ඇස්වල කඳුළු නෙමේ මගේ හිතේ කඳුළු ගැන හිතන්න | සිළුමිණ

ඇස්වල කඳුළු නෙමේ මගේ හිතේ කඳුළු ගැන හිතන්න

 විසිතුරු මල් ප්‍රදර්ශනයෙන් ප්‍රියදෝණි විඳි සතුට තමාට නොරිස්සුමක් වූයේ මන්දැයි නරේන්ද්‍ර සිතන්නට විය. එය අද පවා වටහා ගත නොහැකි ක්‍රෑර ගැටලුවක්ව පැවතීම දරා ගැනීමද අපහසුය.

ප්‍රදර්ශන භූමිය ඉදිරිපිට වාහනය නැවතූ වහාම මඟ බලමින් සිටි සංවිධායකයෝ ඔවුන් වෙත ළං වූහ.

ප්‍රියදෝණි දුටු ප්‍රධාන සංවිධායකවරයා ඇය හඳුනා ගත්තද මවිතය දෙනෙතින් පළ කර සිටියේ ඇයගේ පැමිණීමක් බලාපොරොත්තු නොවූ නිසා බව නරේන්ද්‍රට වැටහිණ.

“සර් සමාවෙන්න. තත්පරයක් මෙතනම ඉන්න.”

කී ඔහු නුදුරේ වූ තාවකාලික කාර්යාලයට ගොස් ආපසු පැමිණියේ මල් කලඹක් අත ඇති සුන්දර දැරියකද සමඟය.

දැරිය මල් කලඹ ප්‍රියදෝණි අතට පිරිනැමුවේ සිනාමල් උතුරුවමිනි. අනතුරුව රැස්ව සිටි කාන්තාවන් ප්‍රියදෝණි පිළිගනු ලැබුවේ හාදු පුදමිනි.

“ඔබතුමිය එනවා කියලා අපි දන්නෙ නැහැනෙ.”

කාන්තාවක කීවේ නරේන්ද්‍ර දෙසද හොඳින් බලන අතරය.

“මේ මැතිනියත් ප්‍රදර්ශනේ බලන්න එනවා කිව්ව ම මං එයාට ලිෆ්ට් එකක් දුන්නා.”

ඇගේ පැමිණීම විශේෂ සැලකිල්ලකට ලක් නොවීම, ගැටලුවක් මදි පුංචිකමක් නොවේ යැයි හඟවන්නට නරේන්ද්‍ර ගත් උත්සාහය සාර්ථක වූයේ නැත.

මේ වන විට මන්ත්‍රිවරයා සහ සරසවි ආචාර්යවරිය අතර විශේෂ ළෙන්ගතුකමක් වර්ධනය වෙමින් පවතින පුවත සමනල වෙසක් ගෙන ජන ඇසට ලක්වෙන්නේ යැයි නරේන්ද්‍රට අසන්නට ලැබී තිබිණි. එය ජනගත කළ යුතු පුවතක් හෝ සබැඳියාවක් නොවේ යැයි තම සිත තුළ නිරතුරුවම පහළ වන සිතුවිල්ල වංචාකාර ද සාධාරණ ද යන්න ඔහුට අලුත් ප්‍රශ්නයක් විය.

ප්‍රියදෝණි මල් කලඹ අත ඇතිව කාන්තා ගෞරවයට ලක් වෙමින් සිටි ඒ අවස්ථාවේ වරින් වර තමා දෙස බලන විට වහා මුහුණ ඉවතට හරවා ගන්නට ඔහුට හැකි විය.

ඉන් පසු ඔහු කැඳවා ගෙන යනු ලැබුවේ ප්‍රදර්ශනය විවෘත කිරීමට නියමිත පීත්ත පටිය කැපීමටය. අඟලක් පමණ පළලැති පීත්ත පටිය කුඩා මල් කිනිතිවලින් සරසා තිබුණේ “ආයුබෝවන්” වදන ඉස්මතු කරමිනි.

