බන්ධනාගාර රැඳවියන්ට දිරි දෙන ලලිතා | සිළුමිණ

බන්ධනාගාර රැඳවියන්ට දිරි දෙන ලලිතා

එක් සීමාවක් තුළ සිටිමින් එක් ජීවනෝපාය මාර්ගයක් පමණක් සිදු කිරීම පසෙක දමා තමන්ට කළ හැකි දෑ උපරිමයෙන්ම ඉටු කරන කාන්තාවන් වර්තමානයේ සිටිති.එමෙන් ම තමන්ගේ වයස පිළිබඳව නොසිතා තමන් උගත් දෙයින් තම ජීවිතයත් තවත් කාන්තාවන් බොහෝමයකගේ ජීවිතත් සාර්ථක කර ගැනීමට උත්සහ කරන කාන්තාවන් ද ඒ අතර සීටී.ඒ අතරින් කඩුවෙල පදිංචි ලලිතා සමරතුංග තම උගත් දෙයින් ආර්ථික මට්ටම සාර්ථක කර ගෙන තිබෙන්නේ විවිධ ස්වයං රැකියාවලින් ලැබුණු අත්දැකීම් තම ජීවිතයට ඈදා ගනිමිනි.

"මම ඉස්සර ඉඳන්ම කාන්තා සමිතිවලට බැඳිලා හිටියේ. 2001 අවුරුද්දේ දී මම ස්වයං රැකියාවක් විදිහට මුලින්ම පටන් ගත්තේ ඇඳුම් මහන්නයි. ඊට පස්සේ මම විවිධ ස්වයං රැකියාවන් කළා. එක දෙයක් විතරක් කරන්නේ නැතුව හැකි සෑම දෙයක්ම දැන ගෙන ස්වයං රැකියාවන් විඳිහට සිදු කළා.මම ඒ කාලයේ දී කඩුවෙල කාන්නා සමිතියේ සභාපතිවරයා වශයෙන් වැඩ කළා. 2012 වර්ෂයේ දී මට සුවිශේෂී කාන්තාව, ඒ වාගේ ම ජනාධිපති සම්මානත් ලබා ගන්න හැකි වුණා.දැනට මම කාන්තාවන් 12 දෙනෙකුට රැකියා අවස්ථා ලබා දීලා තියෙනවා."

මුල්වරට ඇදුම් මැසීම ස්වයං රැකියාවක් ලෙස කළ ද ඇය ඉන් නොනැවතී විවිධ නිර්මාණශීලී ක්ෂේත්‍රයන් අත්හදා බලා නව නිර්මාණ කිරිමට උනන්දු වුවා ය. ඇතැම් අවස්ථාවලදී විවිධ අතපසුවීම් සිදු වුව ද ඇය කිසි විටකවත් ඒවා අතහැර දමා ගියේ නැත. ඒ සියල්ලක් තුළින් ලලිතාගේ ජීවිතයට විශ්ව විද්‍යාලයකින්වත් ලබා ගත නොහැකි ජීවිත පන්නරය ලබා ගත්තා ය.

"ඇඳුම් මැසීම ,බෑග් වර්ග නිර්මාණය කිරීම, පාවහන් සැඳීම, කේක් වර්ග සැකසීම,පැච් වර්ක්, සාරිවැඩ දැමීම මම ස්වයං රැකියාවන් විදිහට කළත් මගේ මුලිකම ස්වයං රැකියාව තමයි Screen Printing ( රෙදි මුද්‍රණය ) . මම දැන් ශ්‍රී ලංකා කාන්තා කාර්යංශයේ උපදේශකවරියක් ලෙස කටයුතු කරනවා. මම තමයි ලංකාවේ රෙදි මුද්‍රණය පිළිබඳව පළමු වතාවට පොතක් ලිව්වේ. මම රූපවාහිනියේ නුගසෙවණ වැඩසටහනට සහභාගී වෙලා රෙදි මුද්‍රණ නිර්මාණ කියා දෙනවා."

