වලා­ව­කින් ඔබ වැසී ගියා බොල් අහසේ සිනා පහන් වැට නිවී ගියා සැඩ සුළඟේ | සිළුමිණ

වලා­ව­කින් ඔබ වැසී ගියා බොල් අහසේ සිනා පහන් වැට නිවී ගියා සැඩ සුළඟේ

ශ්‍රී ලාංකීය රසික රසිකාවියන් නොසිතූ නොපැතූ අවස්ථාවක කලාලොවෙන් සමුගත් ප්‍රවීණ ගායන ශීල්පිනී විශාරද මාලනී බුලත්සිංහල මහත්මියගේ 17 වැනි ගුණ සැමරුම නිමිත්තෙනි.

සඳ මඬලේ සිට තරු මඬලේ සිට ගීත ගායනා කරමින්, සඳ කැන් දහරින් අපගේ දෙනුවන් පුරවා ලූ ඇය, මේ වන විට කලාලොවෙන් නික්මගොස් වසර ගණනාවක් ගතව ඇත. එහෙත් ඇය ගායනා කළ ගී හඬ පමණක් අපගේ දෙසවන් අතර තවමත් රැව්පිළිරැව් දෙමින් පවතී. මේවන විට ඇය ජීවමානව අප අතර නොමැති නමුත්, ඇයගේ සුමියුරු හඬ තුළින් අපට ඇයව නිරතුරුවම මතකයට නැගෙනු ඇත. එමෙන්ම ඇයගේ සුමියුරු ගී හඬ නන්දෙසින් ඇසෙන කල්හී, ඇය ජීවමානව අප අතර සිටින බවක් ද දැනෙනු ඇත. ඒ නිසා අද පමණක් නොව, හෙට දිනයේදීත්, ඇය අපගේ මතකයෙන් ඈත් නොවනු ඇත.

විශාරද මාලනී බුලත්සිංහල මහත්මිය කලාලොවෙන් සමුගෙන 2018 මාර්තු මස 29 වන දිනට වසර 17 ක් ගත වී තිබිණි. සංගීත ප්‍රසංග කිහිපයකට සහභාගී වීම සඳහා 2001 වර්ෂයේදී ඇමරිකාවේ, ලොස්ඇන්ජලීස් නුවරට ගිය අවස්ථාවක අනපේක්ෂිත අනතුරකට මුහුණ දී, ඇය ජීවිතයෙන් සමුගත්තා පමණක් නොව, කලාලොවෙන් ද නික්ම ගියා ය. සැබැවින්ම විශාරද මාලනී බුලත්සිංහල වැනි විවිධ නිපුණතා ඇති සංගීතවේදිනියක්, රසික රසිකාවියන්ගේ මනෝභාවයන් උද්දීපනය කිරීමට සමත් කලාකාරිනියක් කෙටි කාලයක් තුළදී, කලාලොවෙන් ඈත් කරවීමට තරම්; එදා ස්වභාවධර්මයත් කෘර වූයේ, මන්දැයි තරමක් පුදුමය උපදවන්නකි.

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට සහ එහි ප්‍රගතියට දායකත්වයක් සැපයූ ප්‍රවීණ සංගීතවේදීන් අපට සිටියේ ඉතාම සුළු පිරිසකි. ඒ අතුරින් නැසී ගිය විශාරද මාලනී බුලත්සිංහල මහත්මියට ද සුවිශේෂී වූ ස්ථානයක් හිමි වේ. දේශීය අනන්‍යතාවට සරිළන ගීත කලාවක් සමාජගත කිරීම වෙනුවෙන් ඇය තුළ වූයේ මහත් උනන්දුවකි. ඒවාගේම දේශීය සංගීත ක්ෂේත්‍රයට කවර හෝ ආකාරයකින් හානියක් නොකරමින්, නව නිර්මාණවල නියැලුණු ඇය, නිරතුරුවම රසික රසිකාවියන්ගේ රස වින්දනය ප්‍රශස්ත තලයකට රැගෙන යාමට ද යුහුසුළු වූවා ය. විශේෂයෙන් හැත්තෑව දශකයේ දී, සිංහල ගීතය ප්‍රබුද්ධ මට්ටමකට පත්කිරීම වෙනුවෙන් විවිධ බාධක හමුවේ ඇය විසින් සිදු කළ බොහෝ උත්සහයන් සාර්ථක වූ අතර, එදා ඇයගේ එම උත්සහයන් නිරතුරුවම අගය කිරීම්වලට ද භාජනය විය. එමෙන්ම ඇතැම් කාලවකවානු තුළ දී, සිංහල ගීත කලාව වෙනත් මාවත්වල ගමන් කරමින්, විවිධ මුහුණුවරයන්ගෙන් යුක්ත රැලි වලට නැඹුරු වී පැවතිය ද, ඇය එවැනි රැලි වලට කිසිදු ආකාරයකින් හසු නොවූවා ය.

