සියයට විසිපහේ විජ්ජාවට හසු වූ සිබුරුයි වැසියෝ | සිළුමිණ

සියයට විසිපහේ විජ්ජාවට හසු වූ සිබුරුයි වැසියෝ

බොහෝ විට ඔවුහු සුදු පැහැ සමක්, සුදු කෙස් සහ පාණ්ඩු නිලට හැරුණු දෑසක් හිමි වන පිරිසකි. ඇළි මිනිසුන් ලෙස හැඳින්වෙන මේ ජනතාව ලොව කොයි රටකත් දැකිය හැකිය. ‍මේ කතාව එවන් මිනිසුන්ගේ ගම්මානයක් පිළිබඳය.

ඉන්දුනීසියාවේ බටහිර ජාවාහි සිබුරුයි ගම්මානය හරි පුදුම ගම්මානයකි. පුදුමය රැඳී පවතින්නේ ගම්මානයේ අනෙක් කිසිදු අචේතනික වස්තුවක් මත නොව, එහි ජීවත් වන මිනිසුන් අතරෙහිය. වැල්වටාරම් නැතිව කිව හොත් ගම්මානයේ ජීවත් වන බහුතරයක් වූ ඇළි මිනිසුන් තුළය. ලොව අනෙක් ඕනෑම තැනෙක ඇළි මිනිසුන් වෙසෙන බැව් සැබවි. එහෙත් සිබුරුයිහි ගම්වැසියන්ගේ පරම්පරා ගණනාවකට එහා උදවියත් ඇළි තත්ත්වයේ පසු වූවෝය. ඒ මදිවාට අද වන විට එහි ජීවත් වන බහුතරයක් ජනයාද ඇළි බවින් පෙළෙති. එය නම් අරුමයකි. ඒ අරුමය තේරුම් කරන්නට සමතෙක්ද නැත.

නානා සුර්යානා පමණක් නොව, ඔහුගේ මුත්තලා කිහිපදෙනෙකුත් “සුදු මිනිස්සු” හෙවත් “ඇළි මිනිස්සුය”.

“... පරම්පරා 149ක් තිස්සේ අපි ජීවත් වෙන්නේ මෙහි. ඇළි බව ඇති කරන ජාන දරා සිටින අය හැටියට මගේ පවුලේ අය හරි ප්‍රසිද්ධයි. ...” ඔහු පවසයි.

නානා විවාහ වුණේ ඇළි බවක් පෙන්නුම් නොකරන සිටි රොහ්මා සමඟය. එහෙත් අවසානාවක මහත! සිටි, ඇළි බව රැගෙන යන වාහකයෙකි. සුදු පැහැ සමක්, සුදටම ගිය කෙස් සහ පාණ්ඩු නිලට හැරුණු දෑසක් ඔවුන් දෙපළ කුලුඳුලේම ලද දියණියට දායාද වී තිබිණි. දියණිය ඇළි තත්ත්වයට පත් වුණේ තාත්තාගේ පැත්තෙන් එන ඇළිකම නිසායැයි ඔවුහු පවසති. නානා - සිටි යුවළගේ දෙවන දරුවාත් ඇලි දරුවෙකි. ඔවුන්ගේ තෙවන දරුවා සාමාන්‍ය පෙනුමකින් යුත් දරුවකු හැටියට උපත ලැබුවත් ඒ දරුවා උපන් ගෙයිම මිය ඇදිණි.

දරුවකුට ඇළි කම ළඟා වන්නේ මවු-පිය දෙපාර්ශ්වයේම ප්‍රවේණික උරුමයෙනි. ඇළි කම නිවේදනය කරන ජාන දැරුවත් මවු-පිය යුවළ ඇළි තත්ත්වයෙන් පසු නොවනවා වන්නට පුළුවනි. එවැනි මවුපිය යුවළකගෙන් ලබන දරුවකුට ඇළි කම උරුම වන්නට තිබෙන සම්භාවිතාව 25%ක් තරම් බව පැවැසේ. සිබුරුයි ගම්මානයේ උදවිය යට වී සිටින්නේ ඒ සියයට විසි පහේ විජ්ජාවටදැයි කියාත් කෙනකුට තර්ක කරන්නට පුළුවනි.

