වගා කළ රට කජු ගල­වන මෙහෙ­යුම | සිළුමිණ

වගා කළ රට කජු ගල­වන මෙහෙ­යුම

දැඩි නියං තත්ත්වයත් සමඟ ස්ථිර ජල සම්පාදන ක්‍රමයක් නොමැතිකමින් ගල්ගමුව කෘෂිකර්ම කලාපයේ රටකජු අස්වනු නෙළන ගොවිහු මේ වන විට දැඩි අසිරුතාවට පත්ව සිටිති.

රටකජු සඳහා සුදුසු දේශගුණ තත්ත්වයක් පැවතිම නිසා මෙවර වගාව ද සාර්ථක වි තිබේ. ඒ අනුව මේ වන විට අස්වනු නෙළිම ආරම්භ කර ඇති මුත් පොළොවේ දැඩි වියළි බව නිසා රටකජු ගැලවිම මහත් දුෂ්කර කාර්යයක් බවට පත්ව ඇත. මේ නිසා මේ වන විට ඈත දුර බැහැර ප්‍රදේශවලින් ජලය ප්‍රවාහනය කර වගා බිම්වලට ඉසිමෙන් පසු රටකජු ගැලවීමට සිදුව ඇතැයි ද එසේ නොමැති නම් වගා බිම් මුළුමනින්ම අත් හැර දැමිමට සිදු වන බවත් ගල්ගමුව මහ නාන්නේරිය ගොවි ජනතාව පවසති. මහ නාන්නේරිය කෘෂිකර්ම කලාපයේ අක්කර පනහක පමණ රටකජු වගා කර ඇති අතර මෙම සියලු ම වගා බිම්වලට මේ ජල ප්‍රශ්නය බලපා තිබේ. එම ගොවින් පවසන්නේ තමන් පදිංචි ඉඩම්වලින් දුර බැහැර හේන් බිම්වල රටකජු වගා කර ඇති නිසා ළිංවලින් ජලය ගෙන ටැංකිවල ට පුරවා ට්‍රැක්ටර්වලින් ප්‍රවාහනය කර වගා බිම්වලට රැගෙන යන බවයි.

කාලයක් තිස්සේ අතිරේක භෝගයක් ලෙස රටකජු වගා කර ඇති මුත් මෙවැනි දැඩි දුෂ්කරතාවකට තමන් මුහුණ දුන් පළමු අවස්ථාව මෙය බැව් ගොවිහු පෙන්වා දෙති. මේ වන විට ළිං වලද ජලය ඉතා අඩු මට්ටමක පවතින අතර අස්වනු නෙළා ගැනිමට වෙනත් මඟක් නොමැති බැවින් බීමට සහ දෛනික අවශ්‍යතාවන්ට පවතින ජලය රට කජු වගා බිම්වලට යෙදවිමට සිදුව ඇතැයි ගොවිහු කියති. එමෙන්ම අතිරේක භෝග වගා කිරිමේ දි නිරන්තරයෙන් ඇති වන ජල ප්‍රශ්නයට විසඳුම් ලෙස වගා ළිං කිහිපයක් ලබා දෙන ලෙස ඉල්ලිම් කළ ද එය මෙතෙක් ඉටු වි නොමැති බව පවසන ඔවුහු තමන් හේන් වගාව සඳහා යොදා ගෙන ඇති ඉඩම් කාලාන්තරයක් තිස්සේ පරම්පරාවෙන් පරිහරණය කරන ඒවා මුත් නිත්‍යානුකුල ඔප්පු නොමැති නිසා ළිං කැපිමට අවසර නොදෙන බැව් කියා සිටියහ.

සියයට පනහේ ගොවි දායකත්වය යටතේ වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් රටකජු බිජ ලබා දිමෙන් පසු මහ නාන්නේරිය ගොවින් මෙම වගා බිම් ස්ථාපිත කරන ලදි. එහිදි එම වගා බිම්වලට ජල සම්පාදන පහසුකම් සලසා දිමට හැකියාවක් පවතින්නේ ද යන්න පිළිබඳව වයඹ පළාත් අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩබ්.ඒ සිලරත්න මහතාගෙන් කළ විමසිමේ දි ඒ මහතා කියා සිටියේ වගා ළිං ලබා දිම හිතුමනාපයට කළ හැකි කාර්යයක් නොවන බවයි. ඒ සඳහා පරිසර තත්ත්වයන් ද සැලකිල්ලට ගත යුතු බවයි. දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වී වගා කරන ගොවින්ගේ ගැටලු බොහොමයක් දැනටමත් විසඳා ඇති අතර මේ ප්‍රශ්නයට ද යම් විසඳුමක් ලබා දිමට අවධානය යොමු කරන බවයි.

සකුන්තලා ජයසිංහ

අඹන්පොළ විශේෂ

Comments