මේ මහ කැලෑවේ අපි අසරණ වෙලා | සිළුමිණ

මේ මහ කැලෑවේ අපි අසරණ වෙලා

* විදුලිය දෙන්න බැරිනම් ගමටම එක වීදි ලාම්පුවක්වත් දාලා දෙන්න
* විදුලිය දෙන්න බැරිනම් ගමටම එක වීදි ලාම්පුවක්වත් දාලා දෙන්න
* ගම වටකර කැලේ අපේ ජීවිත මේ කැලේටම යට වෙලා

“පිහිටක් නැති සරණක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ...“ මේ ගීපද වැල් දෙසවනට මතුරන්නාක් මෙන් අපට දැනුණේ පසුගිය දිනක අපට මුණ ගැසුණු ඒ ගම්වැසි ජනතාවගේ ජීවිත කතාව ඇසෙද්දීය. ඔවුන්ගේ කතාව අසන දකින කාගේත් නෙතට ව කදුළක් එක්කරනු නොඅනුමානය. ඒ තරමට ඔවුනගේ ජීවිත දුප්පත්කමින් වෙළාගෙනය.

බුලත් විටෙන් කහට උගුරෙන් දවස ගෙවා ගනිමින් ජීවිත ගමනේ බර කර පින්නා ගත් මොවුන්ගේ මුහුණුවලින් නැගෙන දුක හා අසරණකම අතරින් නැඟෙන අහිංසක සිනාව මොහොතට සියල්ල අමතක කළත් අතේ කර ගැට වසන් කිරීමට ඔවුන් අපොසත් වන්නේ ජීවිතේ අනේක දුක් කරදර රැසක් ඒ ජීවිත වටා තිබීම නිසාය.

අඳුරට ශාප කරන මොවුන් කෙදිනකවත් විදුලි බුබුළක අලෝකයක් විඳීමට වරම් ලබා නොමැතිය. බීමට දියපොදක් සොයා කළගෙඩි කර පින්නා ගෙන සැතපුම් ගණනාවක් පිය නගන්නේ අවාසානාව නිසාදෝයි සිතේ. අපේ ඇතැමුන් දෙමහල් තෙමහල් නිවාස ඉදිකරද්දි තවත් සමහරු වායුසමනය කළ කාමරවල සුඛෝපභෝගීව සුවසේ ගත කරද්දී අගුපිල්වල ගෝනි කඩමලු එළාගෙන එකට ගුලිවී නිදා ගන්නා මොවුන් ගැන තව කවර කතාද?

කාලය සහ වනය විසින් සියල්ල සඟවද්දි ඔවුන්ගේ කතාවේ ඇතුළාන්තය සොයා අපි පිය නැගුවෙමු. ඔවුන් පදිංචිව ‍සිටින්නේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් එළුවන්කුලම රාල්මඩුව, රසීදාපුරය. ඒ යන අතරමඟදී අපට මුණ ගැසුණේ රෝද පුටුවක ආධාරයෙන් තම දියණිය රෝහලක් වෙත රැගෙන යන අසරණ මවකි. ඇය පසු කර අප ගම්මානය දෙසට ගමන් කරමින් සිටියදී තවත් එවැනිම දසුනක් අප නෙත ගැටිණි. ඒ මවද උපතින්ම අංගවිකල තම දියණිය කර පින්නාගෙන සායනයකට යමින් සිටියාය.

ඒ ගමට යෑමට ඒමට හරිහමන් පාරක් තොටක් නැතිතරම්ය. ගන වනාන්තරය මැදින් වැටීඇති අතුරු මාර්ගයයේද තැනින් තැන මඩගොහොරු සහිත අලි නාවන වළවල් දැකිය හැකිය. වැසිසමයේදී මේ මාර්ගය වාරි මාර්ගයක් වනවා නොඅනුමානය.

ගමේ ඉදිකර ඇති තාවකාලික නිවාසවල වහළයට සෙවිලි කර ඇති පොල් අතුවල ඉතිරිව ඇත්තේ ඉරටු පමණකි. ඉටි රෙදි, කඩමළු වැරහැලිවලින් තවත් සමහරු තමන්ගේ සිහින මාලිගාව ඉදිකර ගෙන සිටිති. දරුවන්ට පාසල් යාමට සුදු ඇඳුමක් ඇතත් එය වැරහැලි මිස පෙනුමෙන් නිල ඇඳුමක් කිව නොහැකි තරමට අපිරිසුදුය.

වැසිකිලි කැසිකිලි යටිතල පහසුකම් කිසිවක් නැතිව දිවි ගෙවන මොවුන්ගේ අසරණකම කීමට වචන නොමැති තරම්ය. ඇති හැකි ඇත්තන්ගේ දරුවන්රිමෝට් කාර් සෙල්ලම් කාර්වලින් සෙල්ලම් කරද්දි මේ දරුවෝ වැරහැලි කඩමලු ගත දවටාගෙන පොල්පිති ගොනුන් පසුපස දුවමින් සෙල්ලම් කරති. ඒ වෙනුවට අබලි ටයර් තල්ලු කරගෙන දුවන මේ දරුන්ට අනාගතයක් උදාවෙන්නේ කෙසේදැයි විමතිකි.

