වසර තුනක් මේ පිට­පත කපා­කොටා සකස් කළා | සිළුමිණ

වසර තුනක් මේ පිට­පත කපා­කොටා සකස් කළා

සුනිල් ආරියරත්න යනු මේ රටේ සුවහසක් සිසු දරු දැරියන්ගේ නැණැස පෑදූ විශ්වවිද්‍යාල මහාචාර්ය වරයෙකි. එසේම ඔහු ගීත රචකයකු , කවියකු , මෙන්ම පර්යේෂණාතමක පොත පත රචනා කරන ලේඛකයකු ලෙස අපේ රටේ සුවහසක් රසික පිරිසකගේ ආදරය දිනා සිටියි. එසේම අනූපමා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිස මේ වන විට පොඩිමල්ලි, සරුංගලේ, ක්‍රිස්තු චරිතය, සිරිබෝ අයියා, සුදු සෙවනැලි, කුස පබා, පත්තිනි, අලි කතාව වැනි නිර්මාණ සිංහල සිනමාවට දායාද කර තිබේ. එතුමන්ගේ අලුත්ම සිනමා නිර්මාණය ‘බිම්බාදේවී හෙවත් යශෝධරා‘ පසුගිය 26 වැනිදා සිට දිවයින පුරා ප්‍රදර්ශනය ඇරැඹීය. මේ සංවාදය ඒ නිමිත්තෙනි.

ඔබේ සිනමා නිර්මාණ සියල්ලම ගත්තම යශෝධරා චිත්‍රපටය ඔබට සුවිශේෂයි.

මගේ චිත්‍රපට සියල්ලම ගත්තහම ඒ එක් එක් බොහෝ චිත්‍රපට එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස්. අන්තර්ගතය වෙනස්. නළු නිළියන් වෙනස් කාර්මික ශිල්පීන් වෙනස්. ඒ මොකද මම හුඟාක් වෙලාවට උත්සාහ කළේ එකිනෙකට වෙනස් තේමාවන් යටතේ චිත්‍රපට නිර්මාණය කරන්න.

මෑත කාලයේ මම කළ නිර්මාණ ගත්තම ඒවායේ ඓතිහාසික පසුබිම් තිබුණාට කුසපබා, පත්තිනි සහ යශෝධරා ඒ කතාන්තර සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ කියන්නේ කුසපබා කියන්නේ ජාතක කතාවක්.

පත්තිනි කියලා කියන්නේ දෙමළ සම්භාව්‍ය සාහිත්‍ය පදනම් කරගත් හින්දු දේව කතාවක් පදනම් කරගත් කෘතියක්. යශෝධරා කියන්නේ ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ බුද්ධ කාලයේ බෞද්ධ සාහිත්‍ය ගත පූජනීය චරිතයක් විෂය කරගත් චිත්‍රපටයක්. ඒ නිසා මේ චිත්‍රපටය මෙතෙක් මම නිර්මාණය කළ චිත්‍රපටවලට වඩා වෙනස් අන්තර්ගතයක් සහ චරිත සහිත චිත්‍රපටයක්.

බුද්ධ චරිතය සමඟ සෘජුව සම්බන්ධවන යශෝධරාවන් වැනි චරිතයක් ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය කිරීම අතිශයින් අභියෝගාත්මක කාර්යයක්.

මෙය ඇත්තටම අභියෝගයක්ම තමයි. බුද්ධ චරිතය ගැන ලෝකයේ චිත්‍රපට දහසක් පමණ නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා බුද්ධ චරිතය ගැන චිත්‍රපටයක් කරනවානම් පූර්වාදර්ශයට ගතහැකි චිත්‍රපට රාශියක් තිබෙනවා.

නමුත් යශෝධරා ගැන එකම එක චිත්‍රපටයක් වත් නිර්මාණය වෙලා නැහැ. 13 වැනි ශත වර්ෂයේ දඹදෙණි යුගයේ රචිත පූජාවලිය හැරෙන්න යශෝධරාව පිළිබඳ තොරතුරු වෙනත් කිසිම පැරැණි සාහිත්‍ය කෘතියක නැහැ.

