දිරන පොලිතීන් නිපැයුම හා ඩෙංගු මර්දනයේ අලුත් පියවර | සිළුමිණ

දිරන පොලිතීන් නිපැයුම හා ඩෙංගු මර්දනයේ අලුත් පියවර

 ඩෙංගු රෝගයත් පොලිතීන් තහනමත් මේ වකවානුවේ පරිසර සංරක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රබල මාතෘකා දෙකක් බවට පත්ව තිබේ. තුනී පොලිතීන්, සිලිසිලි මලු හා ලන්ච්ෂීට් තහනම පිළිබඳව මෙරට පරිසර සංවිධාන හා පරිසර විද්‍යාඥයෝ රජය වෙත සිය ප්‍රසාදය පළ කර සිටිති.

වසරකට රුපියල් කෝටි 2000ක් වැය කරමින් මෙරටට පොලිතීන් මූලද්‍රව්‍ය ගෙන්වීමද මින් වැළැක්වෙන අතර, රටේ පරිසරයද සුපිරිසුදු වෙයි.

අද අපේ රටේ ප්‍රබලතම පරිසර හා සෞඛ්‍ය ප්‍රශ්නයක් වන ඩෙංගු රෝගය මර්දනය සඳහා ත්‍රිවිධ හමුදාවද සිවිල් ආරක්ෂක බළකායත් උදවු දීමට කටයුතු කිරීමද ඉතා සතුටුදායක කරුණකි.

අද අපේ ර‍ෙට් සමහර ඩෙංගු බෝ කරන ස්ථානවලට ඇතුළු වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ටත් නොහැකිය. ගේට්ටු වසා ඉබියතුරු දමා ඇති ස්ථානවලට ඇතුළු වී ඩෙංගු පරීක්ෂා කිරීමට ආරක්ෂක හමුදාවට හැකිය.

මේ තත්ත්වය යටතේ දැනටමත් ආරක්ෂක හමුදා හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ජූනි 1 වැනිදා සිට සුවිශේෂ ඩෙංගු මර්දන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරයි. ඒ අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව භටයන් 4895ක්ද ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතින් භටපිරිස් 2429ක්ද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ භට පිරිස් 2631ක්ද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් සිවිල් ආරක්ෂක භටයන් 2204ක්ද දැන් ඩෙංගු මර්දනයට එක්වී සිටිති. මීගමුව මූලික රෝහලේ හා අයිඩීඑච් රෝහලටද භටපිරිස් යොදවා ඩෙංගු රෝගීන්ට ඉක්මනින් සුවය ලබාදීමට කටයුතු යොදා තිබේ.

මේ වන විට ජනාධිපතිතුමා ඩෙංගු මර්දනයට දැඩි අවධානයක් යොමු කරයි. ඒ අනුව ඩෙංගු වැඩි වීමට ප්‍රධාන හේතුවක් වන කුණුකසළ ගැටලුවටද දැන් රජය විසඳුම් ඉදිරිපත් කර ඇත.

එසේ වුවත් අද පළාත් පාලන ආයතවලට කුණු දැමීමට ස්ථාන නොමැත. මුතුරාජවෙලට කුණු දැමීමට එපායයි උසාවි නියෝගයක් ඇත. කරදියානට කුණු දැම්මොත් ගේට්ටුව අසල නිදා ගන්නා බව බස්නාහිර මහ ඇමැතිතුමා පවසා ඇත.

ඊට අමතරව විවිධ පාරිසරික හා මහජන සංවිධාන කුණු කසළ ගැටලුවට දෙන විසඳුම්වලට සහයෝගය දැක්වීම අඩුය. ඒත් අපේ රටේ කසළ ගැටලුව විසඳීමට සියලු දෙනාගේ සහයෝගය අත්‍යවශ්‍ය වේ. ජනාධිපතිතුමා මෑතකදී පැවසුවේ මෙරට කිසිම රජයකින් කසළ සඳහා ස්ථිර විද්‍යාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවූයේ නැති බවයි. ඒ වෙනුවට රජය යෝජනා කරන වැඩපිළිවෙළට රජයේ සමහර ඇමැතිවරු පවා විරුද්ධ වන බවද ජනාධිපති තුමා පවසා ඇත.