ප්‍රධාන සංවිධායකවරයා ප්‍රියදෝණි පෙරටු කර ගෙන එතැනට ළං වන විට නරේන්ද්‍ර සිටියේ රිදී පැහැති බන්දේසියක මත වූ රන්පැහැති අඬු සහිත කතුර අතට ගනිමිනි.

“මැඩම් ඔබතුමියත් මෙතෙන්ට එන්න.”

ප්‍රධාන සංවිධායකවරයා ප්‍රියදෝණිට ආරාධනා කරනු නරෙන්ද්‍රට ඇසිණි.

“මං ආරාධිත අමුත්තෙක් නෙමේ නේද? ආරාධිත අය ඉස්සරහට ගන්න.”

ඇය කියනවාද ඔහුට ඇසුණේය.

“ඔබතුමිය කොහොමටත් අපිට අමුත්තෙක් නෙමේ. රටට අවශ්‍ය කෙනෙක්. අපට අවශ්‍ය කෙනෙක්. ඔබතුමියගේ පැමීණීම අපට ගෞරවයක්.”

පීත්ත පටිය කපා ප්‍රදර්ශනය විවෘත කිරීමට පෙර තමා සමඟ පැමිණි ගැහැනිය පිළිගැනීම සඳහා පිළිගැනීමේ කතාව පවත්වන්නේ දැයි සංවිධායකවරයාගෙන් ඇසීමට නරේන්ද්‍රට සිතිණි.

අත්පොළසන් හඬ මැද ප්‍රදර්ශනය විවෘත කළ තමා ඉන් පසු හෝරාවකට අධික කාලයක් පුරා භූමියෙහි සැරි සැරුවද තමා සමඟ පැමිණි ගැහැනියි පිළිබඳ සැලකිල්ලක් නොදැක්වූයේ මන්දැයි නරේන්ද්‍ර සිතුවේ ආපසු එන විටය.

මල් සංගමයේ සංවිධායකවරයා ප්‍රියදෝණිට තුරුලතා අසිරිය විස්තර කරමින් භූමියේ කොටසින් කොටසට කැඳවා ගෙන යන අතර වුවද ඇ‍ගේ බැල්ම තමා අවට ම සැරිසරනු නරේන්ද්‍ර දුටුවේය.

“මල් සභාපති නෙමේ මහා බ්‍රහ්මයා එක්ක හිටියත් ඔයාට බැලෙන්නෙ මං දිහා තමා.”

ඔහු සිතුවේ ආඩම්බරයනි. මුළු ප්‍රදර්ශන භූමියම නැරඹූ ඔහු අවසානයේ තාවකාලිකව සාදා තිබූ කාර්යාලයට ආවේය. කාර්යාලය ද මලින් සරසා තිබිණි. එහිදී ඔහුට සිසිල්බීම වීදුරුවක් පිළිගැන්වූයේ රූමත් මල් තරුණියක විසිනි.

“අපිත් ඔබතුමාට ඡන්දයක් දීලා තියෙනවා.”

ඇය කීවාය. ඇයගේ ඍජු කතා බහ ඇය සමාජශීලී තරුණියක යැයි සන්නිවේදනය කරන්නක් විය.

“බොහොම ස්තුතියි. හැමදාම මට ම ඡන්දෙ දෙන්න.”

“එතකොට ඔය අයියා අපිට මොනවද දෙන්නෙ?”

“මොනවද ඕන? කියන්න මොනවද ඕන?”

“රක්ෂාවක්”

“හරි සුදුසුකම් එක්ක ඉල්ලුම් පත්‍රයක් හදාගෙන එන්න. හැබැයි සුදුසුකම්වලට අනුවයි රක්ෂාවක් දෙන්නෙ.”

“ඔයත් එක්ක ආව මිස් කවුද? බඳින්න ඉනන මැඩම් ද? අපි එයා ගැන අහලා තියෙනවා.”

