'විසූ­වි­යස් කඳු පාමුල' මගේ ප්‍රථම ටෙලි නාට්‍යය නෙමෙයි | සිළුමිණ

'විසූ­වි­යස් කඳු පාමුල' මගේ ප්‍රථම ටෙලි නාට්‍යය නෙමෙයි

විසුවියස් කන්ද සුන්දරත්වයෙන් පරිපූර්ණ වු දර්ශනයක්. මෙය කොතරම් වේලාවක් බලන් හිටියත් එපා නොවන දර්ශනයක්. එහෙත් මේ සුන්දරත්වය ඇතුළත පැහි පැහි කැකෑරෙන ගිනි කන්දක් තිබෙන බව සිතෙන්නේ කීයෙන් කී දෙනාටද? මේ වගේ තමයි ඉතාලි ගොස් සිටින නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ ජීවිතත්. මොවුන් අතර අපේ ලාංකිකයන්ද විශාල පිරිසක් සිටිනවා. ඔවුන්ගේ එම කැකෑරෙන ජීවිතවල කතාවයි මේ දිනවල ස්වාධීන රූපවාහිනියෙන් 'විසුවියස් කඳු පාමුල'නමින් දිගහැරෙන්නේ.එහි අමල් කාගෙත් සිත් ගත් චරිතයක්.අමල් ගැන අහන්න අපි පසුගියදා සුරංග බණ්ඩාර සොයාගෙන ගියෙත් ඒ නිසාමයි.

● කොහොමද සුරංග, විසුවියස් කඳු පාමුල ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර

ප්‍රතිචාර ගොඩක්ම හොඳයි. මෙරට ප්‍රේක්ෂකයන්ගෙන් වගේම විදේශ රටවල ඉන්න රසිකයන්ගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

● මෙම ටෙලිනාට්‍යය ලාංකික ප්‍රේක්ෂකයනට අලුත් අත්දැකීමක් නේද?

රටවල් දෙකක් එනම් ඉතාලිය සහ ලංකාව සම්බන්ධකරගෙන කළ නිර්මාණයක් නිසා මෙය අපේ ප්‍රේක්ෂකයනට නව අත්දැකීමක්. අසුන්දර අත්දැකීම් සමුදායක් සුන්දර කතාවක් ප්‍රේක්ෂකයනට පිළිගැන්වීමක් තමයි විසුවියස් කඳු පාමුල කතාවෙන් කියැවෙන්නේ.

● අද අපේ රටේ විකාශය කෙරෙන බහුතරයක් ටෙලිනාට්‍ය විදෙස්රටවල රූ ගතකළ නිර්මාණ වීම ෆැෂන් එකක් වෙලාද?

අනෙක් නිර්මාණ ගැන නම් මම කියන්න දන්නෙ නෑ. නමුත් විසුවියස් කඳු පාමුල කතාව නම් ලංකාවෙන් ඉතාලියේ රැකියාවට යන්නන්ට මුහුණ දීමට සිදුවන සැබෑ අත්දැකීම්. මම නොබියව එහෙම කියන්නෙ මමත් වසර ගණනක් ඉතාලියේ රැකියාව කළ නිසයි. ඒ කාලයේ මේ ටෙලිනාට්‍යයෙන් පෙන්වන සියලු අත්දැකීම්වලට මමත් මුහුණ දුන්නා. මේ මිනිසුන් සමග ජීවත් වෙමින් ඔවුන්ගේ සිතුම් පැතුම් හඳුනන නිසා මේ චරිතය කිරීම මට ඉතා පහසු වුණා.

● සුරංග ඉතාලියේ සේවය කළ නිසාද මෙහි ප්‍රධාන චරිතයට තෝරා ගත්තේ.

