නීල හරිත පෙරළියක් | සිළුමිණ

නීල හරිත පෙරළියක්

ශ්‍රී ලංකාව තිරසර ලෙස සංවර්ධනය කිරීම පිණිස හා රට ඇතුළත අලුත් නීලහරිත සංවර්ධන පෙරළියක් ඇති කිරීම පිණිස රජය දැන් ප්‍රධාන නව වැඩපිළිවෙළ තුනක් ක්‍රියාවට‍ නංවා තිබේ.

හෙට ඇ‍රඹෙන නීලහරිත යුගයක් වැඩසටහන පසුගිය දා ඇරැඹුණු 'වන රෝපා' රුක් රෝපණ වැඩසටහන සහ 2017 – 2020 අතර ක්‍රියාත්මක ආහාර නිෂ්පාදන වගා සංග්‍රාමය ඒ වැඩපිළිවෙළ අතර ප්‍රමුඛත්වය ගනී.

මේ සඳහා රට පුරා හරිත ගම්මාන 10000ක් ඉදිකිරීම හරිත ගෙවතු ලක්ෂ 5 ක් වගා කිරීම පුනර්ජනනීය බලශක්ති ප්‍රව‍ර්ධනයට සහන සැලසීම පැළ ලක්ෂ 70 ක් රෝපණය කිරීම හා අපේ සාගර බල ප්‍රදේශය තෙගුණ කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන බව මහවැලි හා පරිසර අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක මහතා පවසයි.

ජනාධිපති තුමාගේ අදහසක් අනුව ක්‍රියාත්මක නීල හරිත යුගයක් වැඩසටහන දෙවැනි අදියර 16 වැනිදා පෙරවරුවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ. නීල හරිත යුගයක් වැඩසටහන යටතේ මුලින්ම නීල ආර්ථිකය හා සාගර ආර්ථිකය ප්‍රවර්ධනය කෙරේ.ඒ යටතේ වර්ග කිලෝමීටර් ලක්ෂ 5.3 ක් වූ අප රට වටේ ඇති අපේ සාගර බල ප්‍රදේශය වර්ග කිලෝමීටර් 17.1 දක්වා වැඩි කෙරේ.

ඒ ප්‍රදේශයේ සාගර මත්ස්‍ය සම්පත, අනෙකුත් ජීව සම්පත් හා ඛණිජ සම්පත් ගවේෂණය කිරීම හා තිරසර ලෙස ඒවා ප්‍රයෝජනයට ගැනීම මේ යටතේ සිදු කෙරේ. සාගර ගවේෂණය සඳහා අපේ රට කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම ද වෙරළ හා සමුද්‍රීය ක්‍රීඩා ප්‍රචලිත කිරීම ද සමුද්‍රීය සම්පත් ආශ්‍රිත සංචාරක කර්මාන්තය දියුණු කිරීම ද නීල හරිත යුගයක් වැඩසටහනේ තවත් වැඩසටහනකි. ඒ සමඟම ප්‍රධාන ගොඩනැඟිලි සියල්ලම පරිසර හිතකාමී හරිත ගොඩනැගිලි ලෙස ඉදිකිරීම අනිවාර්ය වෙන අතර අභ්‍යන්තර ගමනා ගමන කටයුතු සඳහා විදුලි බලය, ජෛව බල ශක්තිය හා සූර්ය බලය යොදා ගැනීමට ද යෝජනා කර ඇත. හරිත ගම්මාන 10000 රට පුරා ඉදිකෙරෙන අතර හරිත රැකියා සහ හරිත කර්මාන්ත ප්‍රවර්ධනයට ද පහසුකම් ලබාදේ.

රට පුරා දැනට ඇති වනාන්තර වැස්ම 29.7% සිට 32% දක්වා වැඩි කිරීමේ අරමුණින් රට පුරා ‘වන රෝපා’ වැඩසටහන යටතේ 2017 වසර තුළ පැළ ලක්ෂ 70 ක් සිටුවීමට කටයුතු යොදා ඇතැයි වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් අනුර සතුරුසිංහ මහතා කියයි. පසුගියදා ඇරැඹුණු ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ හරිත ගෙවතු ලක්ෂ 5 ක් ඇති කිරීම වගා ළිං 2000 ඉදිකිරීම හා හරිතාගාර ඇතුළත අක්කර 100 වගා කිරීම ඇතුළු වැඩසටහන් රැසක් දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 

Comments