එතකොට ජන සාහිත්‍ය ගත්තොත් ‘යශෝධරා වත‘හි හැරෙන්න වෙනත් කිසිදු කවි එකතුවක යශෝධරාව පිළිබඳව කිසිවක් සඳහන් වෙන්නේ නැහැ. ඒක නිසා මේ චරිතය පිළිබඳව චිත්‍රපටයක් කිරීම අභියෝගයක් වුණා මම මේකට කේන්ද්‍ර කරගත්තේ පූජාවලියේ 16 සහ 31 යන පරිච්ඡේද.

ඒ පරිච්ඡේදවල එන තොරතුරු වලින් විතරක් අපට යශෝධරා චරිතය නිර්මාණය කරන්න බැහැ. ඒක නිසා තවත් කෘති 50ක් පමණ පරිශීලනය කරලා තමයි මේ තිර නාටකය රචනා කරගන්න පුළුවන් වුණේ.

මෙම තිරනාටකය රචනා කිරීමෙන් පසු ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලාගෙන් අනුමැතිය ලබා ගත්තාද?

මම අවුරුදු තුනක් තිස්සේ මේ පිටපත කපාකොටා සකස් කළා. ඒ අතරේ මම මහාචාර්ය බෙල්ලන්විල විමලරතන, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස යන නාහිමිවරු, නාවලපිටියේ සුදම්මිකා භික්ෂුණිය, ඒ වගේම මහාචාර්ය අසංග තිලකරත්න, මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර, මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ වැනි බෞද්ධ දර්ශනය සහ බුද්ධ ධර්මය පිළිබඳ ප්‍රාමාණිකයන් රාශියකට මේ පිටපත පෙන්වමින් එය කපා කොටා සකස් කරමින් අවසාන පිටපත සකස් කළා. ඒ පිටපත තමයි රූපගත කිරීම සඳහා යොදාගත්තේ.

සිද්ධාර්ථ කුමාරයා සහ යශෝධරා කුමාරියගේ චරිත සඳහා ඔබ යොදාගන්නේ ඉන්දිය දෙදෙනෙක්

ඇත්තටම ඒ. චෞද්රී සහ පල්ලවී සුභාෂ් යන ඉන්දීය නළු නිළි යුවළ තමයි මේ චරිත රඟපාන්නේ. ඔවුන් මේ චරිත රඟපෑමේ සාර්ථකත්වය අපට දැනෙන්නේ ඔවුන් ප්‍රතිභාපූර්ණ ඉන්දීය නළු නිළි දෙපළක් නිසා. ඒ සම්බන්ධයෙන් මට ලොකු චෝදනාවක් පැන නැගුණා මේ චිත්‍රපටය ආරම්භ කරන කොට. මම හිතනවා මේ චිත්‍රපටය දර්ශන වාර කිහිපයක් මහා සංඝරත්නය සියයක් පමණ පිරිසක් දැන් මේ වනකොට මේ චිත්‍රපටය නරඹලා තිබෙනවා.

ඒ කාගෙත් ඒකමතික අදහස තමයි ඒ දෙදෙනා මේ සිද්ධාර්ථ සහ යශෝධරා යන සැබෑ චරිත වලට කිසිදු හානියක් නොවන්න ඒ චරිත නිරූපණය කරලා තිබෙන බව. ඉතින් මම හිතන්නෙ දැන් මාව අපේ නළු නිළියන් නිදොස් කොට නිදහස් කරයි ඇයි මම මේ දෙන්නව තෝරාගත්තේ කියන කාරණය පැහැදිලි කරගත්තට පස්සෙ. ඒ සමගම මට ඕනකම තිබුණා පූජනීය චරිත නිරූපණය කරන උදවිය එයින් පස්සෙ මේ චරිත වලට පටහැනි චරිත නිරූපණය කළොත් එය විශාල ප්‍රශ්නයක් බවට පත්වෙනවා.

මම මේ තත්වයට මුහුණ දුන්නා. ඒ කියන්නේ මම පත්තිනි චිත්‍රපටය නිර්මාණය කරන කොට කන්නගී ගේ චරිතයට පූජා උමාශංකර් සහ පත්තිනි දේවියගේ චරිතයට වෙනත් නිළියක් යොදාගත්තා. ඒ නිළිය පසු කාලයේදී විවිධ ප්‍රශ්න වලට ගොදුරු වුණා. එතැනදී මම දැඩි විදියට චෝදනාවට ලක්වුණා මේ වගේ නිළියන්වද මේ පත්තිනි වැනි චරිතයකට යොදා ගත්තේ කියලා. ඒ නිසා තමයි මම ඉන්දියාවෙන් මේ නළු නිළි යුවළ යොදා ගත්තේ. මේ දෙදෙනා සිනමා නළු නිළියන් නොවේ.

