ අරුතෙනි.

සුනිල් තම වෘත්තිය පරිසරය තම අදීන පිළිවෙතට සරිලන සේ සකස් කරගත් මාධ්‍යවේදියෙකි. සේවා ස්ථානය දේශපාලනීකරණය වී තිබුණ ද එකී ප්‍රවාහයෙන් බැහැර වී, තමාට අවශ්‍ය කවර හෝ කලාකරුවකු ගේ පක්ෂ පාට, තරාතිරම නොතකා තම නිර්මාණයේ නියැළීමට සමත්, ඍජු පිට කොන්දක් ඔහු සතු විය. එසේ ම දේශපාලකයන් හමුවේ දෙකට නැමී, තම වෘත්තීය ගෞරවය පාවා දෙමින් හුදු පෞද්ගලික ලාභ සත්කාර ලබා ගැනීම ද හේ මුළුමනින් ම බැහැර කළේ ය. ඇතැම් විටෙක හේ දඩබ්බරයකු සේ දිස් වූයේ, නියම පුවත්පත් කලාවේදියකු සතු විය යුතු ආඩම්බරයද නොඅඩවු සුනිල් සතු වීම නිසා වන්නට ඇත. එහෙත් සුනිල් කෙතරම් පුළුල් සුන්දර මිනිසකු වී ද යන්න ඔහුගේ සමීපතමයෝ දනිති.

සිනමාව, නාට්‍යකරණය සහ ආශ්‍රිත කලා පිළිබඳව තම පුළුල් දැනුම විදහා පාමින් සුනිල් අතින් ලියැවුණු ග්‍රන්ථ සංඛ්‍යාව 22 කි. මුද්‍රණ ද්වාරයෙන් නිකුත් නොවූ අත් පිටපත් දෙක තුනක් ද තිබේ. ඉතා අවාසනාවන්ත ලෙස ඔහු ගොදුරු කර ගත් මාරාන්තික ව්‍යාධිය නොව‍ූයේ නම් සුනිලුන් තවත් අගනා ග්‍රන්ථ රැසක් පාඨකයන් වෙත තිළිණ කරනවා නිසැක ය. තමා පෙළූ ව්‍යාධියේ පරිමාව අනුව ගතින් මෙන් ම සිතින් ද මුළුමනින් ම අඩපණ ව, සයනයක වැතිරී කෙඳිරිගාමින් පසුවනවා වෙනුවට ඉතා අසීරුවෙන් සුනිල් බොහෝදුරට නිම කළ ඔහුගේ අවසන් ග්‍රන්ථය ‘රන්ජිත් ධර්මකීර්ති නාට්‍යාවලෝකනය’ යි. එය අප ගේ සංස්කරණයෙන් තව නොබෝ දිනකින් සුනිලුන්ගේ පාඨක ජනතාව වෙත තිළිණ කරන බැව් සටහන් කරන්නේ දැඩි ආත්ම තෘප්තියකිනි.

තමා දැරූ තනතුරට ආලෝකයක් වූ, වචනයේ පරිසමාප්ත මාධ්‍යවේදියකු වූ සුනිල් හට විශ්‍රාම යන්නට සිදු වුණේ 55 වැනි විය සම්පූර්ණ වූ විගස වීම මහා ඛේදවාචකයකි. හුදු කම්කරුවන්, ලිපිකරුවන්, සුනිලුන්ගේ ම ඇතැම් සමකාලීන අති සාමාන්‍ය මාධ්‍යවේදීන් හැට විය ද ඉක්මවා සේවය කරද්දී සුනිල් හට ස්ථිර සේවය අහිමි වීම පාඨක අපගේ අභාග්‍යයකි. ඔහු වෙනුවෙන් පැවැත්වනෙ උපහාර උලෙළකදී මුල් පුටු අරා වැජඹීමටත්, ඔහුගේ මළගමෙහිදී නිසල දේහය අභියස මල්වඩම් තැබීමටත් වඩා අර්ථවත් වන්නේ ඔහුගේ සේවය තවදුරටත් ලබා ගැනීම බව බලධාරීන් තේරුම් ගත්තේ නම් සුනිලුන් තවදුරටත් ජීවත් වීමට එය ප්‍රබල සාධකයක් වන බව අපගේ පෞද්ගලික විශ්වාසයයි. 

Comments