සෙනසුරු භීතිය මනස්ගාතයක් ! | සිළුමිණ

සෙනසුරු භීතිය මනස්ගාතයක් !

 

 ශනි හෙවත් සෙනසුරාගේ නම ඇසූ පමණින් බොහෝ අය බියෙන් ඇලලෙයි. ඒ හුඹස් බය ඉවත්කරලීම මේ ලිපියේ අමුණයි.

සෙනසුරු පෘථිවියේ වරුණ දිශාවට හෙවත් බටහිරට අධිපතිව, නිල් පාටින් බැබලෙමින් කපුටෙක් අරා ගමනේ යෙදෙමින් නුග වෘක්ෂයක සෙවනේ වාසය කරයි.

ශනි 19 වසරක මහ දශාවට අයත් ග්‍රහයෙකි. මකර - කුම්භ ලග්නයන්ට සහ . පුෂ, අනුර, උත්‍රපුටුප නැකැත් ශනිට අයත් ය. කෲර ග්‍රහයෙකි. රවි, කුජ, රාහු, ඉන්ද්‍ර යන ග්‍රහයෝද කෲරයෝ ‍ය. නපුරෝ ය. බලවත් දුක් පීඩා ගෙන දෙන ග්‍රහයෝ ය. කුජගේ මහ දශාවක් ලැබූ විට ද ජීවිත හානිය සිදුවිය හැක. සොර සතුරු බිය ඇතිවිය හැක. අත පය කපා දමන හදිසි අනතුරු ඇති විය හැක. ඒ බව නක්ෂත්‍ර පූර්වාචාර්යවරු පැවසූහ.

දහඅට අවුරුද්දක් පවත්නා රාහු කෙසේ වීද ඔල්මාද ගති ඇති කරවිය හැකිය. සිහි කල්පනාව අවම කළ හැකිය. තේරුමක් නොමැතිව හිස හැරුණු අතේ ඔල්මාදයෙන් යැවිය හැකිය.

මේ කිසිවක් යහපත් ශුභදායක ඉතුරුම් නොවේ. බුද්ධිය විනාශ කර ඇස් රෝග ඇතිකර සභාවෙන් ඇද දමා මුල්ලකින් තබයි.

රවි ද ඇතුළුව මේ තුන්දෙනාම ආවොත් වැඩිපුරම කරන්නේ සතුරුකම් ය. අපි ශනි ගැන පසුව කතා කරමු. දැන් ශුභ‍යෝ ය.සෞම්‍යය යෝග යැයි හඳුන්වන සඳු, සිකුරු, ගුරු ගැන කතා කරමු. ඔවුන් ශුභ යැයි සම්මත බැවින් බොහෝ විට ශුභපල ගැනම පමණක් කතා කරයි. අපි සඳු ගැන කතා කරමු. අව සඳු පාපියා වන අතර පුර සඳු ශුභයා වෙයි.‍බුධ ලග්නාධිපති වූ මිථුන කන්‍යාවෙන් යමෙක් උපන්නා යැයි සිතමු. සඳු පාපියා වී පැමිණේ. ජන්ම ඒරාෂ්ඨකයේ මූලික තැන සඳු ය. සඳු නරක් වූ විට සෙම් රෝග ඇති කරයි. හෙම්බිරිස්සාව නිවුමෝනියාව දක්වා දුර දිග ගෙන යයි. හිත් කඩා වැටීම, හිතේ සමාධිය නැතිකර මානසික රෝග ඇති කරවයි. "බුධඃ චන්ද්‍රඃ සදා වෛරඃ" කීවේ එහෙයිනි. ගුරු සතුරුත් එහෙමයි. "ගුරු ශ්‍රක්‍රො සදා වෛරඃ" කීවේ එහෙයිනි.

ශුභයන් යැයි සම්මත සෞම්‍ය ග්‍රහයින්ගේ තත්ත්වය මෙසේ නම් සෙනසුරු ගැනම පමණක් ඇයි මේ හුඹස් බය? බය වෙනවා නම් බය වෙන්න කාරණා කටයුතු නැත්තේම නොවේ. අවස්ථාව පැමිණියහොත් ශනි ද නපුරට හිටියි. මෙහි දී අවාසි දෙකක් ඇත.

