එකම ගසේ අඹ වර්ග 51ක් ඉන්දීය තරු­ණ­ය­කුගේ හප­න්ක­මක් | සිළුමිණ

එකම ගසේ අඹ වර්ග 51ක් ඉන්දීය තරු­ණ­ය­කුගේ හප­න්ක­මක්

රවි ඉන්ජිනේරු වෘත්තිය අත්හැර තෝරාගත්තේ ස්වාභාවික ගොවිතැනය. වැඩි කලක් යෑමට මත්තෙන් ඔහුට අවශ්‍ය වූයේ සිය ඉඩමේ ඇති වසර 50ක් පැරැණි ඇඹුල් රසයෙන් ඵල හට ගන්නා අඹ ගසට පටක බද්ධ රෝපණය කිරීමටය. ගොම පොහොර යොදමින් සිය වගා බිමේ ඉහළ අස්වනු නෙළාගන්නා ඔහු අද ඉන්දියාවේ‍ සාර්ථක ගොවියෙකි.

 

 

ඔහුගේ වත්තේ තිබූ පැරැණි අඹ ග‍සේ එතෙක් පැවැති අඹ ඇඹුල් රසයෙන් යුක්ත වූ අතර ඉන් ලැබුවේ අඩු ආදායමකි. දැන් ඒ ගසේ අල්පොන්සෝ වර්ගයේ සිට මහාරාජා වර්ගය දක්වා අඹ ඵල දරයි. ඇතැම් වර්ගයක අඹ ගෙඩියක බර කිලෝ ග්‍රෑම් 3කි. දැන් ඔහු

අඹ ‍ගසෙන් විශාල ආදායමක් උපයයි.

 

රවි වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවෙකි. ඔහුගේ පියා ගොවියෙකි. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ විදර්භා පළාතේ වාෂිම් ඔවුන් පදිංචි ගම්මානයයි. එය ගොවි ගම්මානයකි. ඒ ගම්මානයේ වෙසෙන ගොවීන් ණය බරින් මිරිකී සිය දිවි හානි කර ගනු රවි කුඩා කල සිටම දුටු දෙයකි. රවිගේ පියා ගොවියකු මෙන්ම නිරන්තරයෙන්ම ගමට හා ජනතාවට සේවය කිරීමට සෑදී පැහැදී සිටින්නෙකි. එනිසා ඔහු නිතරම ගොවි දුකට පිහිට වූයේය. පියාගේ අඩි පාරේ යන පුතා සිය ඉංජිනේරු වෘත්තිය අතහැර ගමට ආවේ ගොවි දුකට පිහිට වීමට සිතාගෙනය.

ගම්මානයේ ඔවුන් සතු පාරම්පරික ඉඩම අක්කර 5කි. තමන් සතු ගහ කොළ බද්ධ කිරීමේ දැනුමෙන් ප්‍ර‍‍යෝජන ගැනීමට සිතූ රවි මේ ඉඩමේ බාගයක අඹ වැවීමට තීරණය කළේය. ඔහු මුලින්ම වැවූ අඹ ගස් ප්‍රමාණය 1000කි. තවත් අක්කරයක සියඹලා වැවූ රවි ඉතිරියේ තමන්ගේ පරිභෝජනය සඳහා එළවළු වැවුවේය.

මේ වගාව රැක බලා ගන්නා අතරතුර තම රටේ කෘෂිකර්ම විශ්වවිද්‍යාලවලට ගිය ඔහු නව කෘෂිකාර්මික තාක්ෂණ ක්‍රමවේද සොයා බලා ඉගෙන ගෙන ඒ ගැන තම අවට ගම්මානවල ගොවීන් දැනුම්වත් කළේය.

“අපේ ගොවීන්ට තිබූ ප්‍රධානම ගැටලුව අලුත් දේ ගැන දැනුමක් නොමැතිවීමයි. ඔවුන් දැනුවත් කරන ගමන් මං පළාතේ සාර්ථක ගොවීන් සොයා ගොස් ඔවුන්ගේ දැනුම ද එකතු කර ගත්තා. විදර්භා පළාතෙන් එකතු කරගත් ගොවීන් සමඟ ඉන්දියාව පුරා කෘෂි අධ්‍යයන චාරිකා 500කට වැඩි ප්‍රමාණයක් ගියා. ඒ හැම තැනකින්ම අලුත් යමක් එකතු කර ගන්න අපට පුළුවන් වුණා.” රවි පවසයි.