මේ අය රූපවාහිනී මාලා නාටකවල රඟපාන අය. ඒ එක්කම මේ දෙදෙනා චරිත නිරූපණයේදි හොඳ තෝරාගැනීමක් කරන අය. පල්ලවි සුභාෂ් ගත්තොත් ඇය නිරූපණය කරලා තිබෙන්නේ මහා භාරතයේ සහ රාමායනයේ චරිත. ඒ වගේම අධිරජ ධර්මාශෝක ටෙලි කතා මාලාවේ දේවී ධර්මා වැනි චරිත.

ඔවුන් දෙදෙනා සිංහල භාෂාව පිළිබඳව එක වචනයක් වත් දන්නේ නැහැ. නමුත් හොඳින් මෙහි දෙබස් කියනවා. කොහොමද මේ අභියෝගය ජයගත්තේ.

එක පැත්තකින් මේ චිත්‍රපටය අභියෝග දෙකකට මුහුණ දුන්නා. ම්ලින්ම තිරනාටකය සකස් කර ගැනිමේ අභියෝගයට මුහුණ දුන්නා. ඊ ළඟට මුහුණ දුන් අභියෝගය තමයි මේ දෙදෙනා ලවා කොහොමද මේ චරිත දෙක සාර්ථකව නිරූපණය කරවා ගන්නේ කියලා.

මේ අය හින්දු ආගම අදහන දෙදෙනෙක්. එතකොට මෙහි සමහර තැන්වල A4 පිටු එකහමාරක පමණ දිගු දෙබස් තිබෙනවා. එතැනදී අපි කළේ මුල් තිරනාටකය ඉංග්‍රීසියට පරිවර්තනය කරලා මුලින්ම ඔවුනට කියවලා අධ්‍යයනය කරන්න යැව්වා. ඊළඟට ඔවුන්ට අපි නම් කළා ඉංග්‍රීසියෙන් කියවා ගත යුතු කෘති මොනවද කියලා.

ලංකාවට ආවට පස්සේ අපට සිද්ධවුණා මේ චිත්‍රපටයේ සෑම ජවනිකාවකම දෙබස් හින්දි අකුරෙන් ලොකු බෝඩ් වල ලියලා ඒවා අල්ලලා ඔවුනට දෙබස් කියවන්න දෙන්න. ඒ කියන්නේ අපි සිංහල ලිව්වා හින්දියෙන්. ඒ සඳහා මට බොහෝ උපකාර වුණේ කැලණිය විශ්ව විද්‍යලයේ හින්දි භාෂා පිළිබඳ මහාචාර්ය උපුල් රන්ජිත් විදානගමගේ මහතා සහ ඔහුගේ ගෝල බාලයන්.

ඉතින් පල්ලවි සහ චෞද්රී දෙදෙනා ඉතා හොඳට මේ දෙබස් උච්චාරණය කළා. එහෙම නොවුණා නම් අපට හඬ කැවීම් කරගන්න බැරිවෙනවා. මේ දෙදෙනාට සිංහලෙන් හඬ කැව්වේ ෆර්නි රෝෂිණී සහ බිමල් ජයකොඩි දෙදෙනා. ඒ දෙදෙනාත් බොහෝ කැප කිරීමක් කළා මේ චිත්‍රපටයේ සාර්ථකත්වය සඳහා.

කාව්‍යක්කාරයා චරිතය මේ චිත්‍රපටය පුරාවටම දක්නට ලැබෙනවා එවැනි චරිත අතීතයේ සිටියාද?

ක්‍රි.පූර්ව 6 වැනි සියවස ගැන කරපු පර්යේෂණවල තිබෙනවා ඒ කාලයේ ගමින් ගමට රටින් රටට ඇවිදපු කාව්‍යක්කාරයන් සහ කතාන්දර කාරයන් හිටිය බව. ඇත්තටම ඒ කතාන්තර කීමේ සම්ප්‍රදාය තමයි බුදුරජාණන් වහන්සේටත් බලපෑවේ ඔය ජාතක කතා දේශනා කරන්න. විවිධ අදහස් ගෙනහැර දක්වද්දී උදාහරණයක් විදියට කතාන්දරයක් ඉදිරිපත් කරනවා.