ශනියේ මුලු දසා කාලය අවුරුදු 71/2කි.ශනි වක්‍ර භාවයක අවුරුදු 2 1/2ක් සිටී.*ශනි ජීවිත නාෂකයෙකි. *රෝගකාරකයෙකි.

අපි ඒ ගැන ටිකක් කතාකොට ශුභ පල ද කතා කරමු.

ශනිට විශේෂයෙන් බිය විය යුතු නැත. ඕනෑනම් අවසානයේ ජීවිත හානිය කරයි. අවශේෂ වශයෙන් රැකියා නැතිකොට ඔත්පල කරයි. මෙයම කුජට ද කේතුට ද කළ හැකි. කේතු නොමැරුවේ වුවද නොමරා මරයි.මෙහිදී විශේෂය වනුයේ අනෙක් ග්‍රහයින්ට කළ හැකි දෑවල යම් යම් සීමාවන් ඇති වුවද ශනිට එම සීමා පැනවීම නොමැති බව ය.බොහොම සුළු සුළු දේ සිට ජීවිත හානිය දක්වා අතරමැදි සියල්ල කළ හැක. වසර 19ක් මුළුල්ලේම මෙය කළ හැකිය. දරුණුකමේ සීමාව කුජටද, ශනිට ද එක හා සමාන ය.

ශනිට හසුවුවොත් වෙලාව ආවොත් තරාතිරම නොබලයි. එකම හැන්දෙන් බෙදයි. "හිඟන්නාටද, විෂ්ණු දෙවියන්ට ද, එක සමාන ය. ඒ නිසාම "හිඟන්නාගේ පාත්තරේ සෙනසුරා වැටුණා වගෙයි", "විෂ්ණු දෙවියන්ටත් බටකොළ කැවුවා" යැයි කියමන් ද ඇත. මෙසේ කාලය ද ටිකක් දිගු ය. වසර 2 1/2කි. ශනිගේ ඒරාෂ්ඨකය යැයි කීමද ඒරාෂ්ඨකය ලබන්නේ ශනිගෙන් පමණක් ද? ඇයි කුජ, කේතු, රාහු, රවිගෙන් ලබන්නේ නැතිද? එහෙම නම් සූර්ය ඒරාෂ්ඨකය,රාහු ඒරාෂ්ඨකය වශයෙන් හඳුන්වන්නේ කුමක්ද? මෙහිදී ඇත්තටම සිදුවී ඇත්තේ ශනිට වරද පටවා ඔහු කළු චරිතයක් බවට පත් කිරීම ය. ඔහු පළමු වෛරක්කාරයා බවට පත් කිරීම ය.

ශනිගෙන් ලබන ශුභපල නැද්ද? අන්න ඒ ගැන පුහු මතයෙන් බැහැර වී මධ්‍යස්ථව කතා කරමු. ශනිට අයත් මකර හා කුම්භ යන රාශි දෙකේ උපත සිදුවුවහොත් ලග්නාධිපති තම රාශ්‍යාධිපතිකම ශනිට අයත් ය. ගෙදර අධිපතියා ශනි ය. 'ශෂ' අපලය මෙහි දීගෙනෙනිනේ නැත. ශනි මෙහිදී නපුරු තාත්තා කෙනෙක් පමණයි. සැර තාත්තලා ටිකක් වැඩිපුර විපාක දේ. සැර වැර කරයි. එහෙත් මරා දමන්නේ නැත. ඒ ඒ රස මසවුලු කන්න දෙන්නේ නැත. එහෙත් හාමතේ නොතබයි.

අපි තව උදාහරණයක් ගනිමු. යම් ජන්ම පත්‍රයක අෂ්ඨමාධිපති බලය ලග්නාධිපතිට හිමි වුනොත් එවිට අෂ්ඨමාධිපති බලය ක්‍රියා විරහිත ය. නක්ෂත්‍ර සිද්ධාන්තයක් ඇත.මේෂයේ අෂ්ඨමාධිපති බලය හිමි කුජ ඒ බලය මේෂයට නොයෙදෙන්නේ එහෙයිනි. කුජට නැති බලය මකරයේ කුම්භයේ ශනිට ලැබේද? ඇයි මේ වෙනස්කම් මෙයට කිට්ටුව යන තව සිද්ධාන්තයකි, අෂ්ඨමාධිපති බලය භාග්‍යස්ථානාධිපතිට ද ලැබුණොත් අෂ්ඨමාධිපති බලය පාවිච්චි නොකරයි' යන්න ය.

