කැකිල්ලේ රජ්ජුරුවන්ට තරු පෙනිලා | සිළුමිණ

කැකිල්ලේ රජ්ජුරුවන්ට තරු පෙනිලා

ට්‍රික්සි සහ තක්ෂිලා මහනුවර අතිරේක මහේස්ත්‍රාත් ඉදිරියට පමුණුවන ලද්දේ විත්තිකාරියන් දෙදෙ‍නකු විලසින් ය. (ට්‍රික්සි පළමු වැනි සහ තක්ෂිලා දෙවැනි විත්තිකාරිය වූවා ය) මෙම විත්තිකාරියන් දෙදෙනා ම තුරුණු වියේ පසු වූවන් වූ අතර කෘත්‍රිම ආලේපයන්ගෙන් හැඩ වැඩ වී ඇඟට ඇලෙන කලිසම් සහ ටී ෂර්ට්වලින් සහ අඩි උස පාවහනින් සැරසී යුරෝපීය ආකාරයේ යැයි සැක කළ හැකි ගමනේ යෙදුණු ලලනාවන් දෙපළක් වූ අතර ඔවුන් වෙනුවෙන් නීතිඥ නියෝජනයක් විය‍. පැමිණිල්ල වෙනුවෙන් පොලීසිය සමඟ ද නීතිඥ නියෝජනයක් විය‍.‍ මුල් පැමිණිලිකාරිය ද අධිකරණය හමුවේ ‍ෙපනී සිටියා ය. ඇය අවුරුදු හතළිස් පහක් පමණ වයසැති ගැබ්බර කතක් වූවා ය.

එදින අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන ලද්දේ නීතිඥ නිශාන් ඩයස් ගුණසේකර මහතා විසිනි. කතරගම දෙවියන්ගේ සදා බැතිමතෙකු වූ මොහුගේ නළලේ සදා නොමැකෙන ‘තිලකයක්’ විය.

සෙනඟ පිරුණු අධිකරණයේ ට්‍රික්සි සහ තක්ෂිලා ගේ නම් අඬ ගැසුණු විට සෙනඟ අතරින් සුළු හදිසි කලබලයක ස්වභාවයක් ඇතිවී නැතිවී ඉන් පසු ටොකස් ටොකස් යන අඩි උස සපත්තු හඬ විත්ති කූඩුව දෙසින් ඇසෙන විට සියලු නෙත් යොමු වූයේ එදෙසට ය.

“ස්වාමීනි, මොවුන්ට එරෙහිව තියෙන්නේ ඉතා බරපතළ චෝදනාවක්!” පැමිණිල්ල මෙහෙයවන පොලිස් නිලධාරයා පැවසීය. “අස්වාභාවික වැරැදි සහ බරපතළ ලිංගික අපයෝජනය යටතේ නඩු පවරලා තිබෙන්නේ.”

“බරපතළ ලිංගික අපයෝජනය!” නිශාන් ඩයස් ගුණසේකර මහතාගේ නළල රැලි ගැන්වී නළලේ තිලකය ඉලිප්පී බෝල වුණි.

නිශාන් ඩයස් ගුණසේකර මහතා - ‘මොකක්ද මේ අහිංසක ළදැරියන්ගෙන් වුණු අපරාධය?

පොලිස් නිලධරයා - “ස්වාමීනි, මොවුන් ආදරවන්තයින් දෙපළක්” (සිනා)

නිශාන් ඩයස් ගුණසේකර මහතා - “අසල්වැසියාට ප්‍රේම කරන්න!” (උස් හඬින් සිනා)

පොලිස් නිලධරයා - “මේක එහෙම ප්‍රේම කිරිල්ලක් නෙමේ” (සිනා)

නිශාන් ඩයස් ගුණසේකර මහතා - “පැමිණිල්ලක් තියෙනවා ද?”

