අතුරුදන් නොවී හිටිය නම් ඉවරයි නෙ! | සිළුමිණ

අතුරුදන් නොවී හිටිය නම් ඉවරයි නෙ!

 “අතුරුදහන් කාර්යාලය බටහිර කුමන්ත්‍රණයක්” තිලකෙ දුම්කොළ නැති බුලත් විඩෙන් මිදුලට කෙළ පාරක් ගහලා කීවා. අබිලිංගෙ කඩේ මිදුල පුරා ම බුලත් කෙළ පාරවල්. ඒවා වැඩි වෙලා තියනවා නම් ඒකෙ තේරුම රට, ජාතිය, ආගම ගැන කඩේට ආපු හුඟක් උදවිය කතා කරපු බවයි. අඩු වෙලා තියෙන එකේ තේරුම රට, ජාතිය, ආගම ගැන එච්චර හැඟීමක් නැති උදවිය කඩේට ආපු බවයි. දවසක් ඔහොම කීවේ නිමලෙගෙ බාල පුතා, කොහොමද ටිකිරි මොළේ?

“අතුරුදහන් කාරියාලෙ කියන්නෙ මොකද්ද මලේ?” මයික් විජේ ඇහුවා.

“අතුරුදහන් වෙච්ච උදවිය ගැන හොයන එක” තිලකෙ උත්තර දුන්නා.

“ඉතින් අතුරුදහන් වෙච්ච උදවිය ගැන හොයන එක වැරැද්දක්ද?” මයික් විජේ ඇහුවා.

“හොයන එකක් නං වැරැද්දක් නෑ.”

“එහෙනම්?”

“බටහිර රටවල් කියන හින්ද හොයන එක වැරැදියි.”

“ඒ කිව්වේ?”

“ඒක අපේ අබිමානෙට හොඳ නෑ.”

“ඒ කිව්වේ?”

“අනුන්ගෙ වැඩ ගැන හොයහොයා ඉන්නැතුව තමන් දන්න දේ හරියට කරපං කියලා කියමනකුත් තියනවනෙ. අතුරුදන් අය ගැන හොයන්න කියලා අපි ඇමෙරිකාවට කියනව ද? නෑ නේ. එහෙව් එකේ ඒ උදවියට තියන කැක්කුම මොකද්ද අපට කියන්න.”

“ඉතිං අපි අතුරුදන් අය ගැන හොයන්නෙ කොහොමද?”

“කවදා හරි අපේ අයට හිතුණොත් අපි අතුරුදන් වූ අය ගැන හොයමු කියලා අන්න එදාට ජාතික කොඩිය උස්සලා බෙර ගහලා පිනුම් ගහලා පන්සිල් අරං ඒක පිහිටෙව්වට කමක් නෑ.”

ඔන්න ඔය විදියට විජෙයි තිලකෙයි අතරෙ කතාබහ දිග් ගැහුණා.

“අතුරුදන් කාරියාලෙ පිහිටුවන්ඩ වෙලා තියෙන්නෙ මිනිස්සු අතුරුදහන් වෙන හින්දනෙ.”

මමත් බැරිම තැන කීවා.

මයික් විජේ කතාවට හවුල් වුණා.

“ඉතින්?”

“අතුරුදහන් වෙන එක නැවැත්තුව නම් ඉවරනෙ.”

“කොහොමද ඒක කරන්නෙ?”

ඔයිම්මෙයිං අතුරුදන් වීම නවත්තන්න එක ගැන කවුරුත් තමුන්ගෙ අදහස පළ කෙරුවා. මේම් මෙහෙම.

මයික් විජේ: අතුරුදහන් නොවී සිටීමේ වැදගත්කම ගැන සම්මන්ත්‍රණ රට පුරා තියන්ඩ ඕනෑ.

යකඩ මරං: අතුරුදහන් වෙනව නම් කල් ඇතුව දැනුවත් කරන්ඩ කියලා ග්‍රාම නිලධාරීන් හරහා මිනිස්සුන්ට කියන්ඩ පුළුවන්. එහෙම උණා ම යන්ඩ නොදී වළක්වාගත්තෑකි.

තිලකෙ: ඉස්සර දකුණෙ අතුරුදහන් වුණා. ඊට පස්සෙ උතුරෙ. අන්තිමේට චෝදනා එල්ල උණේ රණවිරුවන්ට. රණවිරුවො එනකොට හරක් වගේ බුදියගෙන ඉන්නැතුව මඟඇරලා හිටියා නම්, අතුරුදහන් වෙනඑක නවතිනවා. රණවිරුවන්ගෙ නම කැත කරන්න තමයි බඩ පේ කරගෙන බුදියගෙන ඉඳලා තියෙන්නේ. එහෙම මිනිස්සු ගැන හොයලා බලනඑකේ තේරුමක් නෑ. ඒකෙං වෙන්නෙ රණවිරුවො පාවලා දෙන එක.

මගෙ මතේ: අතුරුදහන් කාරියාලයක් පිහිටුවන්ඩ කියලා බල කරන්නෙ සිංහල සද්දකෝසේ එහෙම වචනයක් තියන හන්දනෙ. ඒක අයිං කරලා දැම්මානං වැඩේ ගොඩ! 

Comments