නානාගේ සහෝදරයා ඇළි නොවන කෙනෙකි. සහෝදරයාගේ බිරියත් ඇළි තැනැත්තියක නොවේ. එහෙත් ඔවුන් දෙපළගේ දරුවෝ දෙදෙනා ඇළි තත්ත්වයෙන් පසු වෙති. එහි අරුත අනෙකක් නොව නානාගේ සහෝදරයා විවාහ වී සිටින්නේත් ඇළි බව නිවේදනය කරන ජාන දරන්නියක සමඟය යන්නයි. නානාගේ බිරිය මෙන්ම නානාගේ සහෝදරයාගේ බිරියද වෙනස් පවුල්වල සාමාජිකයෝය. එහෙත්, කරුමයකට මෙන් ඒ ගැහැනු දෙදෙනාම ඇළි බව ඇති කරන ජාන පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යන්නන්ය.

ඇළි පිරිස් වැඩියෙන් සිටින තැනක් ඉන්දුනීසියාවේ වේ නම් ඒ, අනෙක් තැනක් නොව සිබුරුයි ගම්මානයයි. එහි ඇළි බව වැඩි කවර හේතුවක් නිසාද යන්න කිසිවකුට තේරුම්-බේරුම් කරගත නොහැකිය. නානා සුර්යානා නම් කියන්නේ ඈත අතීතයේ දවසක ගම්මානයට පැමිණි සුදු ජාතිකයකු ගැබිනි මවකගේ කුස මත අත තැබූ නිසා ඇයට සුදු සමක් සහ සුදු රෝම සහිත දරුවකු ලැබුණු බවකි. ඇළි බැවින් යුත් දරුවන් ඒ ප්‍රජාව තුළ බිහි වීම එතැන් පටන් ආරම්භ වූ බව ඔහු කියයි.

කොහොම වුණත් ඇළි බව මනුෂ්‍ය ජීවිතයට විපත්තිදායක ය. ඇළි බව ඇති අයගේ සමේ මෙලනින් වර්ණකය ඉතාමත් විරලය. මේ නිසා ඔවුහු සූර්යාලෝකයට බෙහෙවින්ම සංවේදි වෙති. එය ඔවුන්ගේ සම මත පිළිකා කරවන්නට හේතුවකි. ඔවුන්ගේ ඇස් පෙනීමද දුර්වලය. සමාජයෙන් එල්ල වන හිංසා දරා සිටීම, ඇළි බව දරන කෙනකු මුහුණ දෙන අමාරුම දෙයයි. තලෙළු සහ කළු සමක් සහිත ජන කොටස් සිටින ප්‍රදේශවලදී ඇළි බව දරන අය කැපී පෙනෙති. එනිසාම ඔවුහු නොයෙක් ආකාරයේ උසුළු-විසුළුවලට සහ මදිපුංචිකම්වලට පාත්‍ර වන්නාහ. ඇළි බව නිසා සිබුරුයිහි රොසානාහ්ට සිදු වුණේත් එවැනි සමාජ අසාධාරණයකට ලක් වන්නට ය. ඒ නිසා ඈ ඉක්මනින්ම පාසල් අධ්‍යාපනයට සමුදුන්නාය. අධ්‍යාපනය කඩාකප්පල් වූ නිසා රැකියාවක් සොයාගැනීම ඇයට අසීරු වී ඇත. ඊටත් වැඩි දුක්ඛදායක කරුණ ඇයව විවාහ කරගන්නට කැමැති තරුණයකු නැති වීමය.