ඒකට හේතුව මේ කතාන්දර කලාව, මේ කතාන්දර කියමින් ,කවි කියමින් ගමින් ගමට යන අය අපේ කවිකොළ කාරයන් වගේ ක්‍රි.පූර්ව 6 වැනි සියවසේ හිටපු චරිත. ඒ අනුව තමයි මම කාව්‍යකාරයා මේ චිත්‍රපටයට ගේන්නේ. ඒ විතරක් නොවේ ඔහු ඉටු කරන්නේ අපේ නාඩගම් වල පොතේ ගුරාගේ කාර්ය භාරය. මොකද එහෙම නැත්නම් අපට මේ කතාව සාර්ථකව ගෙනයන්න බැහැ. කතාවේ සමහර හිස්තැන් පුරවන්නේ මේ කාව්‍යකාරයා.

නරසීහ ගාථා වලින් බුදුහිමි පිළිබඳව පවසන තැන යශෝධරාව සිතුවමක් අඳිනවා මේ පිළිබඳව විස්තර කරන්න.

ඇත්තටම අපි බුද්ධ චරිතය ඒ තියෙන විදිහටම කරන්න නම් නිර්මාණ කරුවෝ අවශ්‍ය වෙන්නෙ නැහැ. ඒක වාර්තා චිත්‍රපටයක් හදන කෙනකුට වාර්තාවක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙත් මෙවැනි කතාවක් සිනමාවට නැගීමේදී නිර්මාණ අවස්ථා පාද ගත්තා බුද්ධ චරිතයට හානියක් නොකර.

එහෙම එක අවස්ථාවක් තමයි නරසීහ ගාථා. අපට පෙන්වන්න ඕනකම තිබුණා බුදුරජාණන් වහන්සේ කපිල වස්තු පුරවරයට වඩින එක. නමුත් ලංකාවේ ථේරවාදී සම්ප්‍රදායට අනුව බුදුරජාණන් වහන්සේගේ චරිතයට කිසිම රංගන ශිල්පියකු යොදාගන්න බැහැ. ඒක නිසා අපි කළේ නරසීහ ගාථා ආශ්‍රයෙන් කපිල වස්තු පුරයට එන්නේ තවදුරටත් සිද්ධාර්ථ කුමාරයා නොවෙයි බුදු හිමියන් කියන එක චිත්‍රගත කරලා පෙන්වන එක. ඒක අපේ නිර්මාණයක්.

ඊළඟට බුද්ධ චරිතයේ තියෙන්නේ සිද්ධාර්ථ කුමාරයා මහල්ලෙක්, ලෙඩෙක්, මළකඳක් සහ පැවිද්දෙක් දැක්කා කියලා. ඒක මේ බොහෝ චිත්‍රපටවල තිබෙන්නේ පෝලිමක්. සිදුහත් කුමාරයා අශ්වයාපිට යනකොට ඡන්නත් එක්කලා මෙන්න පාර අයිනේ ඉන්නවා මහල්ලෙක්. ටිකක් දුර යනකොට පාර අයිනේ ඉන්නවා ලෙඩෙක්. තව ටිකක් දුර යනකොට පාර අයිනේ දාලා තියෙනවා මළ කඳක්. මේවා මේ පොත්වල තියෙන ඒවා. නිර්මාණකරුවෝ ඉන්නේ මේ පෝළිමක් පෙන්වන්න නෙමෙයි.

කොහොමද එක මහලු මිනිහෙක් දැකලා සිද්ධාර්ථ කුමාරයා කළකිරෙන්නෙ. ඒ වගේම පාර අයිනේ වැටිලා ඉන්න ලෙඩෙක් දැක්කාම කොහොමද එතුමා කළ කිරෙන්නෙ. බුද්ධ චරිතයේ කියැවෙනවා සුද්ධෝදන රජ්ජුරුවෝ මේ අය නගරයෙන් පිටමං කළා.

මම එක විදෙස් චිත්‍රපටයක දැක්කා සිද්ධාර්ථ කුමාරයා ඡන්නත් එක්ක නගර සංචාරයට යනකොට ඊට ඉස්සෙල්ල රාජපුරුෂයො ගිහින් මහලු අය ලෙඩවුණු අය අයින් කරනවා. අයින් කරලා ගෙවල් ඇතුළට දාලා ඉබ්බො දානවා.

