රවි ශන්කර්ටත් වඩා සරත් දසනායක දක්ෂයෙක් ද? | සිළුමිණ

රවි ශන්කර්ටත් වඩා සරත් දසනායක දක්ෂයෙක් ද?

“සරත්, සිතාරයත් අරන් වහාම මෙතැනින් යන්න”

සරත් දසනායක, එක්තරා ප්‍රවීණ සංගීතඥයකු යටතේ මරදානේ එක්තරා සංගීත ආයතනයක කටයුතු කරද්දි කාගේ හරි කේළම් බහකට හෝ වෙනත් හේතුවක් මත හෝ මේ සංගීතඥයා සරත්ට එසේ යන්නැයි කියා ලියුම් කෑල්ලක් තබා තිබුණා. දසේ සිතාරයත් රැගෙන පාරට බැස්සා. මං හිතන විදියට සරත් දසනායක නමැති සංගීතවේදියා බිහි වුණේ එතැනින්.

සිතාරය දසේගේ ප්‍රමුඛම සංගීත භාණ්ඩය. ඔහු පළමු වතාවට හොරණ ශ්‍රීපාලියට යද්දි එහි සංගීත ගුරුවරයා (ප්‍රේමදාස හේවගේ) සරත්ගෙන් වාදනය කරන්න කැමැතිම භාණ්ඩය මොකද්ද කියලා. අහලා තියෙනවා ඔහු පොල් පරාලයකට බැඳි වට්ටක්කා ගෙඩියක් වගේ හුරුවට තිබුණු සිතාරය තෝරගත්තා. ජීවිතය ගැටගසා ගැනීම සඳහා වඩු කාර්මිකයකු, ගරාජයක මිකැනික් බාස් කෙනකු, රේඩියෝ රෙපයාර් කරන්නකු, යනාදි වශයෙන් නොයෙක් වෘත්තීන්හි යෙදී ඒ කිසිවකින්වත් සාර්ථකත්වය අත්පත් කර‍ නොගත් දසේ සංගීතය තෝරගත්තේ එයින්වත් ගොඩ එන්න පුළුවන්දැයි කල්පනා කරමින්.

දසේ පසු කලෙක අතිදක්ෂ සිතාර් වාදකයකු වුණා. අමරදේවයන් ගයන ‘සන්නාලියනේ’ ගීතයේ ඔබට ඇසෙන සිතාර් වාදනය සරත්ගේ. සෝමපාල ලීලානන්ද වරක් මා සමඟ කියා සිටියේ දසේගේ සිතාර් වාදනයෙන් මතු වන මිහිරියාව රවි ශන්කර්ගේ සිතාර් වාදනයෙන් මතුවන මිහිරියාව හා සමබවයි.

දසෙගෙන් වැඩිම මෙහෙවරක් ඉෂ්ට සිද්ධව ඇත්තේ චිත්‍රපට සංගීත ක්ෂේත්‍රයට යැයි කියන්ට පුළුවන්. හින්දි තනු ආකාරයක රැල්ලක් තිබුණු යුගයක ඔහු එය පිටුදකිමින් එයට අභියෝගාත්මක ලෙස එම තනුවලටත් වඩා සුමිහිරි ගී තනු නිර්මාණය කරන්ට යෙදුණා. චිත්‍රපටයට උචිත සංගීතමය රිද්මය හෙතෙම මනාව වටහාගෙන තිබුණා.

දසේ චිත්‍රපට සංගීතයට ප්‍රවිෂ්ට වන්නේ ‘සිතිජය’ චිත්‍රපටයෙන්. ඒත් පසුව සංගීතය සැපයු ‘විශ්මය’ චිත්‍රපටය ඊට කලින් තිරගත වුණා. මුල් චිත්‍රපටයට වේහැල්ලේ පියතිලක ද අනිත් චිත්‍රපටයට සෝමපාල ලීලානන්ද ද දසේට දක්වා ඇති අනුග්‍රාහකත්වය විශාලයි.

