ඉතා­ලිය හරහා මෙජි­ගෝ­රි­යට-12 | සිළුමිණ

ඉතා­ලිය හරහා මෙජි­ගෝ­රි­යට-12

මෙජිගෝරියේ කුරුස කන්ද තරණය කර සවස දිව්‍ය පූජාවට සහභාගි වී පැමිණි අප නගරයේ ඇවිද සාප්පු සවාරියක් යන්නට තීරණය කළෙමු.අප නැවතී සිටි හර්සෙග් හෝටලය ඉදිරිපිට මෙන්ම සාන්ත ජේම්ස් පල්ලිය ආසන්නයේ සුපිරි වෙළෙඳ සල් කිහිපයකි. මෙහි භාවිතා වන මුදල් ඒකකය හඳුන්වන්නේ ‘කූනා‘ නමිනි. ඉතාලිය ඇතුළු යුරෝපයේ රටවල භාවිතාවන මුදල් ඒකකය යුරෝ වන අතර යුරෝ එකකට කූනා සත 13ක වටිනාකමක් හිමිවෙයි. අප මේ ගමනට රැගෙන ගියේ යුරෝය. එහෙත් යමක් මිලදීගත් පසු බොහෝවිට මොවුන් ඉතිරි දෙන්නේ කූනා වලිනි. මෙහි සිටි දින කිහිපයේ අප වරින් වර සිහිවටන, බොරලික්කම්, ජපමාල කෑම බීම ඇතුළු බොහෝ දේ මිලදී ගත් අතර අප අතේ කූනා සිල්ලර කාසි ඉතිරිව තිබිණි. අප මෙජිගෝරියෙන් එන්නට පෙර මේවා යුරෝවලට මාරු කරගැනීමට හෝ යමක් මිලදී ගත යුතුය.පැස්ටා,මැකරෝනි, ඔලිව්, ඔලිව්තෙල්, වයින්, චොකලට් අපේ රටට සාපේක්ෂව ඉතා අඩු ගණනකට මෙහි මිලදී ගත හැකිය. කණ්ඩායමේ සෑම දෙනකුම පාහේ මෙම වෙළෙඳ සල් වෙත ගොස් අවශ්‍ය දෑ මිලදී ගත්හ.

අපගේ සංචාරයේ මීළඟ අදියර වූයේ මෙජිගෝරියෙන් පිටත්ව යළිත් ඉතාලිය වෙත යාමයි. පාදුවාහි සාන්ත අන්තෝනි දෙව් මැඳුර, පොන්තනෙල්ලේ දේව මෑණියන් දර්ශනය වූ ස්ථානය, වැනීසිය යන ස්ථාන දැක බලා ගැනීම ගමනේ මීළඟට යායුතු ස්ථාන වෙයි. මෙම ගමනේ දුර කිලෝමීටර 780ක් පමණය. මෙම දුර ප්‍රමාණය යාමේදී බොස්නියා , හර්සගෝවීනා සහ ක්‍රොඒෂියා දේශ සීමාවත්, ක්‍රොඒෂියා සහ ස්ලෝවේනියා දේශ සීමාවත් පසුකළ යුතු නිසා ඒවායේදී පරීක්ෂාකිරීම් සඳහා කාලය ගත කළ යුතු වෙයි. මේ නිසා ප්‍රසාදි සංචාරය සැලසුම් කර තිබුණේ පසුදින හිමිදිරි පාන්දරින් පිටත්වීමටයි. නගරයේ ඇවිද සාප්පු සවාරියේ ගොස් අප කාමර වලට එද්දී බොහෝ කාලය ගතවී තිබුණු අතර ගමන් මලු අසුරා ගැනීම වැනි කටයුතු නිසා අපට නිදා ගැනීමට පැය දෙක තුනකට වඩා නොතිබුණි. මේ නිසා අප නොනිදා ගමනට සූදානම් වීමු. පාන්දර එකට පමණ අප පිටත්වීමු. හෝටලයෙන් උදෑසන ආහාරය සඳහා බර්ගර් එක බැගින් හෝටලයෙන් ලබා දුන්නේ අතර මඟදී කන්නටය.

