අපේ නර්ථ­නය ලෝක­ය­ටම ගෙනි­ය­න්නයි මගේ වෑයම | සිළුමිණ

අපේ නර්ථ­නය ලෝක­ය­ටම ගෙනි­ය­න්නයි මගේ වෑයම

'story of seetha' මුද්‍රා නාට්‍ය දැක්ම 28 බිෂොප් රඟහලේදි 

 

භිරාම රුසිරෙන් වරදනා පිය නිරිඳුනේ රාම ඔබ

මුවින් නැගී ඒ ගිනි පුපුරු මා දවනවා තාම

සඳ වතුරේ යට මා කුරිරු ගින්නෙන් දවන කුමරා...

නන්දා මාලනියගේ මුවෙන් ගැයෙන මේ ගීතය රාම සීතා ආදර කථාව (story of seetha) මුද්‍රා නාට්‍යයේ එන ගීතයෙහි පද පෙළකි. අපේ රටේ සිටින දක්ෂතම නර්ථන ශිල්පියෙක් වන චන්දන වික්‍රමසිංහයන් වසර 12කට පසුව ප්‍රේක්ෂකයා හමුවට ගෙන එන මේ නවමු අත්දැකීම ගැන රසඳුනට කියන්නට අමතක කළේ නෑ. දෙස් විදෙස් නර්තන ප්‍රසංග සමග ඉතා කාර්ය බහුල දිවියක් ගත කළත් රාම සීතා ආදර කතාව ගැන වැඩි විස්තර අපට මෙසේ පැවසුවා.

 කොහොමද ඉතින්..මේ දවස්වල අලුත් වැඩකට සැරසෙනවා කියල ආරංචියි..

ඔව් ..මේ දවස්වල ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් දෙන්න රාම සීතා ආදර කතාව මුද්‍රා නාට්‍යයක් ලෙසින් ප්‍රේක්ෂකයන් හමුවට ගෙනයන්න විශාල වැඩකොටසක් කරගෙන යනවා. රාමායනය සීතාගේ ඇසෙන් දකින හැටි තමයි මේ මුද්‍රා නාට්‍ය පුරාම කියැවෙන්නේ. අපි පෙර අසා ඇති රාම සීතා කතාවට වඩා වෙනස් ආකාරයකට ‍දකින්න පුළුවන්. සීතාවන්ට වෙච්ච පරිභවය ගැනත්, රාවණාගේ උත්තම ගති ගැනත් ඔහු උත්තම පුරුෂයෙක් බව සීතාගේ ඇහෙන් දකින ස්වරූපයකින් මේ රාම සීතා ආදර කතාව නර්ථනයෙන් රඟ දක්වනවා.

 ඔබ මීට පෙරත් මුද්‍රා නාට්‍යයක් නිර්මාණය කළා නේද....

2005දි මයුර සංදේශය මුද්‍රා නාට්‍යයක් ලෙස රඟ දැක්වුවා. ඒ ස්වර්ණවාහිනියෙ අටවැනි

සංවත්සරයට. එහි නිර්මාණ අධ්‍යක්ෂවරයා හේම නලින් කරුණාරත්න, සංගීත අධ්‍යක්ෂණය ජගත් වික්‍රමසිංහ. එම නාට්‍යයටත් බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. ඉන් පසුව කාලයක්ම අතිශය කාර්යබහුල වුණා. වසර 12ක් ගතවුණා ‍දැනුනේම නෑ.‍මුද්‍රා නාට්‍යයක් කරන්න නෑ කියන අදහස තිබුණත් හොඳ තේමාවක් ලැබුණේ නෑ. පසුව මට හිතුණා රාම සීතා ආදර කතාව තෝරා ගන්න.

 රාම සීතා ආදර කතාවම තෝරා ගන්න විශේෂ හේතුවක් තියෙනවද..

රාම සීතා ආදර කතාවට මම කුඩා කාලයේ සිටම බොහොම කැමැත්තක් දක්වනවා. විශේෂයෙන් එහි රාවණාගේ චරිතය දෙස මිනිසුන් බලන දෘෂ්ඨිය වෙනස් කරන්න ඕන ඔහු අපේ කෙනෙක්, ජව සම්පන්න, නිර්භීත නායකයෙක් යන්නයි මගේ හැඟීම.විශේෂයෙන් ඉන්දියාව ඇතුළු ආසියාවේ රටවල් බොහෝමයක ජනතාව අතර රාම සීතා ආදර කතාව ප්‍රසිද්ධයි. ඒ නිසා හොඳ නර්ථන අධ්‍යක්ෂවරයෙක් සේම නිෂ්පාදකවරයෙක් ලෙස ලෝකයටම ගෙනියන්න පුළුවන් කතාවක් නිසයි රාම සීතා ආදර කතාව තෝරා ගත්තේ.අපේ ජාතියට අතීතයේ සිට හොඳ නර්ථන කලාවක් තියෙනවා. එය ලෝකයටම ගෙනියන්නයි මගේ උත්සාහය.

 ලෝකයම දන්න සුන්දර ආදර කතාවක් මුද්‍රා නාට්‍යයකින් රඟ දැක්වීම භාර දූර කාර්යයක්.එයට පොඩි හෝ අසාධාරණයක් සිදු වුවහොත් එය ඔබ වැනි ප්‍රවීණ නර්තන ශිල්පියෙකුට සිදුවෙන හානියක්. ඒ නිසාවෙන් මේ වැඩේට අතගහන්න බය සිතුණේ නැද්ද...