දසේ හුඟක් ජනප්‍රිය වුණේ ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටයට නිර්මාණය කළ ගීත ඔස්සේ. විශේෂයෙන් එහි එන ‘අමර පෙම් ලතාවේ’ ගීතයෙන්. මෙහි නිෂ්පාදක සේන සමරසිංහ මුලදී දසේව සංගීතය සඳහා යොදාගන්ට කැමැත්ත පළ කළේ නැහැ. ඊට හේතුව ඔහුගේ හැකියාව පිළිබඳ පැහැදිලි තක්සේරුවක් නොතිබීම. ඒ අවස්ථාවේ සෝමපාල ලීලානන්දගේ මැදිහත් වීම මත දසේ නිර්මාණය කර තිබූ ගීත හතරක තැටියක් නිෂ්පාදකට අසන්ට සැලැස්වූවා. ඒ ගීත තමයි ‘නීල දෑස පුරා’, ‘ටජ් මහලක් තනවන්න’, ‘දිය පොදක් වෙමින් උතුරා යන පිපාසෙට’ හා ‘පහන් ටැඹ යට සොහොන් කොත ළඟ’ යන ගී. මේ ගීත හතරෙන් සෑහීමට පත්වූ සේන දසේට තම චිත්‍රපටයේ සංගීතය සැපයීමට සම්බන්ධ කරගෙන තිබෙනවා.

ඊට පස්සේ දසේ ‘මියුරු කල්පනා’ (දිනුම් කණුව) ‘පාට පොදක් තිලකලා’, ‘හද විමන් දොරෙන්’ (කස්තුරි සුවඳ) ‘රන් මසුරන් රන්’ (ආවා සොයා ආදරේ) ‘සංගීතා , ‘දුහුළු මලක්’, ‘නිල්ල සොයා’, ‘මිහිදුම් සිහින’ යන චිත්‍රපටවල සියලු ගීත ‘හිම රේණු වැටෙනා’ (ආත්මා) නිර්මාණය කළා.

ඒ විතරක් නෙමෙයි, ඔහු සරළ ගී ගණනාවකට ද මියුරු ගී තනු යොදා තිබෙනවා. ‘බොල් වී අහුරු’ (අමරදේව) ‘පෙම් සිසිලාරේ’ (දයාරත්න - අමරා) ‘රූස්ස ගහ ළඟ’ (විජය කුමාරතුංග) ‘කන්දෙ විහාරේ (චන්ද්‍රලේඛා) ‘රෑ පැල් රකින’ (අබේවර්ධන බාලසූරිය, ත්‍යාගා එන්. එඩ්වඩ්) ‘රණ්ඩු වේවි යාළු වේවි’ (සුනිල් සිරිවර්ධන, චන්ද්‍රිකා සිරිවර්ධන) ‘සැරයටියෙන්’ (විජය හා චන්ද්‍රලේඛා) ‘මේ කාලේ පුංචි පැලත් මාළිගා’ (විජය කුමාරතුංග) යන ගී නිදසුන්.

කේමදාස මාස්ටර්ට වගේම දසේටත් සංගීතයේ අනන්‍යතාවයක් තිබුණා. ඔහු සංගීතවත් කළ ගීතයක් ඇහෙන කල්හි එය දසේගේ ගීතයක් කියා නම නොකිව්වත් එය හඳුනාගන්ට පුළුවන්. විශේෂයෙන් ඔහු වයන සිතාර් හඬ මෙහිදී වඩාත් කැපී පෙනෙනවා. අනිත් කාරණය ඔහුගේ ගී තනු එකිනෙකට වෙනස්. ඒකාකාරී නැහැ.

දසේ ජන සංගීතයෙන් නොමඳ ආභාසයක් ලැබුවා. බෙර, තම්මැට්ටම, දවුල් වැනි සංගීත භාණ්ඩ පවා යොදාගත්තා. ඩබ්ලිව්. බී. මකුලොලුව හා සී. ද එස්. කුලතිලක ඔහු ඉරහඳ සේ සැලකූ බව මා අසා තිබෙනවා.

ගීතයකට වඩාත්ම සුදුසු ගායකයා හෝ ගායිකාව තෝරා ගැනීමේ හොඳ ඉවක් (අන්තර් ඥානයක්) දසේට තිබුණා. ‘උන්මාද සිතුවම්’ ගීතයට ගුණදාස කපුගේ ද, ‘බුදුනේ’ ගීතයට ටී. ෂෙල්ටන් පෙරේරා ද යොදා ගැනීමෙන් එය පෙනෙනවා. සරත් දසනායක ගැන ඕනැතරම් දේ ලියන්න කියන්න පුළුවන්. ඒත් ඉඩකඩ මෙයට හරස් වෙනවා. 

Comments