රැය පුරා නිදිවරා සිටි අප සුඛෝපභෝගී බස් රථයේ සැපපහසු ආසනවල නින්දකට වැටුණෙමු. පැය දෙකක පමණ ගමනකින් පසු බොස්නියා දේශ සීමාවේදී අපගේ ගමන් බලපත් එකතුකරගත් රියැදුරා ඒවා රැගෙන ගොස් පැයක පමණ කාලයකට පසු පැමිණියේය. මෙහිදී ගමන් බලපත් පමණක් පරීක්ෂා කිරීමෙන් පසු අපට යාමට අවසර ලැබී තිබිණි. යළිත් ගමන ඇරැඹිණි. පැය දෙකක පමණ ගමනකින් පසු හාත්පස අඳුර ටිකෙන් ටික දියවී පරිසරය ආලෝකමත් විය. ඈතින් පෙනෙන කඳු අතරින් අහස රත්පැහැ කරමින් හිරු නැග එන ලකුණු පෙන්වන්නේ අලංකාර දර්ශනයක් මවමිනි. ස්ලෝවේනියා දේශ සීමාවට ළඟාවනවිට පරිසරය ආලෝකවත් වී තවත් අලුත් දවසක් උදාවී ඇත. මෙහිදී ගමන් බලපත් පරීක්ෂාකිරීමට අපට බස්රථයෙන් බැසීමට සිදුවූ අතර මේ නිසා එම කටයුතු වලට පැය භාගයක් පමණ ගතවිණි.

අප ඉතාලියට ඇතුළුවී පැය කිහිපයක ගමනේ යෙදී ඇත. අවට පෙනෙන දර්ශනය සුන්දරය. අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර සියයක පමණ වේගයෙන් යන ගමනේදි වරෙක විශාල කඳු හාරා තනා ඇති උමං මාර්ග තුළින් යන ගමන හරිම අපූරු අත්දැකීමකි. අක්කර සිය ගණන් එක දිගට පෙනෙන මිදි, තිරිඟු, සූරියකාන්ත මල් වැනි වගා බිම් දකින විට දැනෙන්නේ පුදුමයකි.

අද දිනයේ අප රැගෙන යන්නට ප්‍රසාදි සැලසුම් කර තිබෙන්නේ දේව මෑණියන් දර්ශනය වුණු තවත් ස්ථානයක් වන රෝස කුසුමේ ( රෝස මිස්ටිකා )වන්දනා ස්ථානය වෙතයි. ඉතාලියේ මොන්ටිචෙයරි හි ( Montichiari ) ෆොන්තනෙල්ලේ ( fontanelle ) ප්‍රදේශයේ පිහිටා ඇති මෙම කුඩා දේවස්ථානය පිහිටි ස්ථානය සොයා ගූගල් සිතියමෙන් පෙන්වූ මඟ ඔස්සේ ගිය රියැදුරුට එහි ඇතිවූ තාක්ෂණික ‍දෝෂයක් හේතුවෙන් මාර්ගය වැරැදුණි.එහෙත් සුළු වේලාවකින් එය නිවැරැදි කරගනිමින් ඔහු අප නියමිත ස්ථානය වෙත රැගෙන ආවේය. මේ නිසා නිවැරැදි ලිපිනය මෙහි සටහන් කරන්නේ කිසියම් දිනෙක එහි යන්නේ නම් අපහසුවකින් තොරව එහි යන්නටය . ( fontanelle, montichiari (bs) italy +39 030 964111)