කටක ලග්නය ගනිමු. මෙහි දී මෙයම සිද්ධ වී නැතිද? ඇයි ශනිට පමණක් මේ වෙනස්කම්? තුලාවේ වෘෂභයේ යෝගකාරකයා ශනි ය. යම් කෲරයෙකුට කේන්ද්‍රස්ථානයත් හා ත්‍රිකෝණස්ථානයත් එකවර හිමිවේ නම් ඔහු යෝගකාරකයා වන්නේ ය. යෝගකාරකයා ශුභයාට ද වඩා ගුණයෙන් ඉහළ ය. යෝගකාරකයා යම් හෙයකින් නෛසර්ගික බලයෙන් යුක්ත වුවහොත් හේ "රාජ යෝගකාරකයා" වන්නේ ය. රාජයෝගකාරකයා සිතූ පැතූ සම්පත් දේ. අන්තර් දසාවකදී වුව ද සැපයම එලවයි. වෘෂභයේ හා තුලාවේ මෙම යෝග කාරකයා ශනි නොවේද?

වෘෂභයේ, මකරය, කුම්භය යනු 9 හා 10 භාවයන් අධිපති ය. තුලාවේ මකරය හා කුම්භය යනු 4 හා 05 භාවයන් අධිපතින් ය. හතර කේන්ද්‍රස්ථානය 5,9 ත්‍රි‍කෝණස්ථානයයි. එසේනම් මේ දෙකට අධිපති ශනිට පමණක් මේ වෙනස්කම ඇයිද? තවත් උදාහරණයක් ගනිමු. කටක, සිංහ දෙක බලමු.

කටකයේ 5 අධිපති කුජය, 10 අධිපති කුජය,

සිංහයේ 4 අධිපති කුජය, 09 අධිපති කුජය.

එහෙයින් ලග්න දෙකේම යෝගකාරකයා කුජයි. කුජ ශුභපල දෙන බව දෛවඥයින් පිළිගනී. ඒ ඇත්ත ය. ප්‍රශ්නය එය නොවේ. මෙහිදී කුජට දැක්වූ සැලකිල්ල වර්ෂා කාලයේදී ශනිට නැත්තේ ඇයිද? යන්න ය. ඔබද එය පිළිගනී නම් මෙතැන වාදයක් නැත. ඇත්තේ ගතානුගතික බවට බරවී ඇස් පියාගෙන ශනි අශුභයෙක් කරවීමයි. තවද කරුණක් කියමු. එකක් නොව දෙකක්ම කියමු. ඒරාෂ්ඨකයන් ක්‍රියාත්මක වීමට කාරණා කීපයක්ම එකවර සම්පූර්ණ විය යුතුයි. අපි ඒවාද කතා කරමු.

ඒරාෂ්ඨකයක් නියම විධියට පලදීමට නම්

1. ශනි මහ දසාව හෝ නැත්නම් ශනි දශාවක වෙනත් පාපියෙකුගේ අන්තර් දසාව හෝ ලැබිය යුතුයි.

2. ජන්ම සමයේ හෝ අද ගෝචරයේදී ශනි නෛසර්ගික බල හීනතාවයකට පත්ව සිටිය යුතුයි. නීච හෝ සතුරුව සිටිය යුතුයි.

3. ශනි ගෝචරයෙන් 1,8 හෝ ජන්ම සමයේ සඳු සිටි ස්ථානයට පැමිණිය යුතුය. එහෙත් 5 හෝ 9 භාවයන්වල නම් විපාකය ස්වල්පයකි.

4. නොඑසේනම් පාපියෙකුගේ මහ දශාවක ශනිගේ දෘෂ්ටිය ලැබිය යුතුය. ශනි දෘෂ්ටිය ලැබෙනුයේ 3,7 හෝ 10 වෙත දෘෂ්ටිගත වුවොත් පමණ ය.

