අම්මා බලා­ගන්න සිවුරු හැර උපැ­විදි වුණා | සිළුමිණ

අම්මා බලා­ගන්න සිවුරු හැර උපැ­විදි වුණා

මෙලොව උපන් සෑම කෙනකුගේම දෛවය මේ යැයි කියා දෙන්නේ දෛවඥයා විසිනි. එහෙත් එවන් ජ්‍යෙතිශාස්ත්‍රඥයකුට වුවද තමන්ගේ දෛව රේඛාව වෙනස් කළ නොහැකිය. එය ලියැවෙන්නේද ඒ ඒ අයගේ දෛවයට අනුවය. කෑගල්ලේ අඹුවන්ගල ඉපදුණු ඔහු පැවිදි දිවියෙන් උපැවිදි වූයේ දෛවයට අනුවම විය හැකිය . තක්කාල ශාස්ත්‍රය, අනාවැකි පළකිරීම, කේන්ද්‍ර එලාඵල කථනය, ‍සෙත් කවි කලාව ආදී විවිධ පැතිකඩවලින් ජ්‍යොතිෂයේ නිමීවළලු පුඵල් කරගත් ප්‍රවීණ ජ්‍යොතිෂ විද්‍යාඥ ජයතිලක අඹුවන්ගල මෙවර දෛව රේඛාවේ කථානායකයාය. ජීවන ගමනේ අනූඑක්වැනි සැතපුමී කණුව පසුකරමින් සිටින ඔහු පංචිකාවත්ත අහයසිංහාරාමයේ රුඳීසිටිමින් තවමත් සක්‍රීයව ජ්‍යෙතිෂ කටයුතුවල යෙදෙයි.

ඔබේ පවුල් පරිසරයේ ජ්‍යොතිෂ නැඹුරුවක් තිබුණා.

‘‘මම ඉපදුණේ 1926 ජනවාරි 08දා කෑගල්ලේ අඹුවන්ගල වට්ටාරම පුරාණ විහාරස්ථානය අසල . එම විහාරයේ තමයි මෙම සසුනේ අවසන් රහතන් වහන්සේ වන මලියදේව රහතන් වහන්සේ වැඩසිටියේ.මගේ තාත්තා පුංචිරාල නැකත්රාල. ගොවිතැනට අමතරව ජ්‍යෙතිෂ වැඩ ආයුර්වේද කටයුතු සිදුකළා.ඔහු නිමිති ශාස්ත්‍රයට බොහොම ප්‍රසිද්ධයි. උදේ වරුවෙම සෙනග එනවා නිමිති බලන්න. අම්මා රන්මැණිකේ ගෘහණියක්. පවුලේ මමයි අයියයි නංගිලා දෙන්නයි. ලොකු නංගි විවාහ වී සිටියේ විලියම් සිංඤෝ කියන මන්ත්‍ර ශාස්ත්‍රඥයා සමඟ.

ඔබ කුඩාවියේදීම මහණ කරනවා

ඔවි මට කුඩා කාලේ සෙම් රෝග බහුලයි. අවුරුදු 12 වනතුරු ඇදුම රෝගය තිබුණා. ගොවිතැන් කටයුතු කරන්නත් බැරි නිසා අමිමයි තාත්තයි තීරණය කලා මාව මහණ කරන්න හොඳයි කියලා. බටුවත්තේ හැලමඩ මිශ්‍ර පාසලට ගිහින් 5 වැනි පන්තිය දක්වා ඒ වනවිට මම ඉගෙන ගෙන තිබුණා.අවුරුදු 13 දී පොල්ගහවෙල කුරුණෑගල පාරේ ඔකඳපල පුරාණ රජමහා විහාරයේ අධිපති වැලිගල්ලේ ධීරානන්ද හිමියන් අපේ ඥාතියෙක්. දෙමාපියන් කතාකරගෙන මාව 6 මාසයක් පමණ එම පන්සලේ නැවැත්තුවා. ඒ කාලේ ප්‍රත්‍ය ශතකය, ව්‍යාසකාරණ නාමාෂ්ඨක ශතකය, බුද්ද ගජ්ජය, ගණදෙවි හෑල්ල ආදී පොත් පරිශීලනය කළා. පසුව පොල්ගහවෙල ගොඩවෙල විද්‍යාර්ථෝදය පිරිවෙණේ ඉගෙනගත්තා. මම ඒ පිරිවෙ‍ණේ 7ශ්‍රේණිය දක්වා සිංහල පාලි සංස්කෘත කාව්‍ය නාටක ආදී භාෂා ශාස්ත්‍ර හැදෑරැවා. වැලිගල්ලේ ධීරානන්ද හිමියන් මගේ කේන්ද්‍රය බලලා පැවිදි කරන්න හොඳයි කියලා කීවා. 1940 අගෝස්තු 20දින අඹුවන්ගල පේමානන්ද නමින් පැවිදිකළා. මගේ ගිහිනම දෙනියේ රාළලාගේ පේමදාස. පැවිදි වුණාට පස්සේ පොල්ගහවෙල ගොඩවෙල විද්‍යාර්ථෝදය පිරිවෙණේ නායක කෙසෙල්වතු ශ්‍රී රතනජෝති හිමියන්ගෙන් අවුරැදු 7ක් සිංහල පාලි සංස්කෘත කාව්‍ය ශාස්ත්‍ර ජ්‍යෙතිෂය ඉගෙන ගත්තා. පුංචිකාලෙදි මං හරි දඟයි.පැවිදි වෙලත් ඒ දඟකාරකම් තිබුණා. වැලිගල්ලේ සුමන හාමුදුරුවෝ මගේ සමකාලීනයෙක්.