ෆොන්තනෙල්ලේ රෝස කුසුමේ අප ස්වාමිදුවගේ වන්දනා ස්ථානය අනෙකුත් දේව මෑණියන්ගේ වන්දනා ස්ථාන තරම් ප්‍රසිද්ධ නොවුණත් විශාල වශයෙන් කතෝලික ජනතාවකගේ වන්දනා ගෞරවයට ලක්වන ස්ථානයකි. මෙම ස්ථානය ශුද්ධ ස්ථානයක් බවට සඳහන් කළත් තවමත් දේව මෑණියන්ගේ දර්ශනයවීම ශුද්ධවූ සභාව මගින් ස්ථීරවම සඳහන් කර නැත. පියෙරිනා පිල්ලි නමැති කාන්තාව දේව මෑණියන් දර්ශනය විම් පදනම් කරගෙන මෙම ශුද්ධ ස්ථානය දේව මෑණියන්ට කැපකර තිබුණද ලූර්දු, පාතිමා වැනි ශුද්ධ වූ ස්ථාන මෙන් සැලකිය නොහැකි නමුදු රෝස කුසුමේ දේව මෑණියන්ගේ පිහිට ලබාගත් විශ්වාසිකයෝ අප්‍රමාණය. ෆොන්තනෙල්ලේ දර්ශනයවීම සම්බන්ධව අවසාන තීරණය දීමට හැකියාව ඇත්තේ ශුද්ධවූ කතෝලික සභාවට වන අතර එය තවමත් අධ්‍යයනය කරමින් පවතී. අප මෙම ස්ථානයට ඇතුළුවීමට පෙර දේව මෑණියන් දර්ශනය වුණු පියෙරිනා පිල්ලි පිළිබඳවත් එම දර්ශනය විම් පිළිබඳවත් දැනුම්වත් වීමු.

පියෙරිනා පිල්ලි 1911 අගෝස්තු 03වැනිදා මොන්තෙකියාරි නගරයේදි උපත ලබන්නේ සහෝදර සහෝදරියන් 8 දෙනකුගෙන් යුත් පවුලක වැඩුමල්ම දරුවා ලෙසිනි. ඇයගේ පවුල දුප්පත් පිටිසර ගමක පවුලක් වුවද කතෝලික විශ්වාසය අතින් ඉතා ඉහළ තැනක විය.

පවුලේ ආර්ථික අපහසුතා බෙහෙවින් තිබුණත් ඒ සියල්ල දෙමාපියන්ට භාරකරමින් පැවිදි ජීවිතයක් ගත කිරීමට ඇය තීරණය කර තිබූ නමුත් ඇයට වැලඳුණු රෝග අසනීප තත්වයක් නිසා ඇයට මෙම අරමුණට ළඟාවීමට නොහැකි වූවාය. වයස අවුරුදු 30 දී ඇය දේව මෑණියන්ගේ ආදරය කරුණාව මත යැපෙන්නට පටන් ගත්තාය. ඇගේ රෝග අසනීප තත්වය තව තවත් උග්‍රවිය. 1946 නොවැම්බර් 23 -24 දිනවල ඇගේ රෝගී තත්වය බෙහෙවින් වර්ධනය වූ අතර ඇයට දේව මෑණියන් දර්ශනය වී ඇත. ‘‘ලස්සන කාන්තාවක් හිස සිට දෙපතුල දක්වා සුදු පැහැති වස්ත්‍රයෙන් සැරසී දෑත් විහිදාගෙන සිටියා. ඇයගේ හෘදය හරහා අසිපත් ගොස් තිබුණා. ‘‘ ඒ ගැන පියෙරිනා එසේ පවසා ඇත. 1947 ජූලි 13 වැනිදා යළිත් දේව මෑණියන් පියෙරිනාට දර්ශනය වී ඇති අතර එවර අසිපත් තුනක් වෙනුවට රෝස මල් තුනක් තිබී ඇත. 1947 නොවැම්බර් 22 රෝස කුසුමේ ස්වාමිදුව යළිත් දර්ශනය වී දෙසැම්බර් 8 වැනිදා මොන්තිකියාරි ආසන දෙව් මැඳුරට පැමිණෙන බව සඳහන් කර ඇති අතර, පියෙරිනා පවසන පරිදි දෙසැම්බර් 8 වැනිදා නිිර්මල කුමරි මරියෝත්තමාව තමන්ව ‘රෝස කුසුම මෑණියන් ‘ලෙස හඳුන්වන ලෙස පවසා ඇත. පියෙරිනා ප්‍රැන්සිස්කන් නිකායේ පැවිදි සොහොයුරියන්ගේ කන්‍යාරාමයක ගත කරන්නට තීරණය කළ අතර කාලය වසර 19 ක් මෙලෙස ගතවිය.1966 අප්‍රියෙල් 17 වැනිදා දේව දයාවේ මංගල්‍යය දින රෝස කුසුම දේවමාතාව නැවත වතාවක් පියෙරිනාට දර්ශනය වී ඇත්තේ ෆොන්තනෙල්ලේ ප්‍රදේශයේදීය. (වර්තමාන පුජාභූමිය පිහිටි ස්ථානය) එය මිනිස් ජනාවාසයෙන් බැහැර ප්‍රදේශයක් වන අතර ඒ හරහා වැටුණු පාරක් විය. මේ පාර අසල ජෝර්ජ් නමැති කුඩා දිය කඩිත්තක් විය. පියෙරිනා පවසා ඇති පරිදි දේව මෑණියෝ මෙය දේව දයාවේ දිය උල්පත ලෙස හඳුන්වා ඇත. එම දිය උල්පත වට කරමින් දිය පොකුණක් ඉදි කරන ලෙසත්, අසනීප වලින් පෙලෙන පුද්ගලයන් ඒ වෙතට ගෙනෙන ලෙසත් ඔවුන් එවිට සුවය ලබන බවත් එතුමිය පවසා තිබේ.