අඳුර මිස විදුලි ආලෝකයක් හෝ ස්ථිර නිවෙසක් හෝ නොමැතිව දිවි ගෙවන මොවුන්ගේ ප්‍රධාන ජීවිකාව කුලී වැඩය. රජයේ රැකියා ඔවුන්ට සිහිනයක්ම පමණි. සමහරු නාට්ටාමි සේවයේ යෙදී මුදල් උපයා ගනනි.

මොවුන්ද අප රටේ ඔබ අප හා ජීවත් වන තවත් පිරිසකි. මොවුන්ටද සෑම පුරවැසියෙකුටම ලැබිය යුතු අයිතීන් සහ ප්‍රථිලාභ ලැබෙන්නේද යන්න ප්‍රශ්නයක් වුවත් ඔවහු කිසි කලෙකවත් අහිමි අයිතීන් වෙනුවෙන් කිසි කලෙක අරගල හා උද්ඝෝෂණ නොකරති. එසේම අයිතීන් දිනා ගැනීමට වීදි නොබසිති.

එළුවන්කුලම රාල්මඩුව, රසීදාපුර මාවතේ ස්ථිර පදිංචිකරුවන් වන මොවුන් අතර දමිළ හා මුස්ලිම් පවුල් 25කට ආසන්න ප්‍රමාණයක් වෙයි. ජන වර්ගයෙන් වෙනස් වුවත් ඔවුහූ අපූරුවට සිංහල බස වහරති. අසරණ පිරිසක් ලෙස සලකා හෝ රජය මැදිහත්වීමෙන් මොවුන්ට ලැබිය යුතු කිසිදු වරප්‍රසාදයකට මොවුන් සුදුසුකම් නොලැබ සිටීම ගැටලුවකි. කුමන රජයක් බලයට පැමිණියද ජනතාවගේ ඕනෑ එපාකම් පිරිමැසීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමකි. එහෙත් මෙම ජනතාවට දේශපාලන හෝ රාජ්‍ය නිලධාරීන්ගේ හෝ කිසිදු හව්හරණක් නොතිබීම කනගාටුවකි.

මෙහි වෙසෙන්නෝ කොළඹ, පස්යාල, මෝදර, මීගමුව හා යාපනය වැනි ප්‍රදේශවල සිට පැමිණ දිවි ගෙවන්නෝ වෙති. මොවුන්ට පදිංචිවීමට පවුලක් සදහා පර්චස් 10ක පමණ භූමි ප්‍රමාණයක් ලබා දී ඇත්තේ ද මුස්ලිම් පූජකවරයෙකුගේ ධන පරිත්‍යාගයෙන් බව ගම්මු කියති. එයද ගන කැලෑවකින් වටවූ භූමියකි. එනිසා මේ පිරිස නිරන්තරයෙන් වන අලින් නිසාද පීඩා විඳිති.

ජල අහේනිය නිසා ඇතැම් කලට මොවුන්ට පානයට ඇත්තේ මඩ මිශ්‍ර වතුරය. අමු මිරිස් කරල ලුණු දියේ පොඟවා එක් වේලක් බත් පිඩක් බුදින මොවුන් අනෙක් සෑම විටම ඇල්දිය වීදුරුවකින් හෝ කහට කෝප්පයකින් සප්පායම් වෙන්නේ ආර්ථික අපහසුතා මැද පවුල් බර දරාගත නොහැකි නිසාය. වැසි සමයේදී ගේ දොර දෙගොඩ තලා යන ජලයෙන් යටවෙද්දී මොවුන්ට පිහිටට ඇත්තේ එළුවන්කුලම සිංහල විද්‍යාලයේ හෝ මුස්ලිම් විද්‍යාලයේ ගොඩනැගිලි පමණි.

ගමේ ඇතැම් කාන්තා­ෙවා් වැන්දඹු­ෙවා්ය. ඇතැම් පවුල්වල වයෝවෘද්ධයෝද කැත්ත උදැල්ල කර පින්නාගෙන වයස පසෙකලා වෙව්ලන දෑතින් කුලියක් මලියක් කරගෙන බඩ වියත රැකගැනීමට පුදුමාකාර වෑයමක් දරති.

ඒ. එම්. එම්. අෂාම් මහතා මේ ගමේ කලක සිටි පදිංචිව සිටින්නෙකි.

