යාප­න­යෙන් පොල් ගස් ලක්ෂ 10ක් | සිළුමිණ

යාප­න­යෙන් පොල් ගස් ලක්ෂ 10ක්

අපේ රටේ ප්‍රධාන අපනයන බෝග අතර තේ රබර් පොල් නම් කර තිබුණත් මේ වන විට පොල් ආනයනය කර ගත යුතු තත්ත්වයටම පොල් මිල අහස උසට නැඟ තිබේ. එයට ප්‍රධාන හේතුවක්ව ඇත්තේ වයඹ පළාතේ පොල් ගස් නියඟය නිසා විනාශ වී යාමයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් මේ වන විට පොල් ගස් ලක්ෂ 2ක් විනාශ වී ගොස් ඇත.ඒ සඳහා යළි පොල් ගස් සිටුවීමට කටයුතු කළත් එය මන්දගාමීව සිදු වීම තුළ හා එම ගස් රුක බලා ගැනීම මෙන්ම ඒ සඳහා පොහොර යෙදීම වැනි කටයුතු සිදු කිරීමට සේවකයන් යෙදවීමට විශාල පිරිවැයක් දැරීමට සිදු වේ.

අපේ රටේ සෑම ව්‍යයසනයකදී මුල් තැනක් ගෙන ඒ සඳහා පිහිටට ආවේ ශ්‍රී ලංකා යුද හමුදාවයි. මේ ව්‍යසනයදී යුද හමුදාව මේ සඳහා පොල් වගායට පියවර ගෙන ඇත. ඒ ජනතාවට කරදරයක් බාධකයක් වන ආකාරයෙන් ජනාකීර්ණ ප්‍රදේශවල නොවේ. උතුරු පළාතේ යාපනය අර්ධද්වීපය කේන්ද්‍ර කර ගනිමින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය මුල් කර ගත් හමුදා සේනාංකයන්ගේ මූලිකත්වයෙන් මේ වන විට පොල් පැළ ලක්ෂ 10ක් සිටුවීම ආරම්භ කර ඇත.එය නාමිකව සිදු කරනු ලබන ව්‍යාපෘතියක් නොව සියලු පාර්ශ්වයන් එක් කර ක්‍රමානුකූලව ආරම්භ කරන ලද ව්‍යාපෘතියකි. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ට්ආරච්චි මහතාගේ මූලිකත්වයෙන් හා උපදේශකත්වයෙන් මේ පොල් වගා කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. සෑම පොල් ගසක් වෙනුවෙන්ම භාරකාරයෙක් සිටීම මේ ව්‍යාපෘතියේ විශේෂත්වයයි. සෑම පොල් පැළ 10ක්ම එක් සොල්දාදුවෙකට බාර දී ඇති අතර ඊට අමතරව හමුදා නිලධාරීන්ද මේ සම්බන්ධව අධීක්ෂණ කටයුතු සිදු කරනු ලැබේ.

එම පැළ නඩත්තුව නිසි කලට පොහොර දැමීම ඇතුළු සියලු කාර්යයන් මේ අනුව හමුදා නිලධාරීන් විසින් අධීක්ෂණය කරනු ලැබේ. මේ සඳහා පොල් සංවර්ධන මණ්ඩලයේ සහාය ලබා දී ඇති අතර මේ වන විට පොල් පැළ සියල්ලම ඉතා හොදින් වැවීගෙන එන බවද ආරක්ෂක සේනා ආඥාපතිවරයා පවසයි.

එසේම මේ ක්‍රමවේදය නිසා ඉදිරියේදී පොල් ගෙඩියක තොග මිල රුපියල් 25ක් පමණ දක්වා අඩු කර ගැන්මට හැකිවන බවද ආරක්ෂක සේනා ආඥාපතිවරයා කීය. දකුණේ වෙළෙද පොළට මේ පොල් යැවීම මූලික අරමුණ බවත් ඒ අනුව පොල් මිල පහත හෙළීමට හැකිවනු ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි. පොල් ආශ්‍රිත නිෂ්පාදන මිල මේ වන විට ඉහළ ගොස් ඇති අතර ඇතැම් පොල් නිෂ්පාදනවලට පොල් වෙනුවට පොල් කුඩු මිශ්‍ර කරන තත්ත්වයක්ද දක්නට ලැබේ. මේ තත්ත්වය සහමුලින්ම වළක්වාලීමට මේ පොල් පැළ ව්‍යාපෘතිය නිසා හැකි වනු ඇත.

හමුදාවේ සේවාව එතැනින් නෙතර වී නැත. මේ වන විට තල් සංවර්ධනයටද පියවර ගෙන තිබේ. තල් පැළ ද ලක්ෂ 10ක් උතුරේ වගා කිරීමට මේ වන විට පියවර ගෙන ඇත. ඒ අනුව යළිත් තල් අරඹට තල් ඵලදාව සරුසාර වනු ඇත. තල් පොල් පමණක් නොව අක්කර 500ක වන වගාවටද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව කටයුතු කිරීමටද මේ වන විට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය පියවර ගෙන ඇත.එය වන වගා ව්‍යාපෘතිය යටතේ සිදු කරනු ලබන අතර ඒ හරහා කාලාන්තරයක් තිස්සේ ස්වාභාවික හේතූන් මත හා මිනිස් ක්‍රියාකාරකම් මත විනාශ වී ගිය වන වගාව යළි පණ ගැන්වෙනු ඇත. 

 තාරක වික්‍ර­ම­සේ­කර  

 

Comments