ගුරු සේවයේ රස කතා | සිළුමිණ

ගුරු සේවයේ රස කතා

ඖෂධ පොකුණ

දෙවැනි ලෝක යුද්ධයේ දී කටුකුරුන්ද ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක් තිබිණි. යුද්ධ සමාදානයෙන් පසුව යුද කඳවුර හිස් විය. මේ අක්කර විසි පහක් පමණ භූමිය පුරා ගොඩනැගිලි, හමුදා බැරක්ක, වතුර ටැංකි, ඇතුළත පාරවල් හොඳට හදා ඇත. ශක්තිමත් ගොඩනැගිලි ඇත. යුද කඳවුර’ ගුරු ගෙදරක්’ බවට පත් කරන්නට යෝජනා කළේ එවකට අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. එෆ්. ද සිල්වා මහතා විසින් කන්නන්ගර අධ්‍යාපන ඇමතිතුමාගේ මඟ පෙන්වීම අනුව ය. එසේ පාරිශූද්ධ ගුරු පුහුණු ආයතනයක් බවට පත් වූ කටුකුරුන්ද ගුරු විදුහලේ පළමු විදුහල්පති වූයේ යු. ජී. පී. ද. සිල්වා නම් වු දක්ෂතම උගත් ගුරු අධ්‍යාපනඥයෙකි. ගුරු විදුහල පිරිමි ගුරු විදුහලකි.

මෙහි හතර පැත්තක ගොඩනැගිලිවල වැසි ජලය සහ නානකාමරවල ජලය, භූගත නළ මඟින් ගොඩනැඟිලි සංකිර්ණය මැද පොකුණට එනු ඇත. පොකුණේ කෙළවර අතිරික්ත ජලය පිටාර යාමට සකස් කොට ඇති අතර මෙය දක්ෂ ශිල්පියකුගේ නිර්මාණයකි.

ගුරුවරුන් පුහුණුවට ආ පසු මෙහි මත්ස්‍ය තටාකයක් බඳු විය. උදේට පාන් කන්නට යන ගුරුවරුන් ඉතුරු පාන් ගෙනැවිත් මාළුන්ට දෙන්නේ ලොකු විනෝදයක් ලබන්නට ය. ඖෂධ පොකුණ වඩාම වැදගත් වන්නේ නවක ගුරු සිසුන් ඇතුළත් වන කාලයේදී ය. ඒ සමාජානුයෝගී බවින් ඌණතා දක්වන ඇතැම් ගුරු සිසුන්ට ‘රැග්’ කිරීමෙනි. ඇතැම් විට දැඩි ලෙස අනම්‍ය ගුරු ආධුනිකයෝ ඔ‍සොවා ගෙන ගොස් ඖෂධ පොකුණේ දමති. එහෙම ඖෂධ පොකුණෙන් නාගෙන පැමිණි පසු ඔහු ද සමාජශීලී අයකු වන බවට විශ්වාසයක් තිබිණි. විරෝධතා පෙන්වීමේ එක් තැනක් හැටියට ද ඖෂධ පොකු‍ණ නම් දරා ඇත. අපේ නේවාසිකාගාරයේ එක් ගුරුවරයකු විසින් සංගීතය හදාරන අතර ඔහු මහ රෑ භෛරවී රාගය වයලීනයෙන් පුහුණු වෙයි. නැතිනම් බටලී නලාවෙන් වාදනය කරයි. මේක නම් සංගීතයක් නොව ගුත්තිල පඩිතුමා හමුවේ මුසිලගේ වීනා වාදනය මෙන් කනට මිහිරක් ඇත්තේ ම නැත. ඒ කොහොම වෙතත් අපට නින්දක් නැත. කිහිප දිනක් කී නමුත් ඔහුගේ සංගීත වාදනය නොනවතී.

එක් දිනක මහ රෑ අප එකතු වී වයලීනයක් සමඟම ඔසොවා ගෙන ඇවිත් ඖෂධ පොකුණට දැම්මෙමු. ඉන් පසු බෙහෙත් බලෙන් රෑට වාදනය නැවතුනි.

බොහෝ කොට ‍කේන්ති යන වැඩ බලන විදුහල්පති කමක් කළ අයකු ද විය. ඔහු රාත්‍රී ආහාරය ගත් වහාම අවුත් ඇ‍ඳෙහි නිදා ගන්නේ මහ හයියෙන් කොට්ටයට ඔළුව තබමිනි. එදා කොට්ට උරය අස්සේ යගුලිය දමා ඇත. ආපු ගමන් ඇදට ගිය ඔහුගේ හිස යගුලියේ වැදී තවත් යගුලියක් හිසේ මතු විය. වහාම යගුලිය අතට ගත් ඔහු කෙළින්ම ඖෂධ පොකුණට විසි කළේය. පසුදා පාන්දරම ඖෂධ පොකුණට බැස යගුලිය සොයා ගත්තේ ඉතා අමාරුවෙනි.

දැන් මේ අපේ ගුරු බිම විශේෂ කාර්ය බළකා‍යේ පුහුණුවට ලබා දී ඇත. මොන තරම් පුජනීය ලෙස ගුරුන් ප‍ුහුණු කළ මේ පින් බිම යළිත් යුද හමුදාවකට පැවරී ඇති අතර අප ඒ අසලින් යන විට ඖෂධ පොකුණ සිහිපත් වෙයි.

විශ්‍රාමලත් විදුහල්පති
ඩී. සී. ද. සිල්වා

Comments