මම මේක... හුඟක් වෙලා ඉඳන්.... ඔයාගෙන්..... අහන්ඩමයි හිටියෙ | සිළුමිණ

මම මේක... හුඟක් වෙලා ඉඳන්.... ඔයාගෙන්..... අහන්ඩමයි හිටියෙ

 ඒ අපේ ගමේ අවුරුදු උත්සවේ දවස.... හරියටම කිව්වොත් අවුරුදු උත්සවේ ඉන්ටවල් එක. උදේ ඉදන් එතැන තරග කරපු අයයි, තරග බලපු අයයි, තරග බලපු අය දිහා බලන් ඉදපු අයයි ඔක්කොම දවල්ට කන්න ගෙවල්වලට ගිහිල්ල.

ගෙවල්වලට ගියොත් ආයෙ එන්ඩ වෙන්නෑ කියල දන්න හින්ද අපි සෙට් එක ගෙදර යන්නැතුව හිටියෙ බඩෙ පණුවො සමර්ස්ලෑම් රෙස්ලින් මැච් එකක් ගහද්දිමයි. මැයි දින රැස්වීමකින් පස්සෙ පිට්ටනියෙ කුණු අහුලන්න ඉතුරු වෙන කම්කරුවො ටික වගේ තව කීප දෙනෙකුත් තැන තැන ඉතුරු වෙලා හිටියා. වැදගත්ම දේ තමයි කණා මුට්ටි බිඳපු තැන ගෑනු ළමයි සෙට් එකකුත් හිටියා.

කොහොම හරි එතන හිටිය එක ගෑනු ළමයෙක් මන් දිහා බලන් හිටිය කියල මට තේරුණා. බැලුම්මහර හන්දියෙ නවත්තපු බස් එකක් අද්දනකල් සැරින් සැරේ ඔරලෝසුව දිහා බලන වැඩට යන්ඩ පරක්කු වෙච්ච මනුස්සයෙක් වගේ එයත් සැරින් සැරේ මගෙ දිහා බැලුවා. ඉතින් මාත් එයා දිහා බැලුව, හරියට නිකන් බේකර් වීදිය දිගේ ඇවිදගෙන එන සේවාදායකයෙක් දිහා ෂර්ලොක් හෝම්ස් උඩතට්ටුවෙ ජනේලෙන් බලන් ඉන්නව වගේ. ටිකකින් එයා මාත් එක්ක හිනාවුණා. ඒක හරි අමුතු හිනාවක්. හරියට හොය හොය හිටපු දෙයක් හම්බවුණා වගේ හිනාවක්. ලෝකෙ පළවෙනි කෝල් එකට වොට්සන් ආන්සර් කළහම ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්ටත් ඒ විදිහට හිනයන්නැති. මං හිතන්නෙ මාව දැක්කම එයාට හිතෙන්න ඇති එයා හොය හොය හිටපු කෙනා හම්බවුණා කියලා. ඉතින් මාත් එයත් එක්ක හිනා වුණා. ඒත් මාර සීන් එක කියන්නේ තප්පර දෙක තුනක් යනකොට මටම ෂුවර් නෑ මං එයත් එක්ක හිනා වුණාද කියල... මට හිනා වුණා කියල හිතුණට ඇත්තටම මං හිනා වෙන්ඩ නැතුවැති..... මොනා කරන්ඩද ඉතින්, මං ආයෙත් එයත් එක්ක හිනා වුණා. ඒ පාර නම් එයා හොඳටම මාත් එක්ක හිනා වුණා, හරියට නිකන් මැතිවරණෙට සති දෙකකට කලින් ඡන්ද දායකයොත් එක්ක හිනා වෙන පළාත් සභා අපේක්ෂකයෙක් වගේ.

ඊළඟට උදා වුණේ පෘථිවිය බිහිවෙලා ගත වුණු අවුරුදු බිලියන 4.5 තුළ ගෙවුණු දීර්ඝතම විනාඩි කීපය. වොයෙජර් යානාව දිගටම විශ්වය හරහා ගමන් කළා වගේ, නයගරා ඇල්ල දිගටම පහළට කඩා වැටුණා වගේ, සහරා කාන්තාරෙ දිගටම අව්වෙ වේළුණා වගේ, හීන් ඇළ දිගටම ගැලුවා වගේ (ඒක තියෙන්නෙ අපෙ ගෙවල් පල්ලෙහා), එයා දිගටම මං දිහා බැලුවා. අන්තිමට ඒ තීරණාත්මක මොහොත උදා වුණා. එයා මගෙ දිහාට ඇවිදගෙන එන්ඩ පටන් ගත්තා. එයා හිමින් හිමින් අඩිය තිබ්බෙ තණකොළ ගස්වලට රිදෙයි කියල බයෙන් වගෙ. ඒක දැක්කම මට මතක් වුණේ තුනී අයිස් තට්ටුව කොයි වෙලේ කැඩෙයිද කියල ෂුවර් නැතුව අයිස් මිදුණු විලක් උඩින් ඇවිදගෙන යන යෝධයෙක්ව. හැබැයි එයා මහත නෑ

නිසල පවන මත හිනැහි හිනැහි
පිනි මල් මතින් වඩින දෙව්ලියේ.....
රතු තඹර පෙති සුවඳ විහිදා
බිඟුන් බමනා ඈ වටින්....