එසේ ඇසූ තරුණිය දෙස තමා බැලුවේ සමච්චල් සිනාවක් මුහුණේ ඇතිව බව නරේන්ද්‍රගේ මතකයට නැඟිණි.

“මං මේ නංගිට සුදුසු රක්ෂාව මොකක්ද කියලා දැන්ම තීරණයක් ගත්තා”‍

“නැහ්. මොකක්ද? හැබැයි හොඳ සැලරි එකකුත් ඕන.”

“හරි. හරි. තමන්ගෙ දක්ෂකමේ හැටියට සල්ලි ගලා ගෙන එයි.”

“මොකක්ද රක්ෂාව?”

“මඟුල් කපුකම. මේ ටිකට මටත් මඟුලක් ජෝඩු කළානෙ.”

තරුණියගේ මුහුණ ලජ්ජාවෙන් හැකිළිණි. ඔහු ඇය දෙස බැලුවේ නොහොබිනා කතා නොකියන්නැයි තරවටු කරන දෙනෙතිනි.

“දැන් ගිහින් හොඳ ළමයා වගේ මාත් එක්ක ආපු මිස්ව හොයා ගෙන එන්නකො. මමයි එයාව එක්ක ආවෙ. එයාව එක්ක යන වගකීමත් මගෙ.”

පණිවිඩය ලත් සැණින් ප්‍රියදෝණි ඔහු වෙත ආවාය. බියකින් හෝ ශෝකයකින් අවුල්ව ගිය සොබාවක් ඇගේ මුහුණේ විය.

“අද යන්නෙ නැද්ද? මට තව වැඩ දෙක තුනක් ම තියෙනවා.”

ඔහු ඇසුවේ කීවේ නුරුස්නා හඬකිනි. ඇය වට පිට ඈත මෑත බැලුවාය. කිසිවෙකුට ඔහුගේ නොරුස්නාව වැටහී නැතැයි ඇය සිතන්නට ඇත.

නරේන්ද්‍ර මිලට ගත් හෝ තෑගි ලෙස ලත් මල් භාජන මල් පෝච්චි සමූහයක් අත් කරත්තයක පටවා ගත් මල් කොල්ලෙක් ඔහු ඉදිරියට ආවේ ඒවා ජීප් රථයට දමන්නදැයි අසා ගෙනය.

“එපා. එපා. ඕවා ජිෆ් එකට පටවන්න බැහැ මලයා. පැත්තකින් තියන්න. මං තව ටිකකින් ට්‍රැක්ටරයක් එවන්නම්.”

“සර් ට්‍රැක්ටරයක් එවන්න එපා. මගේ ට්‍රැක්ටරයක් තියෙනවා. තව ටිකකින් මං ගෙදරට ගෙනත් දෙන්නම්.”

මල් කොල්ලා පොරොන්දු විය. ඔව්හු ආපසු ගමන ඇරඹූහ. ප්‍රියදෝණි දැඩි නිහඬ බවක ගිලී සිටියාය. තමා ඇය කෙරෙහි දැක්වූ නොසැලකිල්ල ඇයට දුක් දෙනා සිදුවීමක්ව ඇති සැටි ඔහුට පසක් විය.

“මොකද මේ ළමයා බුම්මන් ඉන්නෙ?”

ඔහු ඇසුවේ තරහක් මවා ගනිමිනි. ඇය වරක් ඔහු දෙස බලා රථයෙන් පිටතට මුහුණ හරවා ගත්තාය.

“දේශපාලනඥයෙකුට බැහැ ඔය වගෙ තැනකදි කාගෙවත් පෞද්ගලික වස්තුවක් වෙන්න... ඒක තේරුම් ගන්න.”

ඇය නිහඬව සිටියාය.