ඇත්තටම ඒක නිසා තමයි මෙහි ප්‍රධාන චරිතයට මාව තෝරා ගත්තේ. විශේෂයෙන් මට ඉතාලි භාෂාව පුළුවන් නිසා. මෙහි ප්‍රධාන චරිතය කරන ඉතාලියේ වෙසෙන රන්දිමා ප්‍රනාන්දු ඉතාලියේ .අප දෙදෙනාම කලාවට ආධුනික වුවත් ඉතාලියට ආධුනික චරිත නොවන නිසා මෙහි රංගනය පහසුවුණා.

● ඉතාලියේ රැකියාව කළ පමණින්ම ඔබව ටෙලි නාට්‍යයේ ප්‍රධාන භූමිකාවට තෝරා ගැනීමට අධ්‍යක්ෂවරයාට සිතුණේ ඇයි?

මේ මගේ පළමු ටෙලි නාට්‍ය නෙමෙයි. මම කුඩා කාලයේ සිටම රංගනයට සම්බන්ධයි. මගේ ගම ගණේමුල්ල. මුතුහර ළමා සමාජය සහ ගණේමුල්ල සීලරතන දහම්පාසල මගේ පළමු වේදිකා,පසුව සීලරතන කණිෂ්ඨ විදුහල සහ සීලානන්ද මහ විදුහල සහ ගලහිටියාව මහ විදුහල මා අකුරුකළ පාසල්. පාසලේදි මම කලා කටයුතුවල නිරතවුණා. පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ කලා අංශයෙන් අධ්‍යාපනය හදාරන අවධියේදි ජනකරළිය වගේ නාට්‍ය වැඩමුළුවලට සම්බන්ධ වුවා.

මේ කාලයේදි රාජ්‍ය නාට්‍ය උළෙලේ වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වනවා. තොණ්ඩුව කාටද වේදිකා නාට්‍යයත් එම කාලයේ මා සම්බන්ධ වු නිර්මාණයක්. කැම්පස් එකෙන් අවුට්වෙලා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අනුරාධපුරේ වසර අටක් සේවය කරනවා. එහිදී එප්පාවල ප්‍රදේශය ආශ්‍රිතකරගෙන අඬහැරය කියා කලා සංවිධානයක් බිහි කර ගන්නවා.

පොඩි පොඩි වීදි නාට්‍ය, වේදිකා නාට්‍යවලට සම්බන්ධ වනනේ ඔය කාලයේදි. වසරේ පහේ නිවාඩුව දමා ඉතාලි රැකියාවට යන්නේ ඔය කාලයේමයි. එහිදී ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ සුසිරි ප්‍රනාන්දුව මණ ගැසෙනවා ඔවුන් පිහිටුවාගෙන තිබු ආසියාවේ තෙවෙනි ඇස කියන සංවිධානය හරහා.පසුව අප දෙදෙනාගේ එම සම්බන්ධතාවය තමයි විසුවියස් කඳු පාමුල ටෙලිනාට්‍යය දක්වා එන්නේ.

● ඒ කියන්නේ අධ්‍යක්ෂ සුසිරි ප්‍රනාන්දු ඔබව මෙහි ප්‍රධාන චරිතයට තෝරා ගන්නේ හැඳුනුම්කම නිසාදමද?

නැහැ.මෙයට පෙර ධම්මික තිසේරාගේ හේලංකඩ, සාන්ත සොයිසාගේ මේඝා,මහරජ ගැමුණු යන ටෙලි නාට්‍යවල රංගනයෙන් දායක වී තිබෙනවා.මගේ රංගනය ගැන සුසිරි සෑහීමට පත්වු නිසා වෙන්න ඇති මෙහි ප්‍රධාන චරිතයට මාව ගත්තේ. මම කිහිප වරක්ම ඔහුගෙන් ඇසුවා මෙවැනි දැවැන්ත නිර්මාණයකට මාව ප්‍රධාන නළුවාට තෝරා ගත්තේ ඇයි කියා.