ඒ කාලේ මට රාහුගේ දශාවේ බලපෑම දිගටම තිබුණු නිසා හිතට කිසිම සහනයක් නෑ. දිගටම ඇවිද්දවනවා. නැවතත් මා පොල්ගහවෙල පන්සලට ආවා එතනත් අවුල් වියවුල්. පසුව වට්ටාරම ශ්‍රී මලියදේව අරහත්ත රජමහා විහාරයට ආවා පීනසට බෙහෙත් ගන්නත් එක්ක. පීනසට බෙහෙත් කරන දක්ෂ වෛද්‍යවරයෙක් එහි සිටියා. වට්ටාරම අධිපති හපුගොඩ ශ්‍රී සිද්ධාර්ථ ගල්ලෑල්ලේ නන්දසාර යන ශීලවන්ත ශික්ෂාකාමී උගත් හිමිවරු යටතේ කාලය ගතකළා.

පියාගෙන් ජ්‍යොතිෂය ඉගෙනගත්තේ පැවිදිවියේ සිටියදීමයි.

මා වැඩසිටි අරහත්ත මලියදේව පුරාණ විහාරස්ථානයට අයත් දායක ගමක් තමයි අඹුවන්ගල. තාත්තා මට පන්සලට ඇවිත් ජ්‍යොතිෂය ඉගැන්නුවා. ජ්‍යොතිෂය දන්නා යක්කල ආයුර්වේද විද්‍යාලයේ වෛද්‍යවරයෙක් ගෙන්ද ඉගෙනගත්තා. ගමේ සම්බන්ධතාවය වැඩිවුණා. මට එතකොට අවු.30 ගණනක්. තාත්තා අවු. 60 න් මියගියා.ගෙදර හිටියේ අම්මයි අයියයි

පමණයි. නංගිලා දීග ගිහින්. අම්මා බලාගන්නයි ගෙදර දොර කටයුතුවලටයි. මම සිවුරු ඇරියා . අම්මගේ අකැමැත්තක් තිබුණෙත් නෑ මම සිවුරු අරිනවට.

ඔබගේ හඳහනේ මේ බව සඳහන් වෙනවාද?

මගේ හඳහන ගිහි පැවිදි කීප දෙනකු අතින්ම පරීක්ෂාවට ලක්වෙලා තියනවා. දෙමව්පියන් බාල කාලෙ හඳහන හදලා තිබුනට ඵලාඵල ලියලා තිබුණෙ නෑ. 1940 ගණන්වල මගේ යාළුවෙක් හිටියා මාවනැල්ලේ වැලිගල්ලේ . ඔහු මගේ කේන්ද්‍රය බලලා අනාගතය හොඳයි කීවා. පැවිදි කමේ දිගටම රැඳෙන්නෙ නෑ කියලා එක් ජ්‍යෙතිෂඥයෙක් කීවා.