ඉතින් අපි ඊට වඩා වෙනස් පිළිවෙතක් අනුගමනය කළා. අපි මේ අය වෙනම තැනක ගාල් කර තිබෙන බව පෙන්නුවා. සිද්ධාර්ථ කුමාරයා නොදැනුවත්ව මේ මහලු මඩමට ගියා. රෝගී මඬුවට ගියා. එතකොට ඒවා දැක්කාම තමයි සිද්ධාර්ථ කුමාරයා තුළ මේ කම්පනය හටගන්නේ.

රාහුල කුමාරයා මහන කිරීමට සූදානම් වන තැන අපේ හදවත් කම්පනය කරවනවා. සංවේදී කරවනවා.

ඇත්තටම ඒවා බුද්ධ චරිතයේ තිබෙන අවස්ථා නෙමෙයි. නමුත් අපි ඒ බුද්ධ චරිතයට හානියක් නොවී, යශෝධරාගේ චරිතයට හානියක් නොවී ඒ අවස්ථාවන් නිර්මාණය කළා. යශෝධරාගේ හෝ ශුද්ධෝදනගේ අවසරයකින් තොරව රාහුල කුමාරයා මහන කළා කියන එක බුද්ධ චරිතයේ තිබෙනවා. අපිට කරන්න තියෙන්නේ ඉන් ඔබ්බට ගිහිල්ල තව පොඩි කොටසයි. යශෝධරා හොයාගෙන යනවා කුමාරයා ඇයි ආව නැත්තේ කියලා. එතකොට ඇය දකිනවා හිස මුඩු කළ රාහුලව. ඒක අපි නිර්මාණය කළ ජවනිකාවක්. එයින් යශෝධරා චරිතය උද්දීපනය වනවා මිසක් ඒ චරිතයට කැළැල් කරන්නේ නැහැ. ඒක හුඟක් දෙනාගේ ඇස්වලට කඳුළු නංවපු ජවනිකාවක්.

ස්වාමීන් වහන්සේලාගේ ප්‍රතිචාර කොහොමද?

මේ චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට පෙර ගරුතර මහා සංඝරත්නයට පෙන්නුවා. එතැනදී එක වැඩිහිටි හාමුදුරු නමකගෙන් වොයිස් කට් එකක් ගන්න අපි මයික්‍ර ෆෝන් එක ළං කළාම උන්වහන්සේ ඒ කතාව පටන් ගත්තේ ‘‘මහත්තයෝ මම ඇඬුවා‘‘ කියලා. ඒක තමයි පළමුවැනි වාක්‍යය.

ඒක නිසා මේ තාක් මෙය නරඹපු මහා සංඝරත්නයෙන් අපට විශාල ප්‍රසාදයක් ලැබිලා තිබෙනවා. මට තව නායක ස්වාමින් වහන්සේ නමක් කිව්වා ‘‘අපි පළමුවැනි වතාවට හැබෑ සිද්ධාර්ථ කුමාරයා දැක්කා ‘‘කියලා. මොකද ඇත්තටම සිද්ධාර්ථ කුමාරයයි යශෝධරායි කියන්නේ උපාසක මහත්තයකුයි උපාසක අම්මා කෙනකුයි නෙමෙයි. ඒ දෙදෙනා උපරිම සැප විඳපු රාජ කුමාරයකුයි කුමාරිකාවකුයි. ඒ වගේම විහිළු තහළු කරපු දෙන්නෙක්. විශේෂයෙන් සිද්ධාර්ථ කුමාරයා රජකමට උරුමකම් කියපු කෙනෙක්.

එයා කඩු ශිල්ප දුනුශිල්ප මල්ලව පොර හැදෑරූ ආරෝහ පරිණාහ දේහධාරී පුරුෂයෙක්. එයා කාමභෝගී ඉතාම සුන්දර ජීවිතයක් ගතකළ තැනැත්තෙක්. එතුමන්ගේ හැරවුම් ලක්ෂය තමයි සතර පෙර නිමිති. එතෙක් අපි නිරූපණය කරන්නේ කෙළිලොල්, තාරුණ්‍යයෙන් ඔද වැඩීගිය කුමාරයෙක් සහ කුමාරිකාවක්. අපේ නායක හාමුදුරුවරු ගොඩාක් ප්‍රශංසා කළා ඒ චරිත නිරූපණය ගැන.

මෙය අපේ රටේ පමණක්ද ප්‍රදර්ශනය කෙරෙන්නේ?