එම අවස්ථාවේ ඔහු කීවේ ඔබ තමයි මේ චරිතයට සුදුසු කියා.අප දෙදෙනාට අමතරව බිමල් ජයකොඩි, ජගත් චමිල, සනත් විමලසිරි, මාධනි මල්වත්ත, අංජුලා රාජපක්ෂ, නිලුක්ෂි ප්‍රනාන්දු, ප්‍රියා රණසිංහ, සුසන්තා චන්ද්‍රමාලි, අනුරුද්දිකා පාදුක්කගේ, රූපා ගෝමස්, සහ වෘත්තීය වශයෙන් රංගනයේ යෙදෙන ඉතාලි නළු නිළියන් පිරිසක් මෙහි රඟපානවා.

● මෙම ටෙලිනාට්‍ය පුරාවටම ඉතාලියේ අලංකාර ස්ථාන රැසක් පෙන්නුම් කරනවා. එය ප්‍රේක්ෂකයන් රඳවා තබා ගැනීමට කරන උපක්‍රමයක්ද?

මේ කතාවේ කැමරාකරණය ඇන්ඩෘ ජයමාන්න. ඔහු ඉතාලියේ වෙසෙන ලාංකික ජීවිතවල උප සංස්කෘතිය මනාවට පෙන්වනවා. සෑම ලාංකිකයෙක්ම ඉතාලි ගිහින් නැති නිසා ඉතාලියේ සුන්දර ස්ථාන ප්‍රේක්ෂකයන් වෙත කතාව පුරාවටම පෙන්වීමට ඔහු වෙහෙසෙනවා. එයට ප්‍රේක්ෂකයන් කැමැති බව ලැබෙන ප්‍රතිචාරවලින් පෙනෙනවා.

● අමල්ගේ චරිතය සාර්ථක කරගැනීමට අනෙකුත් රංගන ශිල්පීන්ගෙන් ලැබුණු සහාය කෙබඳුද?

මෙහි ඉතාලියේ චරිත නිරූපණය කළේ මමත්, සනත් විමලසිරි සහ බිමල් ජයකොඩි, මාධනි මල්වත්ත සහ රන්දිමා ප්‍රනාන්දුයි. ඔවුන් සියලු දෙනාගෙන්ම මගේ චරිතය සාර්ථක කරගැනීමට හොඳ සහායක් ලැබුණා.

මෙහි සංගීතයට ලැදි අමල්ට ඉතාලි පෙම්වතිය දමා තමන්ගේ බිරිඳත් දරුවාත් දැක ගැනීමට ලංකාවට එන්න ලැබෙයිද? ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා අවසානය තෙක්ම අප සමග රැඳී සිටින්න අවසානය ඉතාම සුබ විදිහට විසුවියස් කඳුපාමුල අවසන් වේ යැයි කියා.

● 'විසුවියස් කඳු පාමුල' විකාශය කෙරෙන්නේ කූඹියෝ ටෙලිනාට්‍ය අවසන් වීමෙන් පසුව. කූඹියෝප්‍රේක්ෂක ආදරය දිනාගත් ටෙලිනාට්‍යයක්. විසුවියස් කඳු පාමුල ටෙලි නාට්‍යයටත් කූමියෝ ට ලැබුණු ජනප්‍රියත්වයම ලැබේවි යැයි විශ්වාස කරනවාද?

කූඹියෝ කියන්නේ අපේ රටේ ප්‍රේක්ෂකයන්ට වෙනස්ම රසාස්වාදයක් ලබාදුන් ටෙලි නාට්‍යයක්.විසු වියස් කඳු පාමුල ටෙලි නාට්‍යයත් සැබෑ අත්දැකීම් සමුදායක් නිර්මාණයකට ගොනුකිරීමක්. මේ වන තුරු ලැබුණු ප්‍රතිචාර වලින් තේරෙනවා විසුවියස් කඳු පාමුල ප්‍රේක්ෂකයන් ඉතා ආදරයෙන් වැල‍ඳගෙන කියා. ඉදිරියටත් බලන් ඉන්න ඉතාලි යන ලාංකික ජීවිතවලට මොන මොන අත්දැකීම්වලට මුහුණදෙන්න වේවිද කියා.

Comments