එස්. ඩබ්. කස්තුරිරත්න මහතාත් අනාවැකි කීවා. පොතුගොඩ චන්ද්‍රසේල පිරිවෙනේ අධිපති අහුගොඩ ශ්‍රී ශීලානන්ද නායක හිමියන් කේන්ද්‍රය බලලා හොඳට ඉගෙනගන්න හැකි දක්ෂයෙක් බව ප්‍රකාශ කළා. පැවිදි දිවියට මගේ මනාපයක් තිබුණු නිසයි මහනවුණේ. ඒත් එක්කම මගේ හඳහන මා විසින්ම නිරීක්ෂණය කර බලද්දී පැවිදි ජීවිතයට වඩා ලෞකික ජීවිතයෙන් මා හට ඉදිරියට යා හැකි බව වැටහුණා. කරුණු කාරනා යෙදුණා. සිවුරු අත්හැරලා මම දෙනියේ රාලලාගේ ජයතිලක අඹුවන්ගල කියලා නමත් වෙනස්කරගත්තා. ප්‍රසිද්ධ නමක් ඇතිවන බව මගේ හඳහනට අනුව මම ම දැනගත්තා. අවුරුදු 40 තමයි ඒ. පැවිදි වෙලා ඉන්න කාලයේ ලංකාවේ සෑම තැනම සංචාරය කළා. මට ලබා තිබුණේ රාහුගේ මහ දශාවයි. කොළඹීන් පටන්ගත්තාම ගාල්ල මාතර බෙන්තර තිස්සමහාරාමය ආදී සියලුම පන්සල්වල ඇවිද්දා. ලංකාවේ සෑම වැදගත් සම්භාවනීය උතුමන් සිටි සිද්ධස්ථාන නරඹමින් සංචාරය කළා. මට පෙනීගියා රාහුගේ මහදශාව ප්‍රධාන ලෙස බලපා ඇතිබව. ඔහොම යද්දි ඔකඳපල තමයි මගේ මධ්‍යස්ථානය වුණේ. තිරුක්තියාලංකාර පිරිවෙණ කොල්ලුරේ රජමහා විහාරය දෙනගම පිරිවෙණ ගොඩවෙල විද්‍යාර් ථෝදය පිරිවෙණ පොතුහැර චන්ද්‍ර සේල පිරිවෙණ ආශ්‍රය කළා. 1966 වසරේ මම උපැවිදි වෙලා යක්කල ආයුර්වේදයට බැඳුණා . වෙදකම ඉගෙනගන්න. ඒ කාලයේ මාවනැල්ලේ ගුණතිලක වෙදමහතා හිතවත්ව හිටියා. ඒ අතර ජ්‍යෝතිෂ ලිපි ලියන්න ගත්තා ඉරණම පත්තරයට . ග්‍රහ ශාන්ති හා බෝධිපූජා කියා පොතක් ලීවා.

පුවත්පත් කලාවට යොමුවුණේ දෛවෝපගතව වෙන්න ඇති.

දවස පත්තරයේ හනන් කියන මහත්මයා තමයි මට දවසට ජ්‍යොතිෂ ලිපි ලියන්න ආරාධනා කළේ. ඒ කාළේ ඉරණම පුවත්පතේ කර්තෘ සුමනදාස සමරසිංහ මහතාගේ ආරාධනයෙන්. ඉන්පසු සුබසෙත පුවත්පත ඇරඹුවේ 1969 විජයසිරි විද්‍යාරත්න ජ්‍යෝතිෂවේදියාගේ කර්තෘත්වයෙන් . සුමනදාස සමරසිංහ කර්තෘ වුණාට පස්සෙ මම උපකර්තෘ වුණා. 1970 මා සුබසෙත කර්තෘ වුණා. 1977දි මා විශ්‍රාම ගියා.

ජීවිතයට ඉරණම්කාරිය හමුවුණේ

ඉරණම පුවත්පතේ වැඩකළ ප්‍රේමදාස නිට්ටඹුවේ. ඔහුතමයි යෝජනාව ගෙනාවෙ . මමත් ගෙයක් දොරක් තියන උගත් වැදගත් කෙනෙක් සොයමින් හිටියේ. ඊට කලින් පෙම් සබඳතාවයකින් සිත බිඳිලා තිබුණේ. පසුව 1966 දි එල්. ගුණවතී සමඟ විවාහ වුණා. මට දරුවෝ හතරදෙනයි. ලොකු පුතා චන්දන ජයම්පතී. දුව චම්පිකා අඹුවන්ගල. සුබසෙත කර්තෘවරියක්. චමින්ද සංජීව ජ්‍යෙතිෂයට සම්බන්ධවී පංචිකාවත්ත අභයසිංහාරාමයේ මට උදව්කරනවා. අභයසිංහාරාමයේ හිමිවරුන් අපට සහාය දෙනවා. බාල පුත් සමන් නයනප්‍රිය කාර්මික ශිල්පියෙක්.

ප්‍රවීණ දෛවඥයෙක් ලෙසින් ඔබ ගැඹුරු පර්යේෂණවල නිරතවුණා. ඔබගේ දෛව රේඛාව ඔබට අනුව විවරණය කරනවානම්

හඳහන් සෑදීම හා පරීක්ෂාව පොරොන්දම් ගැලපීම අනාවැකි කීම තක්කාල කේන්ද්‍ර හා නිමිති සෑදීම මරණින් පසු උපත යන අංශ පිළිබඳ පරීක්ෂණ පැවැත්තුවා. කෙනෙකු මියගිය වෙලාවට අනුව සූර්ය කේන්ද්‍රය චන්ද්‍ර කේන්ද්‍රය සකසා මරණින් පසු ඔහුගේ චුති චිත්තය අනුව ඊළඟ භවය ගැන යමක් කිවහැකිය. මම තව ටික කාලයක් ජීවත් වෙනවා. මරණින් පසුව මා සුගතිගාමී වන බව නමී මම දන්නවා. මට දැනෙනවා. 

Comments