නාට්‍ය පුරාම සීතාවන්ට සිදු වු පරිභවය ගැන වගේම කාන්තාවකගේ පවිත්‍රත්වය සොයන සැමියකුගේ ලක්ෂණයක් නිරූපණය කරනවා.අඹු සැමියන් අතර සිරි යහනේ දී ඇති වන ගැටලු ඉන් පිටත යන්න සුදුසු දෙයක් නොවුවත් රාම සීතා ආදර කතාවේ එයයි කතා තේමාව. මෙහි එක් තැනක සීතා රාවණා ගැන මෙසේ කියනවා. මන්දෝදරි වෙත රාවණ

පෑව අනුරාග-පතිනිවත රැකි ඔහුට

ඈ පිදූ පිපී සිය දෑස

මා කොහෙන් කොතැනින්

ගෙනෙන්නද එවන් මදහස් ..

නාට්‍යයෙහි සීතාපති ගීතයෙහි මේ පද ඇතුළත්කර තිබෙන්නේ රාවණා කෙරෙහි සීතාගේ සිතේ අතිවී තිබෙන පහන් සිතුවිලි ප්‍රේක්ෂකයාට දැනෙන්නට හරින්නටයි.දවස් දෙකක සීතාගේ කතාව මෙහි රඟ දක්වනවා.

 රාම සීතා මුද්‍රා නාටකයේ ඔබ නිරූපණය කරන චරිතය සහ අනෙකුත් නිර්මාණ ශිල්පීන් ගැන සඳහන් කළොත් ...

මෙහි පිටපත සහ නර්ථන අධ්‍යක්ෂණයට පමණයි මගේ දායකත්වය ලබාදෙන්නේ. විශේෂයෙන් මගේ වයසත් එක්ක රාමට හෝ රාවණාගේ චරිතය නිරූපණය කරන්න පුළුවන් කමක් නෑ.ඒකට දැන් වයස වැඩියි ප්‍රේක්ෂකයන්ට එපා වෙයි.

සංගීතය, පේෂල මනෝජ් , ගීත නිර්මාණය රත්න ශ්‍රි විජේසිංහ සහ අමිල තේනුවර, ගායනය නන්දා මාලනී සහ අසිත අතපත්තු, තිලිණිි යාදෙව්.වේදිකා ආලෝක කරණය සහ වේදිකා පරිපාලනය උපාලි ආරියසිරි, වේදිකා පසුතල නිර්මාණය හීනටිගල ප්‍රේමදාස, මගෙන් ඉගෙන ගන්නා වෘත්තීමය නර්ථන ශිල්පීන් 15ක් මෙහි නර්ථනයෙන් දායක වෙනවා.

 ප්‍රේක්ෂකයන් මේ නව අත්දැකීම නරඹන්නට ආසාවෙන් ඇති.. ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් ලැබෙනවද.. ‍

මේ මාසෙ 28 දින සවස 7.00ට බිෂොප් රඟහලේදි රාම සීතා මුද්‍රා නාට්‍ය වේදිකා ගත කරනවා. ආරාධිතයන් 4000කට නොමිලයේ නරඹන්න ලැබෙන සුන්දර අත්දැකීමක්. පසු දින එනම් 29 මගේ ජීවිතයේ 50 වැනි උපන්දිනය සමරනවා. එදාට සිසු සිසුවියන් 75කට පායින්පත් සහ වෙස් බැඳීම සිදුකරනවා.

 මේ සියලු දේ පිටුපස ඔබගේ ආදරණීය බිරිය සහ දරුවන් සිටිනවා..ඔවුන් ගැනත් සඳහන් කළොත්..

මගේ ආදරණීය බිරිය දිල්හානි. ඇගෙන් ලැබෙන සහයෝගය නොවන්නට මෙතරම් දුර ගමනක් එන්නට ලැබෙන්නෙ නෑ. ඇය මේ සියල්ල සොයා බලා සහාය දෙන ගමන්ම නිවසේ සියලු වගකීම්වලින් මා නිදහස්කර තිබෙනවා.

ලොකු දුව දෙවංගි විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. තනුග, මනුග පුතුන් දෙදෙනා ඉගෙන ගන්නවා. කියන්න සතුටුයි මම නර්තනයෙන් අපේ රට ලෝකයට ගෙනියන්න බොහෝ කැප කිරීම් කළ පුද්ගලයෙක් වගේම සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට වෙහෙසෙන නර්තන ශිල්පියෙක්. අපිට අතීතයේ පටන් ලැබුණු නර්තනය තමයි ඒ සඳහා යොදා ගන්නේ. ලෝකයේ කුමන රටක නර්තන ප්‍රසංගයකට සහභාගි වුවත් අපේ රටේ අපේ උරුමයන් නර්තනයෙන් විදහා පෑමටයි මගේ උත්සාහය.

මෙපමණ කලක් කරගෙන ආ එම ව්‍යායාමය බොහෝ සාර්ථක වී තිබෙනවා.මෙතැනට ආවේ බොහොම දුක් මහන්සියෙන් . ඒ කාලෙ අද වගේ රූපවාහිනියෙන් නවක ශිල්පීන්ට අත දුන්නේ නෑ.

වර්තමානයේ නර්තනය හදාරන දරු දැරියන් වාසනාවන්තයි. ඉදිරියේදීත් අපේ රටේ දූ දරුවන් සහ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් හරවත් දේ කිරීමයි මගේ බලාපොරොත්තුව. 

 

 

Comments