පිදුරු සෙවිලි කළ විමල්ගේ පැල්පත | සිළුමිණ

පිදුරු සෙවිලි කළ විමල්ගේ පැල්පත

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විතරක් පරාදකරලා රට රකින්න පුළුවන්ද?’

‘ඇයි එහෙම අහන්නේ?’

‘නෑ මට හිතෙනවා විමල් හිතන්නේ එහෙමයි කියලා’

‘ඒ මොකද එහෙම හිතන්නේ’

‘රටට ඔච්චර ආදරේ නම් විමල් හෝකන්දර පැත්තේ පොඩිපහේ මාළිගාවක් හදයිද?’

‘විමල් එහෙම කළේ රට වෙනුවෙන් නෙමෙයිද?’

‘විමල් තමන්ගේ ළඟම නෑයන්ට ගෙවල් දුන්නේ රට වෙනුවෙන්ද?’

‘අනිත් දේශපාලනඥයෝ කරන දේවල් විදිහට ඒවා බොහොම පොඩිදේවල්’

‘ඒක සමහර විට වෙන්න පුළුවන්. ඒත් විමල් කතාකරන්නේ අනිත් දේශපාලනඥයෝ වගේ පොඩි දේවල් නෙමෙයි’

‘එතනනං ප්‍රශ්නයක් තියෙනවා’

‘ඔව් විමල් කතාකරන කොට හිතෙන්නේ මව්බිම හැර වෙනත් දෙයක් එයාගේ ඔළුවේ නෑ කියලා’

‘ඒත් ක්‍රියාවෙනුත් ඒ විදිහමද?’

‘ඒ ප්‍රශ්නේ නගන්න අයිතියක් තියෙනවා’

‘වීරකුමාරලා පියසිරිලාට එහෙම හිතෙන්න ඇති?’

‘ඔව් අර හෝකන්දර පොඩිපැල්පත දකිද්දි එහෙම හිතෙන්නැති’

‘ඒත් අනිත් දේශපාලනඥයෝ හදලා තියෙන මාළිගා හැටියට මේක පොඩි මාළිගාවක්’

‘නමුත් ප්‍රශ්නේ තියෙන්නේ විමල් කතාකරනකොට කතාකරන්නේ ගෙයක්දොරක් වාහනයක් මාළිගාවක් කිසිම දෙයක් නැති රට විතරක් ම තියෙන මනුස්සයෙක් වගේ. රට ගැන හැරෙන්න වෙන කිසිම දෙයක් ගැන හිතුවේ නැති මනුස්සයෙක් වගේ’

‘එතකොට අර්බුදේ තියෙන්නේ එතනද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නෙමෙයිද?’

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේත් අර්බුදයක් තියෙන්න පුළුවන්. එතනත් අර්බුදයක් තියෙන්න පුළුවන්’

‘ඒ අර්බුදේ ද එතකොට වීරකුමාරලාගෙන් පියසිරිලාගෙන් එළියට ආවේ’

‘ජේවීපී එකටනං මට හිතෙන විදිහට බොහොම චාම් ටිල්වින් වගේ නායකයෝ ඉන්නවා’

‘ටිල්වින්ට පාර්ලිමේන්තුවටත් වඩා පක්ෂය උත්තරීතරයි’

‘එහෙම මිනිස්සු හරිම අඩුයි’

‘ජේවීපී එක රැකිලා තියෙන්නේ ඒ වගේ අය නිසා’

‘විමල්ට ඇහෙන්න ද ඔය කියන්නේ’

‘ටිල්වින්ට තියෙන ගෙවල් දොරවල් ගැන මං දන්නේනෑ. විස්තර අහලා නෑ. ඒත් මට නිකමට හිතෙනවා මතවාදය මොකක් වුණත් ටිල්වින් පක්ෂය රට ගැන හිතන අහිංසක මනුස්සයෙක් කියලා’

‘එහෙම හිතන එකත් හොඳයි’

‘ඔව් ඉතින් අපි ඇත්ත මොකක්ද කියලා දන්නේ නෑ. ඒක ගැන අපට යමක් හිතාගන්න විතරයි පුළුවන්’

මා අඩ නින්දක අඩසිහිනයක සිර වී සිටින බවක් මට වැටහිණි. මට කල්පනා වුණේ අවදියෙන් සිටින විට වඩා අඩනින්දෙන් ඇත්තට වඩාත් සමීප විය හැකි බවකි.

Comments