මේ අතර ‍මේ කුණුකසළ ගැටලුව පිටුපස ජාවාරම්කාර කුණුවලින් සල්ලි හම්බු කරන පාතාල පිරිසක්ද සිටින බව ජනාධිපතිතුමා පසුගියදා පැවැති පළාත් පාලන ප්‍රධානීන්ගේ සාකච්ඡාවේදී පෙන්වා දී ති‍ෙබ්.

කුණුකසළ ගෙන ඒම පිළිබඳ විරෝධතා දක්වන අය ඒ කුණුකසළ දැමීමට විකල්ප ස්ථාන පෙන්වන්නේ නැත. ඕනෑම ගැටලුවකට විසඳුම් හා විකල්ප තිබිය යුතුය. එහෙත් කොළඹ කුණු අපට එපායැයි කියූ පමණින් ගැටලුවට විසඳුම් ලැබෙන්නේ නැත.

අපේ රටේ දිනකට සෑම පුද්ගලයකුම දිනකට අපද්‍රව්‍ය ග්රෑම් 1000-800ක් අතර ප්‍රමාණයක් කුණු කසළ ගොඩවලට එක් කරන බව මේ පිළිබඳව පර්යේෂණ කළ විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. මේ කුණුකසළවලින් සියයට 15ක්ම ‍පොලිතීන්ය. මේ ගැටලුවට විසඳුමක් ලෙස තුනී පොලිතීන් තහනම් කිරීමටත් සිලිසිලි බෑග් හා ලන්ච්ෂීට් සැප්තැම්බර් 1 සිට තහනම් කිරීමටත් රජය තීරණය කර ඇත. ඒ කටයුත්ත මෙරට විශාලතම පරිසර ගැටලුවකට පිළියම් සොයන ඉතා වැදගත් පියවරකි.

අද රටේ ජනතාව දිනකට සිලිසිලි බෑග් ලක්ෂ 150ක්, ලන්ච්ෂීට් ලක්ෂ 200ක් සමඟ පාවිච්චි කරති. ඉන් 99%ක්ම කුණුකසළ ගොඩවලට එකතු වේ. ඒ කෙසේ වෙතත් මේ සිලිසිලි බෑග් හා ලන්ච්ෂීට් තහනම නිසා ජනතාව ඉතා අපහසුතාවට ලක් වීමද අවම කිරීම රජයේ යුතුකමකි.

මේ සඳහා දිරන පොලිතීන් ලන්ච්ෂීට් හා සිලිසිලි බෑග් හඳුන්වා දෙන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ඒත් පොලිතීන් කර්මාන්තකරුවන් පරිසරයේ ජෛව හායනයට ලක් වන නැත් නම් දිරායන පොලිතීන් හඳුන්වා දුන් විට ඒවාට ජනතාවට වැඩි වියදමක් දැරීමට සිදු වන බවයි.

එවින්කෝ පොලිතීන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි තිලාන් සමරවික්‍රම මහතා අප සමඟ පැපසුවේ මේ අයුරින් දිරායන පොලිතීන් නිපදවන්ට ක්‍රම දෙකක් ඇති බවයි. ඒ අනුව පොලිතීන් කර්මාන්ත ශාලාවල දැනට තිබෙන යන්ත්‍රවලට තවත් සුවිශේෂ රසායනික ද්‍රව්‍යයක් මූලද්‍රව්‍ය ලෙස එක් කරමින් පොලිතීන් නිපදවීමේ ක්‍රමයක්ද පවතී. මේ පොලිතීන් මාස 6ක් ඇතුළත හිරු එළිය හා ඔක්සිජන් අනු මඟින් දිරාපත් වේ. එහි නිෂ්පාදන වියදම දැන් තිබෙන සිලිසිලි මලු හා ලන්ච්ෂීට්වලට වඩා වැඩි වන්නේ සියයට 25ක් පමණක් බව පොලිතීන් නිෂ්පාදකයෝ පෙන්වා දෙති.