“දැන් ඉතින් ඔයාට බැහැනෙ මට යක්ෂයෙක් කියලා බණින්නත්. ඒක හින්දා සතුටෙන් කතා කරන්න. ඔයා‍ෙග ගොළු මූණ දැක්කම මට කේන්ති යනවා.”

“නරේන්, මොකටද ඔයා මේ කරුමෙට මාව ඇදගෙන ආවෙ?”

ඇය ඇසුවේ කෝපයෙන් නොවේ. ශෝකයෙනි. එහෙත් ඒ ශෝකී ස්වරය ඔහු තැති ගන්වන්නක් විය.

“කරුමෙට? මොකක්ද කරුමෙ? ඔයා මල් දැකලා සතුටු වුණේ නැද්ද?”

“මල් දැකලා සතුටු වෙන්නෙ කොහොමද? නෝනලා ‍තුන් හතර දෙනෙක් ඔයා ගැන කිය කියා හිනාවෙන හැටි දැක්කම මට ලජ්ජා හිතුණා.”

“ළමයො එයාල ඇඬුවා නම් තමා නරක. හිනාවෙලා තියෙන්නෙ සතුටට. සමහර විට ඒ අය මං ගැන හොඳට දන්නවා ඇති?”‍‍

ඔහු කීවේ ප්‍රශ්නාර්ථයෙනි. එවිට ඇය තමා වෙත හෙළූ දුක්ඛිත අසරණ බැල්ම තුළ වඩාත් ගැඹුරෙන් නිධන්ගතව තිබුණේ ලජ්ජාව නොවේද?

“ඔව්. ඒ අය ඔයාව හොඳට ම දන්නවා. මොකක්ද අන්තඃපුර කතාවකුත් කිව්වා.”

“මං මගේ අන්තඃපුරය විසුරුවා හැරියට උන්ට ඊර්ෂ්‍යා ඇති.”

“මට ඒ ඊර්ෂ්‍යා කතාවලින් වැඩක් නැහැ නරේන්. මට දුක ඇයි ඔයා ඔය තරම් හැංගි හැංගි මාව මේ ගමනට ගෙනාවෙ. මාත් එක්ක ඉන්න ලජ්ජා නම් ඇයි මෙහෙම ගමනකට මාව අරන් ආවෙ? ඒ ගෑනුත් මං දිහා බල බලා මොනවදෝ කියෙව්වා. මට තියෙන්නෙ ලජ්ජා සහගත නමක් නෙමේ නරේන්. කාට වුණත් මං එක්ක පාරෙ යන්න බැරිකමක් නැහැ.”

“ඔයාට අද තේරුණානෙ? මට තියෙන්නෙ කැත ලජ්ජා සහගත නමක්. මින් පස්සෙ මාත් එක්ක කොහෙවත් යන්න එන්න එපා. ඒක ඔයාට මදිකමක්.”

තමා ඇයට කළේ තර්ජනයකි. ඒ තර්ජනය තුළ ඇය යළිත් ගොළුව ගියාය. බොහෝ දුරක් එනතුරු ඔවුනතර පැවතුණේ නිහඬකමක් පමණි. තමා ඇය නොතකා හැරියේ දන්නා හඳුනන අයගේ සමච්චලයට ඇය ලක් වනු වැළැක්වීමට යැයි බොරු බස් කීමට ද නුපුළුවන.

මල් ප්‍රදර්ශනය තුළ සිටි එක් මල්ගැහැනියක සමඟ තමා පැවති සමීප ඇසුර බිඳ දමා සිතින් පලවා හැර දසකයකට වැඩි වුණත් තවමත් ඇය තමාට දුරකථන ඇමතුම් දෙන බව රහසක්ව පවතී.