තවත් අතුරු හේතු ද ඇත. ලග්නාධිපති හෝ වෙනත් ශුභ ග්‍රහයින් ජන්ම සමයේදී බල හීනතාවයකට පත්වී සිටිය යුතුයි. චන්ද්‍රයා නරක් වී සිටිය යුතු ය. මහ දසාධිපති නරක භාවයකට පැමිණ සිටීම හෝ උත්පත්තියේ දී‍ නරක භාවයක සිටිය යුතුයි.

මෙම කරුණු කීපයක් හෝ වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ වී ඇත්නම් ආයුෂ පරීක්ෂා කලාට වරදක් නැත. නියත මාරකය පැමිණීමට ශනි ඒරාෂ්ඨක ගතවූ පමණින්ම මරණය ගැන කියන්න ඉක්මන් නොවිය යුතු ය. ඔත්පල කිරීම, අපල උපද්‍රව ගැන කියන්න ඉක්මන් නොවිය යුතුයි.අනෙක් ග්‍රහයින්ටද මෙසේම ය. නමුත් සිදුවී ඇත්තේ මෙහි අනික් පැත්ත ය. ශනි නරක භාවයකට ආ පමණින්ම ශනියේ මහ දශාව ලත් පමණින්ම අපල උපද්‍රව ගැන කියයි. ඇයි මේ දුගතිගාමී බව. ඇයි ශනිට මෙසේ සලකන්නේ.

ශනි හොඳ අතට ආකල බලයෙන් යුතු වූ විට සැප සම්පත් නොදේ ද? යමෙකුගේ ජන්ම පත්‍රයේ ශනි තුලාවේ සිටියා යැයි සිතමු. නියතයෙන්ම ඔහු දුක දිනා ජය ගන්නකු වේ. වෙහෙස වී වැඩ කිරීමෙන් වෙහෙසකට පත් නොවේ. හොඳින් ජය ලැබිය හැකි ය. දියුණුවකට ලක්වීමට හැකි ය. පරාජය කළ නොහැක. බඩගිනි ඉසිලිය හැක. ලැබෙන කුමක් වුවත් කුස පුරා ගිල දැමිය හැක.

ඔවුන් දියුණු කොට්ඨාසයක් වේ. දුක හැඳින දුක දිනා ජය ගත් අය වේ. රිදී හැන්දෙන් කිරි බීපු අය නොවේ. වෙහෙස වී ජය ගත් අය වේ. මේ අයගේ ශනි නරක්වූ විට,

 

"නිත්‍යං විවාහ වද බන්ධන රෝග පීධඃ

භන්ද්‍රො සදා විමුක්තං වර මිත්‍ර වෛරම්"

යන ස්ත්‍රොත්‍රය මෙහිදී නොගැලපේ. ශනි යෝගකාරකයා වීම ඉතින් කවර කතාද?

 

කාරණා මෙසේ නම් ඇයි මෙතරම්ම ශනිට බිය.ගතානුගතිකත්වයට පත්වී කියන්නන් වාලේ ඔහේ කියනවා විනා තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරන ලෙස කියනු කැමැත්තෙමි. කෙනකු මරණයට පත් කිරීමට ශනිට පමණක් නොව අනෙක් ග්‍රහයන්ටද හැක. එයට අවශ්‍ය කර්ම ඵලය සැලසී ඇත්නම් අනෙක් ග්‍රහයින්ද නොපැකිල ඉදිරිපත් වේ. එය හීන් නිලමේය/ මහ නිලමේ'යැයි වෙනසක් නැත. ධර්මයේ පිහිටා කටයුතු කරන්නේ නම් පමණක් මෙහිදී මඳක් සහනය ලැබේ.නොඑසේම ශනි ලැබූ පමණින් ඒරාෂ්ඨක වූ පමණින් හානියට ඉදිරිපත් නොවෙයි. එය දිගු කාලීන අත්දැකීම්වලින් ද ගුරු ඇසුරින් ද මම දනිමි.

 

Comments