ප්‍රේක්ෂ­ක­යන් සිනහා සයු­රක ගිල්වන | සිළුමිණ

ප්‍රේක්ෂ­ක­යන් සිනහා සයු­රක ගිල්වන

කලකලප්පු’ 2012 දී කොලිවුඩයෙන් ප්‍රේක්ෂකයන් සිනහ සයුරක ගිල්වාලන්නට රැගෙන ආ සිනමා සිත්තමයි. කුම්බකෝනම් වල මුතුන් මිත්තන්ගෙන් උරුම වූ මසාල කැ‍ෙෆ් රැක ගන්නට සීනු (විමල්) නොගන්නා උත්සාහයක් නැත. දශක ගණනක්ම මසාල කැෆේ ජනප්‍රිය වී තිබුණද කාලයාගේ ඇවෑමෙන් එය පවත්වාගෙන යාමට අසීරු තත්ත්වයට පත්වෙයි. අලුත් සෞඛ්‍ය පරීක්ෂක මාධවී ( අන්ජලී) පැමිණි පසු තත්ත්වය වඩාත් බරපතළ වෙන්නේ සෞඛ්‍යයට අහිතකර පරිසරය නිසා එය තාවකාලිකව වසා දැමීමට තීරණය කිරීම හේතුවෙනි.

සීනු, මාධවීගෙන් ආපන ශාලාව වඩාත් යහපත් ලෙසින් නවීකරණය කිරීමට කාලයක් ඉල්ලා සිටි අතර හොර රහසේම දෙදෙ‍නාගේ හදවත් අතර සෙනෙහසක් මෝදුවෙයි. සීනුගේ බාල සොයුරු රගු (ශිවා) සොරකම් කිරීමේ වරදට සිරගත කර සිට නිදහස ලබා පැමිණීමත්, මාධවී ගමේ ඥාතියකු වූ වෙත්තුපුලිට ( සාන්තාරාම්ට ) විවාහකර දීමට සූදානම් වීමත් ඔවු‍නගේ ඉරණම් ගමන කෙසේ නම් ලියැවිද ?

කලකලප්පු සිනමා පටයෙන් සීනු, රගු, මාධවී, ප්‍රධාන කෝකියාගේ මිනිබිරී මායා ගේ කතාව අවසන් නොවීය. සිනමා පටය තිරගතවී පළ මු සතියේ පමණක් අමෙරිකානු ඩොලර් මිලියන15ක (ඉන්දියානු රුපියල් මිලියන 950 ක) ආදායමක් ලැබීම කලකලප්පු සාර්ථකත්වයට හොඳම සාක්ෂියයි. මේ සාර්ථකත්වය පදනම් කර ගනිමින් නිමැවුණු ‘කලකලප්පු 2’ පෙබරවාරි 9 වැනිදා සිට තිරගතවේ. දැනටමත් තිරගතවී තෙදිනකින් ඉන්දියානු රුපියල් 1,59,18,185 ක ආදායමක් කලකලප්පු නවතම සිනමා පට මාලාව උපයාගෙන ඇත.

නවතම සිනමා පටය මසාල කැෆේවලින් ඔබ්බට ගොස් ලැප්ටොප් මංකොල්ලයක් වටා ගෙතී තිබේ. හිටපු ඇමැතිවරයකු විගණන නිලධාරියාගෙන් තම ලැප්ටොප් යන්ත්‍රය ඉල්ලා සිටි අතර විගණන නිලධාරියා රුපියල් කෝටි 10ක් ලබා දුන්නොත් පමණක් එය දෙන බවට තර්ජනය කරයි. එහි හිටපු ඇමතිගේ මුදල් වංචා ගණනාවකම දත්ත ඇතුළත් වී තිබේ. ජීවා (සීනු හෙවත් ශ්‍රී නිවාස්) ජායි (රඝු ) , ශිවා(ගනේෂ්), නිකී(අයිශ්චර්යා) ඇතුළු පිරිස තම තමන්ගේ ජීවන ගැටලු ද සමඟ මේ අර්බුදයට මැදිහත් වන්නේ කෙසේද?

කලකලප්පු 2, දමිළ සිනමා පට තිහකට වඩා අධ්‍යක්ෂණය කර ඇති සුන්දර් සී ගේ (සුන්දර් චිදම්බරම්ගේ) අධ්‍යක්ෂණයකි. ඒ වාගේම ඔහු නළුවෙකු හා ගායකයකු ද වෙයි. උල්ලත්තෙයි අල්ලිත්තා (1996), අරුණාචලම් (1997) , අන්බේ සිවම් (2003) ඔහු මින්පෙර අධ්‍යක්ෂණය කළ සිනමාපට අතර කැපී පෙනෙයි. මෙහි කතා නිර්මාණය ද ඔහුගේය.