මේ අයුරින් අඩු නිෂ්පාදන වියදමකට අඩු මුදලකට මහජනතාවට දිරන පොලිතීන් ලබාදීමේ ක්‍රමය විද්‍යාත්මක ලෙස හඳුන්වන්නේ ‘ඔක්සො බයෝ ඩිග්රේටබල් පොලිතීන්’ යනුවෙනි. මේ ක්‍රමයෙහි සිදු වන්නේ මේ පොලිතීන් පරිසරයට දැමූ විට සිදු වන්නේ වාතයේ ඇති ඔක්සිජන් හා හිරුකිරණ මඟින් ඒවා දිරාපත් වන බවයි. මේ ක්‍රමය වියදම් අඩුය; කර්මාන්තකරුවන්ට පරිභෝජකයන්ට ලාභදායකය. මේ පොලිතීන් තහනමටත් හොඳ විකල්පයකි.

තිලාන් සමරවික්‍රම මහතා පවසන පරිදි දිරන පොලිතීන් නිපදවන තවත් ක්‍රමයක්ද තිබේ. ඒ ක්‍රමය විද්‍යාත්මකව සිදු වන්නේ ‘හයිඩ්රො බයෝ ඩිග්රේටබල් හෙවත් කොම්පෝස්ටබල් ක්‍රමයයි. මෙම ක්‍රමයේදී දිරන පොලිතීන් නිපදවීමට අප රටේ දැනට තිබෙන පොලිතීන් යන්ත්‍රවලින් අපහසුය. එමෙන්ම මේ අයුරින් දිරන පොලිතීන් නිපදවූ විට එහි නිෂ්පාදන වියදම් හතර ගුණයකින් වැඩි වේ. ඒ අනුව මේ ක්‍රමදෙකින් අපේ රටට වඩාත් සුදුසු ඔක්සිජන් හා හිරුඑළියෙන් පොලිතීන් දිරා යන ‘ඔක්සෝ’ ක්‍රමය බව පොලිතීන් නිෂ්පාදකයෝ පෙන්වා දෙති. එක්සත් අරාබි එමීර් රාජ්‍යය මැලේසියාව, පකිස්තානය ඇතුළු රටවල් 18ක් මේ ක්‍රමයෙන් ඉතා සාර්ථකව දිරන පොලිතීන් නිපදවයි. මේ අනුව අපේ රටට ඉතා උචිත වන්නේ ‘ඔක්සෝ බයෝ ඩිග්රේටබල්’ ක්‍රමයට පොලිතීන් නිපදවීමයි. දැනට අපේ රටේ ඇති පොලිතීන් කර්මාන්තශාලා 100කින් පුද්ගලයන් ලක්ෂ 3ක් පමණ ජීවත් වෙති. ඒ අනුව මේ කර්මාන්තයට බලපෑමක් නැතිව හා පාරිභෝගිකයාට අඩු මිලට දිරන පොලිතීන් සිලිසිලි මලු හා ලන්ච්ෂීට් අප රටට හඳුන්වාදීමට උචිතම ක්‍රමය ඔක්සිජන් හා හිරුඑළිය මඟින් දිරායන පොලිතීන් නිපදවීම බව එම කර්මාන්තශාලා හිමියෝ අවධාරණය කරති.

මෙරට ජනතාවට කරදරයක් නැති, වැඩි වියදමක් නැති, එමෙන්ම පොලිතීන් කර්මාන්තකරුවන්ට තම යන්ත්‍රවලින්ම නිපදවිය හැකි මේ ක්‍රමය මෙරට ක්‍රියාවට නැංවීමට පරිසර අමාත්‍යාංශය හා මධ්‍යම පරිසර අධිකාරිය උනන්දු විය යුතුයයි පොලිතීන් නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

ඩෙංගු රෝගය වැළැක්වීමටත් මෙරටට දිරන පොලිතින් හඳුන්වාදීමටත් රජය ගන්නා සියලු උත්සාහයන්ට පරිසර සංවිධාන හා රටට ආදරේ කරන සැම දෙනා උදවු කළ යුතුය.

නිහාල් පී. අබේසිංහ

Comments