පොලිස් නිලධරයා - “එහෙමයි, ස්වාමිනි, දෙවැනි විත්තිකාරියගේ මව තමයි පැමිණිලිකාරිය.” (සිනා)

පැමිණිලිකාරියගේ නීතිඥ - “ඇත්තටම, ස්වාමීනි, පළමු විත්තිකාරියගේ ක්‍රියාකලාපය තමයි මේ සේරටම මුල. ඇය විසින් පැමිණිලිකාරියගේ දුව වන දෙවැනි විත්තිකාරියට බලෙන් ලිංගික අතවරය පා තියෙනවා. පැමිණිලිකාරිය පොලිසියට ගියේ පළමු විත්තිකාරියට එරෙහිව පැමිණිලි කරන්න. ‍පොලිසියෙන් දෙවැනි විත්තිකාරියටත් එරෙහිව නඩු පවරලා.” (සිනා)

නිශාන් ඩයස් ගුණසේකර මහතා - “වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටිලා” (උස් හඬින් සිනා)

පැමිණිලිකාරියගේ නීතිඥ - “පොලිසියේ තීන්දුව කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුවක් වගේ‍. අධිකරණයට පැමිණි විටයි දන්නේ පැමිණිලිකාරියගේ දුවත් විත්තිකාරියෙක් කියලා.”

පොලිස් නිලධරයා - “ස්වාමිනි, පොලිසිය පැවැත්වූයේ අපක්ෂපාති පරීක්ෂණයක්. එළිදරවු වූ කරුණු අනුව තමයි නඩු පැවරුවේ. කටඋත්තර අනුව පෙනී යන්නේ විත්තිකාරියන් දෙදෙනා වෙනම ගෙයක් කුලියට අරගෙන අඹු සැමියන් වගේ කාලයක් එකට ජීවත්වෙලා තියෙනවා.”

නිශාන් ඩයස් ගුණසේකර මහතා - “කැකිල්ලේ රජ්ජුරුවන්ට තරු පෙනෙන්න ඇති.” (මහ හඬින් සිනා)

පැමිණිලිකාරියගේ නීතිඥ - “ස්වාමිනි, පළමු වැනි විත්තිකාරිය තමයි දෙවැනි විත්තිකාරියව ගෙදරට ම පැමිණ බලෙන් ඇදගෙන ගිහින් තියෙන්නේ. පැමිණිලිකාරිය පොලිසියට ගිහින් තියෙන්නේ තමුන්ගේ දුව බේරගන්න.”

නිශාන් ඩයස් ගුණසේකර මහතා - “මොනව ද විත්තියෙන් කියන්න තියෙන්නේ?”

විත්තිකාරියන් දෙදෙනාගේම නීතිඥ මහතා - “මේ සිද්ධියේදී විත්තිකාරියන් දෙදෙනා අතර කිසිම ආරවුලක් නැහැ. ආරවුලක් ඇති කරන්නේ පොලිසියයි, පැමිණිලිකාරියයි.”

පොලිස් නිලධරයා - “එහෙත් බරපතළ ලිංගික අපයෝජනය පිළිබඳව චෝදනාවක් තියෙනවා. ඒක බරපතළ අපරාධයක්?”

විත්තියේ නීතිඥ - ස්වාමීනි, අපරාධ වැළැක්වීමේ ආඥා පනතේ අර්ථ නිරූපණය වෙනවා ‘අපරාධ’ යනු මොනවාද යන්න. ලිංගික වැරදි කිසිවක්වත් අපරාධ ගණයට වැටෙන්නේ නැහැ!”

නිශාන් ඩයස් ගුණසේකර මහතා - “සුදු මහත්තුරු හදපු නීති නොවැ. ඒවා ‘අපරාධ’ වුණා නම් එයාලට ම අවාසි වෙන්න තිබුණා!” (උස් හඬින් සිනා)

විත්තියේ නීතිඥ මහතා - “කෙසේ වෙතත්, විත්තිකාරියන් දෙදෙනාම වයෝපූර්ණත්වයට පැමිණි අය. නීතිමය කරුණක් මත ඔවුන් නිදහස් කිරීමට ඉල්ලීමක් කරන්න තියෙනවා.”

එකී ඉල්ලීම ස්ථිර මහේස්ත්‍රාත්තුමිය ඉදිරියේ කිරීමට දිනයක් ලබාදුනි.

Comments