ජීවා මෙහි ශ්‍රී නිවාස් හෙවත් සීනු ලෙස රඟයි. කලකලප්පු ප්‍රථම සිනමා ප‍ටයේ සීනු ලෙස රංගනයේ යෙදුණේ විමල් ය. එහෙත් ඔහුට මෙවර එම චරිතය සුන්දර් විසින් ලබා දී නැත. ළමා වියේ සිටම රංගනයේ යෙදෙන ජීවා විවිධ චරිත නිරූපණය කර නම රැන්දු නළුවෙකි. ඔහු රාම් (2005) රංගනයට ගෝවා සහ සයිප්‍රස් අන්තර්ජාතික සිනමා උළෙලවලදී හොඳමා නළුවා ලෙසින් සම්මාන දිනා ගත්තෙකි. ඔහු සිනමා පටයේ ක්‍රියාදාම වීරයාවේ.

ජායි (ජායි සම්පත්) රාජාරාණි අතිසාර්ථක ආදර සිනමා අන්දරයෙන් අතිශය ජනප්‍රිය තරුවක් විය.

ශිවා කලකලප්පු ප්‍රථම සිනමා පටයට මෙන්ම දෙවැන්නටද දායක වූ ප්‍රධාන වීරයන් අතර සිටින එකම තරුවය. හේමාට රඟන්නේ කැතරින් ට්‍රෙෂාය. ඓශ්චර්යා ලෙස රඟන නිකී කල්රාණි, මලයාලම් සිනමාවේ අති සාර්ථක නිළියක් සේම පොදුවේ දකුණු ඉන්දීය සිනමාවේද හද බැඳි තරුවකි. ඇය වැඩි ඉල්ලුමක් ඇති දකුණු ඉන්දීය තාරකාවක මෙන්ම අන්තර්ජාලයෙන් රසිකයන් වැඩිපුර තොරතුරු සොයන තාරකාවන් අතරද පෙරමුණ ගෙන සිටියි. නැඟී එන නවක නිළිය ලෙස දමිළ ෆිල්ම්ෆෙයාර් උළෙලේ සම්මානයට පාත්‍ර වූ ඇය තවත් සම්මාන ගණනාවක්ම දිනාගෙන තිබේ.

නිකී මෙන්ම කැතරින් ට්‍රෙෂාද දකුණු ඉන්දීය සිනමාවේ හොඳම නවක නිළිය ලෙසින් සම්මානයට පාත්‍ර වූ තාරකාවකි. නවතම සිනමා පටයේ මුලාරම්භය සිදුවුයේ පළමු සිනමා පටය සාර්ථකව තිරගත වු 2012 වසරේදීමය. පළමු වැන්න හා දෙවැන්න අතර කතාවේ අන්තර්ගතයෙන් කිසිඳු සම්බන්ධයක් නැතත් ඊට නෑකම් කියන ලෙසින් නිර්මාණය කර තිබේ.

2012 වසරේ ඔක්තෝබ‍රයේ කලකලප්පු 2 ඇරැඹුණත් අධ්‍යක්ෂ සුන්දර් ‘මධ ගජරාජා’සමඟ කාර්ය බහුල වීම නිසා අතර මඟ කාර්ය බහුල වීම නිසා අතරමඟ නතර කෙරිණ අවසාන‍යේදී සුන්දර්ට මෙම දෙවැන්න ගැන සිතීමට අවකාශයක් ලැබුණේ 2016 අප්‍රේල් මාසය වන විටය. එහි ප්‍රධාන චරිත සඳහා ආර්ය සහ නයන්තාරා ජනප්‍රිය තරු යුවළ යොදා ගන්නා බවට රාවයක් පැතිරිණි. සුන්දර්ගේ බිරිය කුෂ්බු (ජනප්‍රිය දමිළ නිළි) සිනමා පටයේ නිෂ්පාදිකාව වූවාය.

2017 වසරේ මැද භාගයේ සුන්දර්ගේ විශාල පිරිවැයක් දරා නිපදවන සංගමිත්‍රා ප්‍රමාද විය. ක්ෂණිකවම ඔහු වසර ගණනාවක් යට ගසමින් තිබු කලකලප්පු 2 රූ ගත කිරීම් ඇරැඹිය.2017 සැප්තැම්බර් මාසය වනවිට ජීවා ජායි, නිකී කල්රාණි, කැතරින් ට්‍රෙෂා ප්‍රධාන තරු ලෙස දායක කරගන්නා බව සහතික කෙරිණි තනු නිර්මාණයට දායක කර ගත්තේ හිප්හොප් තමීෂා දෙදෙ‍නාය. බොලිවුඩයේ කල්‍යන්ජි - ආනන්ද්ජි මෙන්ම හිප්හොප් තමීෂා ද කොලිවුඩයේ එකට එක්වී තනු නිර්මාණය කරන සංගීතඥයන් දෙපළකි.

සුන්දර්ගේ සිනමා පටයේ තරු හා තාරකාවල එකම ඉලක්කය වී ඇත්තේ දෙබස්වලින් හා හැඟීම්වලින් රසිකයන් පිනවීම බව බොහෝ විචාරකයන්ගේ අදහසයි. විචාරකයන්ගේ වැඩි ප්‍රශංසාව හිමි වී ඇත්තේ ශිවාටය. කලකලප්පු 2, කලකලප්පු තෙවැන්නකට අත්තිවාරම් දැමීමට තරම් සාර්ථක ‍වේවිද? එය තීරණය කරන්නේ ප්‍රේක්ෂක සමුහයායි.

 

Comments