“මං ලොකු මෝඩකමක් කර ගත්තෙ. ඔයාගෙ අත අල්ලගෙනයි මට ඇවිදින්න තිබුණෙ. නිදහසේ බලලා ආපුවාවෙ කියලයි මං හිතුවෙ. ඒකෙන් වුණ් නරක විදිහට මං ගැන ඕපාදූප කුණු කතා කිව්ව ගෑනු ඔයාගෙ මිතුරියො වෙලා, මං හතුරෙක් වුණ එක. චිහ් විතරක්. මේ වගේ අමන ගෑනු. මොකවත් නෙමේ ඊර්ෂ්‍යාව. පැහැදිලිවම ඊර්ෂ්‍යාව.”

“ගෑනු මොකටද මට ඊර්ෂ්‍යා කරන්නෙ නරේන්?”

“ඒක මගෙන් නෙමේ උන්ගෙන් අහන්න ඕන. හැබැයි මං අනුමාන කරන එක හේතුවක් තියෙනවා කියන්නද?”

ඇය කියන්නැයි කීවේ දෙනෙතිනි.

“ප්‍රියදෝණි මගෙ අතීතය ගැන ඔයා හිතන්න එපා. මගේ දැන් ජීවිතේට ඔයා මට යම් ශක්තියක් වගේ ම සතුටක්. ඔයා මගේ ජීවිතයට ඇවිත් මගේ අන්තඃපුරරේ උස්සලා පොළොවෙ ගැහුවා. උපාසකකම් පෙන්නුවට සමහර ගෑනු හරි දුෂ්ටයි.”

“ඔයා කියන්නෙ මං දුෂ්ටයි කියල ද?”

ඇය ඇසුවේ වඩාත් වේදනාබර හඬකිනි. තමා එවිට ඇගේ මුහුණ බැලුවේ නිතැතින් ම හදවතින් මතුව ආ ශෝකයක් දෙනෙතේ තවරා ගෙන යයි නොසිතා සිටීමට තමා අපොහොසත් වීම අරුමයක් ද නොවේ.

“ප්‍රියදෝණි, ඇත්තට ම මං කැමතියි ඔයා ටිකක් නපුරු වෙනවා නම්, ඊර්ෂ්‍යා සහගත වෙනවා නම්. කේන්ති ගන්නවා නම්. මොකද දන්නවද එතකොටයි ජීවත් වෙනවා කියලා දැනෙන්නෙ. ජීවිතය කියන්නෙ ගල් පිළිමයක් නෙමේ. සජීවී සිතුම් පැතුම් සංසිද්ධීන් ජීවිතයට තියෙන්න ඕන. ජීවිතය චලනය වෙන්න ඕන.”

“නපුරුකම් කරන්න බැහැ මට.”

“එහෙම නම් ඉතින් මේ වගෙ පුංචි දේවල් වලිනුත් ඔයාගෙ හිතට ලොකු වේදනාවක් දැනේවි. මට ඒකට කරන්න දෙයක් නැහැ ළමයා. ජීවිතය කියන්නෙ ධවල වර්ණ ආලේපිත චිත්‍රයක් නෙමේ. ඒක තේරුම් නොගන්න තාක් කල් ඔයාගෙ ඇස්වල කඳුළු වස්තුවේ.”

“නරේන්, අනේ මගෙ ඇස්වල කඳුළු ගැන නෙමේ හිතේ කඳුළු ගැන හිතන්න.”

ප්‍රියදෝණියගේ ඉල්ලීමට තමා මොහොතක අවධානයක් සැලකිල්ලක් යොමු නොකිරීම තුළ, ඇය කොතරම් නම් දුකට පත්ව වේදනා විඳින්නට ඇද්දැයි වැටහෙන විට සිතන විට, ඇය තම ජීවිතයෙන් ගිලිහී ගිය හුදකලා තරුවක් වී අවසානය.

“අශ්වයා පැනලා ගියාට පස්සෙ ඉස්තාලෙ වහලා වැඩක් නැහැ.”

ඔහු ගැන හොඳින් දන්නා මිතුරෙක් ඔහුට සරදම් කළේ උපහාසයෙනි. 

 

Comments