ඒ අයට වුණත් මං එහෙම කියන එක හරිද? | සිළුමිණ

ඒ අයට වුණත් මං එහෙම කියන එක හරිද?

‘කොළඹ වහලා ලැම්බොගිනි පැදපු අයට පහුගිය අවුරුදු දෙක මූසල දෙවසරක් වුණා. ඒ විදිහට රේස් පදින්න නැති වුණ නිසා.’

‘තමතමන්ගේ නෑයන්ටයි හිතවතුන්ටයි හිතවත් පත්තරකාරයන්ටයි ආණ්ඩුවේ සල්ලිවලින් වාහන බෙදපු අයට පසුගිය දෙවසර මූසල දෙවසරක් වුණා.’

‘ඉතින් එහෙම වුණා කියලා ඒ තමන්ට දැනෙන-එක රටේම එකක් කියලා හිතන්න ඒ අයට තියෙන අයිතිය මොකක්ද?’

‘දේශපේ‍්‍රමය බඩගෝස්තරේ කරගෙන, බඩගෝස්තරේ කරගන්න ගමන්ම ඒක දේශපේ‍්‍රමේ විදිහට පෙන්න පෙන්න හිටිය අයට පසුගිය දෙවසර මූසල දෙවසරක් වුණා.’

‘දේශප්‍රේමය කියන්නේ සැප කාර්වලින් යන එකය කියලා හිතාගෙන හිටිය අයට පසුගිය දෙවසර මූසල දෙවසරක් වුණා.’

‘ප්ලේන්වල සපිරිවරින් ගිය අයට පසුගිය දෙවසර ප‍්‍රීතිමත් දෙවසරක් වුණේ නෑ.’

‘අහිංසක මිනිස්සුන්ව ගස්බැඳපු අයට පසුගිය දෙවසර ප‍්‍රීතිමත් දෙවසරක් වුණෙ නෑ.’

‘යුද්ධය මෙහෙයවපු යුද නායකයා ද්‍රෝහියෙක් කරලා තමන් වීරයෝ වෙන්න හදපු අයට පසුගිය දෙවසර සතුටින් පිරුණු දෙවසරක් වුණේ නෑ.’

‘තිබුණ ආණ්ඩුවට කඩේ ගිහින් චිත‍්‍රපට කලාව ගීත කලාව ඇතුළු සියලු කලා තමන්ගේ ප‍්‍රාණ භුක්තියට සවි කරගෙන හිටිය අයට පසුගිය දෙවසර චිත‍්‍රපටයක් තරම් රසවත් වුණේ නෑ.’

‘තවත් මැණික් මලු හම්බ වෙයි කියලා බලාගෙන හිටිය අයට ඒ සතුට පසුගිය දෙවසර තුළ භුක්ති විඳින්න බැරි වුණා.’

‘හමුදා බලය යොදාගෙන නිදන් හාරපු අයට පසුගිය දෙවසර තුළ ඒ විදිහට සතුට භුක්ති විඳින්න ලැබුණෙ.’

‘තමන් ළඟ සල්ලි, ධනය, බලය, කොටස් වෙළෙඳපොළ කොටස්, ඉඩම්, දේපළ රාජ්‍ය බලය යොදාගෙන ගොඩගහගත්ත අයට පසුගිය දෙවසර මූසල දෙවසරක් වුණා.’

‘ඇත්ත - බොරුව මොකක් හරි කියමුකෝ... මේ වගේ වචන දාලා ගෙවල් ඉස්සරහා පෝස්ටර් ගහන මිනිහා රටට ආදරේ මිනිහෙක්ද?’

‘දේශපාලනේ කරන්න ගියාම ප‍්‍රාථමික සදාචාරය හා සංස්කෘතියවත් අමතක වෙනවා කියන්නේ ඒ නිසාද?’

‘ප්ලේන්වලින් විනෝද චාරිකා ගිය සහපිරිවරේ අයට මූසල දෙවසරක් වුණා ඒ විදිහට චාරිකා යන්න නොලැබුණ නිසා.’

‘එතකොට තමන්ට මූසල දෙවසරක් වුණ නිසා ඒ තරහ පිරිමහාගන්න රට පුරා මූසල මූසල කියා කියා පෝස්ටර් ගහන-එක හරිද?’

‘රටට මොකක් වුණත් මොකද තමන්ට හොඳක් වෙනව නං. එහෙම තමයි ඒ අය හැමදාම හිතුවේ. එහෙම හිතලා තමයි ඔය ‘මූසල’පෝස්ටරේ සතුටු සිතින් ඇලෙව්වේ.’

‘පුදුම මූසලයෝ ටිකක් නේ!’

‘ඒ අයට වුණත් මං එහෙම කියන එක හරිද?’

පෝස්ටරයක් ඔස්සේ දිව ගිය මගේ සිහිනය නැවතුණේ එතනය. වචන හා සංකල්ප තිබුණත් ඒවා භාවිතයේදී අප ඉතා පරිස්සම් විය යුතුය. විශේෂයෙන්ම දේශපාලනයේදී එය කළ යුතුම වේ. මක් නිසාද යත්: දේශපාලනය පැවතිය යුත්තේ තමන් වෙනුවෙන් නොව, රට වෙනුවෙන් බැවිනි; නැති නම් තමන් මෙන්ම රට වෙනුවෙන්ද වන බැවිනි. 

Comments