“හැම මැතිවරණයකදිම දේශපාලනඥයො ඇවිල්ලා අප රවට්ටනවා. මෙදා සැරේවත් අපට ලණු නොදී අපේ පාර හදලා අපිට යන්න එන්න සලස්වලා දෙන්න. හදිසියකට ලෙඩෙක්වත් රෝහලකට ගෙනියන්න විදියක් නැහැ. ත්‍රීවිලරයක් කවදාවත් මෙහාට එන්නෙ නැහැ ලෙඩෙක්ව ගෙනියන්න මොකද පාරේ යන්න බැරි නිසා. එක්කො කැලේ කියයි. අපි සමාජයෙන් කොන්වෙලා මුළු ගැන්විලා ඉන්නෙ.“

“ අපේ ළමයෙකුට ඉස්කෝලෙ යන්න විදියක් නැහැ. අදින්න පලඳින්න ඇඳුමක් නැහැ. අපේ මහත්තයට රස්සාවක් කරන්න බැහැ අපි පුදුම අසරණ කමකින් ජීවත් වෙන්නෙ හැන්දෑවේ හය වෙද්දි ඉන්න බැහැ කුප්පි ලාම්පු එළියෙන් ඉන්න බයයි. හතර වටේම අලි කරදරේ ගොවිතැනක් බතක් කරන්න ඉඩමක් කඩමක් නැහැ. අපි කන හැටි ළිපා දනී මහත්තයෝ.“ ගමේ දී අපට මුණ ගැසුණු ආර්. එස්. මනෝමනි මහත්මිය පැවසුවාය.

එෆ්. කදීනා මහත්මිය ද එහිදී අප හා තොරතුරු හෙළි කළාය.

“අනේ දෙවියනේ රජයේ නිලධාරීන් පුදුම විදියට අප රවට්ටන්නෙ. අරක දෙන්නම් මේක දෙන්නම් කියනවා. හැබැයි දුන්න දෙයක්නම් මේ වෙනකම් නැහැ. අපි කන්න අඳින්න ඉල්ලන්නෙ නැහැ. අපි ඉල්ලන්නෙ අපේ දරුවන්ට පොතක් පතක් කියවන්න රෑකට එළියකට පහළියකට බහින්න විදියක් නැහැ වටේම කළුවරයි. මුළු ගමටම එක වීදි පහනක් දාලා දෙන්න කියලා ඉල්ලුවා. ඒත් නැහැ අද දෙන්නම් කියනවා හෙට දෙන්නම් කියනවා. එච්චර තමයි. එක පාරක් ගංවතුර ගලලා අපි මැරෙන්න ගියා අපේ පෙර වාසනාවකට වනාතවිල්ලුව ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ඩග්ලස් ඉන්දික සේනාධීර මහත්තයට පිං සිද්ධ වෙන්න අපේ ජීවිත බේරා ගත්තා කාණු කපලා වතුර ටික බස්සවලා. රජයෙන් කියලා ඔන්න ඔච්චරයි මේ වෙනකම් අපිට කරලා තියෙන්නෙ.“

එච්. එච්. එම්. සිදාරා මහත්මිය අපට මුණ ගැසුණ් සිය දියණිය රෝහලට රැගෙන යද්දීය.

“මගෙ දරුවා දරුණු ලෙඩ හතකින් පෙළෙන අංගවිකල දරුවෙක්. එයාට බෙහෙත් ගන්න මාසෙකට සෑහෙන මුදලක් වැය වෙනවා. ඒත් අපි හිඟා කාලා හරි දරුවට බෙහෙත් කරනවා. අපි බෙහෙත් ගන්න සෑහෙන දුරක් දරුවා අරන්න යන්න ඕනේ. ලෙඩෙක් තියා අපටවත් යන්න පාරක් තොටක් නැහැ. වැහි කාලෙට මේ පාරේ යන්න ඔරු බෝට්ටු ඕනෑ. අපි ඉල්ලන්නේ අපට ඉන්න ගෙවල් නෙවෙයි. යන්න එන්න පාරක් හදලා ගමට ලයිට් එකක් දාලා දුන්නනම් ඒක ලොකු පිනක්. අපි ඉල්ලන්නෙ එච්චරයි.“

එම්. එස්. එම්. රුවයිස් මහතා ද ගමේ ජනතාව පෙළන ජල හිඟය ගැන අප හා පැවසීය.

“බොන්න වතුර පොදක් නැහැ අපි කළගෙඩි කෑන් අරන් හැතැප්ම ගාණක් පයින් බඩගානවා. අපට ජීවත් වෙන්න රස්සාවක් නැහැ. වැසිකිලි පහසුකම් නැහැ. ඉන්න හිටින්න ගෙයක් දොරක් නැහැ. අපි පුදුම කරුමක්කාරයො. ප්‍රවෘත්තියක් බලන්න නැහැ රටක තොටක වෙන දෙයක් අහන්න දැන ගන්න විදියක් නැහැ. අපි දන්නෙ නැගෙනහිරෙන් ඉරපායනවා බස්නාවෙන් බහිනවා කියන එක විතරයි. මොකද අපි හිඟන්නන්ටත් වඩා අන්ත විදියට ගමක් මැද කැලයකින් වටවෙලා අසරණවයි ජීවත් වෙන්නේ“

 කේ. ප්‍රියංකර
වනාතවිල්ලුව සමූහ

Comments