ඉන්දියාවේ පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලද සුභාෂ් පලෙකාර් නමැති සාර්ථක ගොවියා රවිට මුණ ගැසෙන්නේ මේ යන චාරිකාවකදීය. සුභාෂ් තනිකරම ස්වාභාවික ගොවිතැනේ යෙදෙන්නෙකි. ඔහුගෙන් තොරතුරු ලබා ගත් රවි සිය බෝගවලට කෘත්‍රිම පොහොර යෙදීම වහාම නැවැත්වීය. සිය ගොවිපොළේ කිරි හරකුන් ඇති කිරීම ආරම්භ කරමින් ගොම පොහොර හා ගව මූත්‍ර වගාව සඳහා යෙදීම ආරම්භ කළේය. එපමණකින් නොනැවතී තමා අනුගමනය කරන ක්‍රමවේද ගැන ගම් පළාතේ ගොවීන්ද දැනුම්වත් කරමින් කෘත්‍රිම රසායනවල ආදීනවද පහදා දුන්නේය. වැඩි කල් නොයවා ර‍වි සිය ගොවිපොළෙන් ඉහළ අස්වනු නෙළා ගත්තේ ස්වාභාවික වගාවේ යෙදෙමිනි. සිය ගොවිපොළේ දෙනුන්ගේ කිරි හා ගී අලෙවි කරමින් දැන් ඔහු වසරකට ලක්ෂයකට වැඩි අමතර ආදායමක්ද ලබයි.

මේ තරුණ ගොවියා වඩාත් ප්‍රසිද්ධ වූයේ ඔහුගේ කෘෂි ඉඩමේ ඇති එක් අඹ ගසක් නිසාය. එම අඹ ගස වසර 50කටත් පැරැණි බව පැවසේ. ර‍වි මේ අඹ ගසෙන් වර්ග 51ක අඹ අස්වනු නෙළා ගනී. ඔහු මේ ප්‍රතිඵලය ලබා ගත්තේ අඹ ගසට 1350වැනි වතාවක් පටක රෝපණය කරමිනි. රවි පටක රෝපණය පිළිබඳ දැනුම ලබා ගත්තේ ඔස්මනාබාද් පළාතේ කළ කෘෂි චාරිකාවකදීය.

“එහිදී මට හමුවූ ගොවියා එකම අඹ ගසෙන් අඹ වර්ග 15ක් ලබා ගන්නවා. මා ඔහුගෙන් අඹ ගස් බද්ධ කිරීම ඉගෙන ගත්තා. මං පළමුවෙන්ම කළේ අපේ රටෙන් තුරන්වී යෑමට ආසන්න අඹ වර්ග සංරක්ෂණය කිරීමයි.”

එපමණකින් නොනැවතී ඔහු දුර්ලභ අඹ වර්ග සොයා ගියේය. ඇතැම් අඹ වර්ග ඒ වෙද්දීත් තුරන්ව ගොසිනි. එවන් වර්ග සොයා ඔහු විශ්වවිද්‍යාල කරාද ගියේය.

ඔහුගේ වත්තේ තිබූ පැරැණි අඹ ග‍සේ එතෙක් පැවැති අඹ ඇඹුල් රසයෙන් යුක්ත වූ අතර ඉන් ලැබුවේ අඩු ආදායමකි. දැන් ඒ ගසේ අල්පොන්සෝ වර්ගයේ සිට මහාරාජා වර්ගය දක්වා අඹ ඵල දරයි. ඇතැම් වර්ගයක අඹ ගෙඩියක බර කිලෝ ග්‍රෑම් 3කි. දැන් ඔහු අඹ ‍ගසෙන් විශාල ආදායමක් උපයයි.

“ඉඩම් බෙදී යද්දී අඹ ගස් විශාල ප්‍රමාණයක් කැපී යනවා. ඇතැම් අඹ වර්ග ස්වභාවික හේතු නිසාත් වඳ වෙනවා. ඇතැම් වර්ග යළි වගා කිරීමක් නෑ. මෙවන් වර්ග රැක ගැනීමට ඇති එකම ක්‍රමය පටක රෝපණයයි. මෙයින් ගොවීන්ගේ ආදායමත් සරුවෙනවා. දැන් මගේ අඹ ගස බැංකුවක් වගෙයි. ගොවීන් පැමිණ ඉන් අතු ගෙනගොස් බද්ධ කර වගා කරනවා. ඉන් දුර්ලභ අඹ වර්ග තුරන්වීමේ තර්ජනයෙන් මිදෙනවා.” රවි පවසන්නේය. ජූලි, අගෝස්තු හා ‍සැප්තැම්බර් මාසවලදී රවිට වැඩ අධිකය. රටේ ගොවීහූ සිය දහස් ගණනක් ඒ කාලයේදී ර‍විගේ ගොවිපොළ කරා ඇදෙති. අඹ ගස්වල පටක රෝපණයට සුදුසුම කාලය මේ කාලයයි. ඔහු ගොවීන්ට සිය දැනුම බෙදා දෙන්නේ කිසිම අය කිරීමකින් තොරවය.

වසර පන­හක් පැරැණි අඹ ගස 

 

 

සේමාලි කැල්ලපත

Comments