සෑම විටම දේශීය අනන්‍යතාව ද සුරක්ෂිත කර ගනිමින්, ස්වකීය අනන්‍යතාව ප්‍රකට කළ ඇය, සිංහල ගීත ක්ෂේත්‍රයට විවිධ තේමා යටතේ හරවත් මෙන්ම රසවත් ගීත සමුදායක් දායාද කරනු ලැබුවා ය. ඒ අතුරින් බෞද්ධ සංකල්පවලට අනුව ගැයුණු විශේෂ ගීත කිහිපයක් ද වේ. තුන් රුවනේ සරණයි , පිපෙනා මලකට , හිමි සනරාමර ලෝක සිවංකර, යන ගීත ඇසෙන කල් හී බැති සිත් ඇති සැමගේ හදවත් තුළ පහන් හැඟීම් උපදවයි.

විශාරද මාලනී බුලත්සිංහල මහත්මිය ස්වකීය සංගීත දිවිය තුළ දේශීය සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයන් සමග ද යුග ගීත ගායනා කිරීමට සමත් වූවා ය. ඒ අතුරින් හරිමි රජ සැපා ... මම ලක්දිව තී නිසා ... යන ගීතය ගායනා කරනු ලැබුවේ, ආචාර්ය පණ්ඩිත් අමරදේව සූරීන් සමග ය. එසේම විශාරද ගුණදාස කපුගේ මහතා සමග ගායනා කළ දම් පාටින් ලා ... සඳබැස යනවා ... ගීතය අදටත් බොහෝ රසික රසිකාවියන් දැඩි ලෙස ප්‍රිය කරන ගීතයක් බවට පත් වී තිබේ. ඒවාගේම සෙනෙහස පුදා අම්මාවරුන් වගේ , රජ මැදුරක ඉපදී සිටියා නම්, මා එක්කලා අමනාපව වී දබර , තාර පාර දිග පාට පාට කඩ යන ගීත තුළින් ප්‍රකට වූයේ අව්‍යාජ මානව බැඳීම් කිහිපයකි.

එළෙසින්ම සමාජයට කිසියම් පූර්වාදර්ශයක් සපයා දීමේ අරමුණින් ඇය විසින් ගායනා කළ මළ පොතේ අකුරු බෑ කී මිනිහා , දකින විට පන්සලක්, පිළිමයක් බෝධියක් යන ගීත ද කිසියම් වැදගත්කමක් ඉසිලී ය.

බොහෝ ගායක ගායිකාවන් රසික රසිකාවියන්ගේ හදවත් තුළ වැජඹෙන්නේ, ප්‍රේමය සහ විරහ වේදනාව නිමිතිකරගෙන ගීත ගායනා කිරීමෙනි. විශාරද මාලනී බුලත්සිංහල මහත්මිය ද එම වාසනාව උදාකර ගනු ලැබුවා ය. ඒ සැන්දෑ අහස වගේ , සිතක් කෙළෙස ද මේ තරම්, වසන් කරන්නට බෑ, ප්‍රේමයේ විල් තෙරේ , ඔබට මා ... ආදරය කළ බව මෙතරම්, පුන් පෝදා සඳ, සෙනෙහස ඉල්ලා ආදී ගීත විශේෂයෙන් සඳහන් කළ හැකි ය. එමෙන්ම රඹුක්කන සිද්ධාර්ථ හිමියන්, මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා, ප්‍රේම කීර්ති ද අල්විස් මහතා සහ ලූෂන් බුලත්සිංහල මහතා ආදී ප්‍රවීණ ගීත නිබන්ධකයන්ගේ සංකල්පනා වලට අනුව ගීත ගායනා කරමින් රසික රසිකාවියන්ට සමීප වූ ඇය, ටෙලි නාට්‍ය හා සිනමාව තුළදී ගීත ගායනා කිරීම වෙනුවෙන් ඉහළ මට්ටමේ සම්මාන හිමි කර ගැනීමට ද සමත් වූවා ය.

 

අනුෂාද් වෙදගේ

Comments