එයා ටික ටික ළඟට එනකොට මගෙ හදවත ඉළ ඇට කඩාගෙන එළියට පනින්ඩ හැදුවා. මගෙ නිකටයි කම්මුල් දෙකයි අමුතු සීතලකින් ගල් වෙලා ගියා.මගෙ කකුල් දෙක මගෙ හදවතත් උස්සගෙන නැගිට්ටෙ මටත් හොරෙන්මයි. එයා මා දිහා බලාගෙනම ඉස්සරහට ආවා. එයාගෙ ඇස්වල තිබුනෙ රයිෂන්බාක් දියඇල්ල ළඟ ෂර්ලොක් හෝම්ස් තනියෙන් ඉන්නව දකිද්දි මොරියාටිගෙ ඇස්වල තිබ්බ වගේ බැල්මක්. කකුල් දෙකට වාරු අරන් මම ඉස්සරහට ඇවිදගෙන ගියෙ තල්ලු කළහම ස්ටාට් වෙන පරණ සීටීබී බස් එකක් වගේ.

අන්තිමට ගඟේ ඉවුරු දෙකෙන් හදන්ඩ පටන් ගත්ත පාලමක් ගඟ මැදදි හම්බෙනවා වගේ එයයි මමයි මූණට මූණ හම්බවුණා. එයා මගෙ ඇස් දෙක දිහා බලන් හිටියා. එයාගෙ හිතේ මට කියන්න දෙයක් තිබුණ කියල මන් එයාගෙ ඇස්වලින් දැක්ක. මං බලන් හිටියෙ එයා ඒ කතාව කියනකල්. ඒත් එයා මුකුත් නොකියා බිම බලන් හිටියා. මම උඩ බලන් හිටියා. උඩ කිව්වෙ ගොඩක් උඩ නෙමේ. එයාගෙ ඔළුවට උඩින් ඈත පේන ලිස්සන ගහේ කොඩිය දිහා මං බලන් හිටිය.

එයා දිගටම බිම බලාගෙන කකුලෙ මහපට ඇගිල්ලෙන් පොළොව හෑරුවා. එයා බිම හාරපු විදිහට එතනින් වතුර උල්පතක් මතු වෙයි කියල මට බය හිතෙද්දිම එයා කතා කරන්ඩ පටන් ගත්තා.

"ම්... මම මේක... හුඟක් වෙලා ඉඳන්.... ඔයාගෙන්..... අහන්ඩමයි හිටියෙ....."

මේ ලෝකෙ ගොඩක් රූප තියෙන්ඩ ඇති, ඒත් මන් දැක්කෙ එයාගෙ ඇස් දෙක විතරයි. ලෝකෙ ගොඩක් ශබ්ද තියෙන්ඩ ඇති, ඒත් මට ඇහුණෙ එයාගෙ කටහඬ විතරයි. එයා දිගටම කතා කළා.....

"ඔ.... ඔ.... ඔයාද.... සැඟවුණු අමුත්තා....?"

හිස් අහස, ලිස්සන ගහේ කොඩිය, බිදුණු කණා මුට්ටිය, ලෝකෙ ආපහු සාමාන්‍ය තත්වෙට පත් වුණා. මගෙ හදවත එකපාරට බිමට කඩාවැටුණෙ සංස්ථා වානෙ දාල හදපු නැති ගෙයක් කඩන්වැටෙනව වගේ. "නෑ....." මං කිව්ව, ඒත් මගෙ කටහඩ පිටට ආවෙ නෑ. "නෑ....." මං ආයෙත් කිව්ව, ඒක නම් එයාට ඇහෙන්ඩ ඇති. "නෑ... මන් නෙමේ....." මං ආයෙත් කිව්ව හයියෙන් කෑගහල. එයා මුකුත් නොවිච්ච ගානට ආපහු හැරිල ගියා, හරියට නිකන් මැරයො පනහකට විතර ගහල මුකුත් නොවිච්ච ගානට ආපහු යන දෙමළ නළුවෙක් වගේ.

මගෙ හිතේ තිබුණෙ දුකත්, සතුටත් මිශ්‍ර වෙච්ච අමුතු හැඟීමක්. හරියට නිකන් අහවලා ලකුණු බින්දුවට අවුට් උනාම දැනෙනවා වගේ හැගීමක්. ලංකාවෙ විකට් එකක් ගිය හින්ද දුකකුත් දැනුණා, ඒත් අහවලා අවුට් වුණ හින්දා සතුටුයි. මගෙ හිතේ දුකක් තිබ්බ, මොකද එයා මාව රවට්ටපු හින්දා. මගෙ හිතේ සතුටකුත් තිබ්බ, මොකද මාත් එයාව රවට්ටපු හින්දා. ඇයි කියනවනම් මම තමයි ඇත්තම "සැඟවුණු අමුත්තා."

සචින්ත නාඔටුන්න

Comments