සිංගප්පූරුවේ වෙසක් උත්සවය තිබෙන්නේ අපේ වෙසක් වලින් පස්සෙ. ඉතින් සිංගප්පූරුවේ එක ඉන්දියානු සමාගමක් වැඩකටයුතු කරගෙන යනවා සිංගප්පූරුවේ සිනමා ශාලා කිහිපයක සතියක් මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න. එය වාණිජමය ප්‍රදර්ශනයක්. ඒ හැරෙන්න මියෙන්මාරය සහ තායිලන්තය යන බෞද්ධ රටවල මෙය ප්‍රදර්ශනය කරන්න වැඩකටයුතු කරගෙන යනවා.

අපේ රටේ මෙය ප්‍රදර්ශනය කිරීමේදීත් විශේෂත්වයක් තිබෙනවා. මෙය සිංහල සිනමා ඉතිහාසයේ ප්‍රථම වරට සිනමා ශාලා 80ක ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළා.

ඇයි එහෙම වෙන්නේ. මේ චිත්‍රපටය ඒ තරම් සාර්ථකව ප්‍රදර්ශනය වන බවට ඔබට විශ්වාසයක් තිබෙනවාද?

ඒක කියන්න මම දන්නේ නැහැ. එය තීරණය කරන්නෙ මෙය නරඹන රසිකයෝ. නමුත් සිනමා ශාලා හිමියන් විශ්වාස කරනවා මේ චිත්‍රපටය දුවනවා කියලා. ඔවුන් කියනවා ධර්මයුද්ධයෙන් පස්සෙ අද වෙනකම් දුවන චිත්‍රපටයක් ආවේ නැහැ. ලයිට් බිල්, වතුර බිල් ගෙවාගෙන චිත්‍රපට ශාලා අපට නඩත්තු කරන්න බැහැ.

සේවක පඩිනඩි බේරන්න විදියක් නැහැ. එහෙම මැසිවිලි නගමින් තමයි මේ සිනමා ශාලා හිමියන් ඉන්නෙ. ඉතින් ඔවුන් විශ්වාස කරනවා. මේ චිත්‍රපටය දුවයි කියලා. ඒ නිසා සිනමා ශාලා 80 ක් මේ චිත්‍රපටය ඉල්ලා සිටියා. ඉතින් ඒ ගැන මම ආඩම්බර වෙනවා. ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා ඔවුන්ගේ ප්‍රාර්ථනාව ඉටුවේවා කියලා. මොකද මම දන්නෙ නැහැ මෙය දුවයිද නැද්ද කියලා.

අවසාන වශයෙන් ඔබේ සිනමා නිර්මාණ චාරිකාව ආරම්භය ගැනත් සඳහන් කරමු

මම වෘත්තීය සිනමා කරුවෙක් නොවේ. මම ගිය වසර දක්වා විශ්ව විද්‍යාල මහාචාර්ය වරයෙක්. පසුගිය වසරේ තමයි මම සේවයෙන් විශ්‍රාම ගියේ. නමුත් සිනමාව මම ආදරය කරන විෂයයක්. මම මුලින්ම සරාගී නමින් විනාඩි දහයක කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරමින් තමයි සිනමා කලාව ඉගෙනීම ආරම්භ කරන්නෙ.

ඊට පස්සෙ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ මඩොල් දූව චිත්‍රපටයේ සහාය පිටපත් රචකයා හැටියට දර්ශන තලයේ දින හතළිහක් පමණ රැඳී සිටීම නිසා ලබාගත් අත්දැකීම් තමයි මාව සිනමාකරුවකු බවට පත්කළේ.

මට අදහාගත නොහැකි දෙයක් සිද්ධවුණා. 1978 මගේ පළමු චිත්‍රපටය අනූපමා අධ්‍යක්ෂණයට අවස්ථාව ලැබීම. ඒ චිත්‍රපටය මට ලබා දුන්නේ ඇලරික් ලයනල් ප්‍රනාන්දු මහත්මා. මම එතුමාට අදත් කෘතඥතාව පලකරනවා මට එම අවස්ථාව ලබාදීම ගැන. එය ප්‍රදර්ශනය වන්නට පෙර චිත්‍රපට 10 අධ්‍යක්ෂණය කිරීමට අවස්ථාව ලැබෙනවා. එය තවමත් සිනමාවේ වාර්තාවක්.

Comments