දහහතර හැවිරිදි දේවි රස්මානා තවමත් පාසල් වයසේ පසුවන ඇළි දැරියකි. හිරු එළිය දරන්නට ඇති අපහසුව නිසා ඈ එළිමහනට එන්නේ හිස සිට දෙපතුල දක්වාම ආවරණය කරගෙනය. දේවිගේ දෑස්වල පෙනීම එන්න එන්නම නරක අතට හැරෙමින් තිබේ. හතළිස් හැවිරිදි නානා සුර්යානා ඉදිකිරීම් බිමක කම්කරුවෙකි. ගිනි ඇවිළෙන මද්දහනේ වුව අත්-පා ආවරණය වන ඇඳුමක් ඇඳ වැඩ කරන්නට ඔහුට සිදුව තිබේ. එපමණක් නොව නිරන්තරයෙන්ම හිස ආවරණය කිරීමත් අවු කණ්ණාඩියක් පැලඳීමත් ඔහුට අනිවාර්යය වී ඇත. හැට හැවිරිදි එන්ටාර් මාරියාති ඇළි බවන් පීඩා විඳින ගැහැනියෙකි. ඇයගේ දුවටත් පුතාටත් ඇළි බව උරුම වී නැත. එසේ වුවත් අනාගත පරම්පරාවලින් ඇළි බව මතු වේදැයි කියන නිරන්තර සැකය මාරියාති තුළ පැළපදියම් වී තිබේ. නූර් හයාතිගේ තුන් හැවිරිදි දුව ඇළි දැරියකි. තම දියණියට එවන් ඛේදයකට මුහුණ දෙන්නට සිදු වුණේ කෙසේදැයි කියා නූර්ට අවබෝධයක් නැත. තමන් සාමාන්‍ය වර්ණක දරණ නිසා නූර් සිතන්නේ සිය දියණියට ඒ මුළුමහත් විපත්තියම දායාද කර තිබෙන්නේ ඇළි බවින් පෙළෙන තම සැමියායැයි කියාය. ඇළි බව ඇති කරන්නට සමත් ජාන තමන්ද දරන බව ඈ අවබෝධ කර නොගන්නීය. සිබුරුයි ගම්වැසියන්ගේ මේ දුකට පිහිටක් ලොවේ කොයි ඉසවුවකවත් නැත.

ඇළි බවින් පීඩා විඳින ඔස්ට්‍රේලියා ජාතික ආචාර්ය ශාරී පාර්කර් නම් කියන්නේ ඇළි බව ඇති කරන ජාන පරම්පරා ගණනක් තුළ වුව සැඟව තිබී මතුවන බවකි. ඇළි බව නිවේදනය කරන ජාන වාහක තත්ත්වයේ තිබුණත් කෙනකුට ඒ බව අවබෝධ වන්නේ ඇළි දරුවකු ලද විට බව ආචාර්ය ශාරී පෙන්වා දෙන්නීය.

ඔස්ට්‍රේලියාවේ දැනට වෙසෙන ඇළි පුද්ගලයන් සංඛ්‍යාව 17,000කට ආසන්න බැව් සඳහන් වේ. එහි වෙසෙන සෑම පුද්ගලයන් 1400කින් එක් අයෙක්ම ඇළි බවින් පීඩා විඳිති. එසේ වුවත් එහි ඇළි බව ඇති කරන්නට හේතු වන ජාන දරන පිරිස එයට වඩා 240 ගුණයකින් වැඩි බව කියවේ. පුද්ගලයන් 70දෙනකුගෙන් එක් අයෙක් ඇළි බව නිවේදනය කරන ජාන දරයි. ඇළි බව ඇතැම් අප්‍රිකා රටවල මෙයට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පවතින බව අනාවරණය වී ඇත. අප්‍රිකා රටවල පවත්නා සමාජ පිළිගැනීම් අනුව ඇළි දරුවන් මරා දැමෙන අවස්ථාත් එමටය.

 

Comments