කැපවීම, නොපසුබට උත්සාහය සහ ධෛර්යවන්ත බව පිළිබදව ලලිතා තුළ පැවතියේ දැඩි විශ්වාසයකි.ඒනිසාම ඇය තමන්ට පැමිණෙන අභියෝගවලට අභීතව මුහුණ දුන්නා ය. විවිධ ස්වයං රැකියා කිහිපයක් සිදු කළ ලලිතා තමන්ට උපරිම දක්ෂතා දක්වමින් කළ හැකි ස්වයං රැකියාව ලෙස Screen Printing ( රෙදි මුද්‍රණය ) තෝරා ගත්තේ දැඩි ආශාවකින් යුක්තව ය. ඉන් පසු ඇගේ එක් බලාපොරොත්තුවක් වුයේ මෙම ස්වයං රැකියා ක්ෂේත්‍රයෙන් සමාජයේ ඉහළම ස්ථානයකට ගොස් තම උගත් දැනුම තවත් කාන්තාවන් බොහෝ දෙනෙකුට බෙදා දීම ය. සම්ප්‍රදායිකව සෑම කෙනෙක්ම සිදු කරන ස්වයං රැකියාවන් කරනවා වෙනුවට වෙනස් ස්වයං රැකියාවක් සිදු කිරීමට ලැබීම සුවිශේෂීත්වයක් වනවා සේම එයින් යම් අවදානමක් ගැනීමට ද සිදු වේ. ඒ සියල්ලට ම මුහුණ දුන් ඇය අද වන විට ස්ථාවර වී ඇත්තේ තම දක්ෂතාවන් සහ ඇපකැප වීම මඟිනි.

"මගේ හැකියාවන් ඉදිරියට ගෙන යාම සඳහා උදව් කළ කොළඔ දිස්ත්‍රික් වනිතා සංවර්ධන නිලධාරී අනුරාධා මායාදුන්නේ මහත්මියව මම ගෞරවයෙන් මතක් කර සිටිනවා. මම බන්ධනාගාර ගත රැඳවියන් සදහා පාඨමාලා පවත්වනවා.දිවයින පුරා පවතින කාන්තා සංවිධාන සාමාජිකයින් සඳහා පුහුණු පාඨමාලාවන් ද පවත්වනවා.''

තම උපන් රටට ණය නොවී වර්තමාන සමාජයේ සිටින කාන්තාවන්ගේ ආර්ථික මට්ටම සාර්ථක කර ගැනීමට තම උපරිම දායකත්වය දෙන අතරතුරදීම ඇය බන්ධනාගාර රැදිවියන්හට ද පුහුණුව ලබා දීමට කටයුතු කරන්නේ දුක්ඛදායී ඉරණම්වලට ගොදුරු වු එක් කාන්තා කොට්ඨාසයකගේ මානසික මට්ටම යථා තත්ත්වයට පත් කිරීම සදහා ය.

"මගේ ගෙදර අයගේ උදව්වෙනුයි, මගේ ධෛර්යෙනුයි මම අද සමාජයේ අනෙකුත් කාන්තාවන්ට ශක්තියක් වනවා වගේ ම මගේ ආර්ථිකයත් ස්ථාවර කර ගන්නවා.මම නම් කියන්නේ කැපවීමෙන්, ‍ධෛර්යයෙන්,සහ අවංකකමෙන් වැඩ කරනවා නම් ඒ කෙනාට අනිවාර්යයෙන් ම ජීවිතය ජය ගන්න පුළුවන් කියලයි. මට පුළුවන් ශ්‍රි ලංකාවේ ඕනෑම තැනක සිටින කාන්තාවකට තමන්ගේ ආර්ථිකය ගොඩනඟා ගැනීමට උදව් කරන්න. ජීවිතය ස්ථාවර කර ගැනීමට උත්සහ කරන , මහන්සි වෙලා ජීවිතය ජය ගන්න කැමති කෙනෙකුට ස්වයං ව්‍යාපාර සිදු කරන අන්දම නොමිලේ වුණත් කියා දෙන්න මම පසුබට වෙන්නේ නැතැ,යි යනුවෙන් ලලිතා ප්‍රකාශ කළේ තමන් වැනි කාන්තාවන් බෙහෝ දෙනෙකුට නිවැරදි මාර්ගය කියා දෙන ආත්මාර්ථකාමීත්වයෙන් තොර කාන්තාවක් විලසිනි.

තමන්ට කළ හැකි දෙයක් නැතැයි, තමන්ට යම් කර්තව්‍යක් කිරීමට තරම් ශක්තියක් හෝ අධ්‍යාපනයක් ලැබී නැතැයි යන්න පිළිබඳවත් සිතා පසුතැවෙන කාන්තාවන්ට ලලිතා සමරතුංග කදිම ආදර්ශයක් සපයන්නීය.

Comments