මෙම විස්තරයට අනුව මෙම පරිසරය සැබැවින්ම ජනාවාසයෙන් තොර ස්ථානයකි. විශාල තිරිඟු යායක් මැද පිහිටි මෙම කුඩා වන්දනා ස්ථානයට පිවිසි සැනින් සිතට සාන්ත බවක් දැනේ. පරිසරයේ සිසිලස ගතට සුවදායී බවක් ගෙන දෙයි. අප පිළිගන්නට මෙහි පැමිණ සිටියේ ඉතාලියේ සේවයට ගොස් සිටින අයිවන් මහතාය. ඔහු මෙම ස්ථානයේ වන්දනා කටයුතු භාරව කටයුතු කරන අතර ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිිපත්ව සිටියි. අප කුඩා දේවස්ථානය වෙත ඇතුළු වීමු. කුඩා දිය කඩිත්ත වටකර ඉදිකර ඇති පොකුණකි. එහි එක් කෙළවරක රෝස කුසුමේ දේව මාතාවගේ පිළිරුවකි. පොකුණට බැස්ස සැනින් දෙපාවලට දැනුණු සිසිලස ගත පුරා දිවගියේ වචනයෙන් කිව නොහැකි සුවයක් ගෙන දෙමිනි. අප පෝලිමට ගොස් වතුරේ බැස දේව මෑණියන්ගේ පිළිරුවට අත තබා නීරෝගී බව පතා යාඥා කළෙමු. එසේම දේව මෑණියන් දර්ශනය වුණු ස්ථානය වෙත යන්නට තැනුණු පියගැට පෙළකි. කිසිවකු එය පාගන්නේ නැත. එය තරණය කරන්නේ දණ ගාගෙන යාමෙනි. මෙම පොකුණ අසල බිත්තියේ විවිධ රෝගාබාධ වලින් පෙළී සිට මෙහි පැමිණ ජලය පාගා යාඥාකළ පසු සුවය ලැබූ බව සඳහන් විවිධ භාෂාවලින් කළ පුවරු සවිකර තිබේ.

මෙහි ඇති කුඩා පල්ලියේ වාඩිවූ අපි අයිවන් මහතා සමඟ ශුද්ධවූ ජප මාලය කියවමින් දේව මෑණියන්ගේ ආශිර්වාදය ඉල්ලුවෙමු.

අපට මෙහිදී ඉතාලියේ රැකියාවන් සඳහා පැමිණි කිහිප දෙනකුම මුණ ගැසිනි. ඉතාලියේ රැකියා සඳහා පැමිණ සිටින බොහෝ ශ්‍රී ලාංකිකයෝ ආගමික භේදයකින් තොරව මෙහි පැමිණ දේව මෑණියන්ගේ ආශීර්වාදය ලබා ගන්නා බව ඔවුහු පැවසූහ.

ලබන සතියේ සාන්ත අන්තෝනි මුණිඳුන්ගේ නොදිරූ සිරුරු කොටස් දකින්නට පාදුවා යමු.

 

Comments