අතී­ත‍ෙ­යන් කතා­වක් | සිළුමිණ

අතී­ත‍ෙ­යන් කතා­වක්

 ඒ උඩරට රාජාධිරාජසිංහ රජු (ක්‍රි.ව. 1782 – 1798) රජ කරන අවදියයි. රාජාධිරාජසිංහ රජු දකුණු ඉන්දියාවෙන් පැමිණි නායක්කාර් හෙවත් වඬුගරාජ පරම්පරාවට අයිතිවිය. වැලිවිට සරණංකර හිමිගෙන් සිංහල බුදුදහම රාජ සිරිත් විරිත් හැදෑරූ කුමරු හොඳ සිංහල බෞද්ධයකු ලෙස රජකම් කළේ ය. එමෙන් ම මේ රජු සිංහල කාව්‍ය ප්‍රබන්ධයට හා හිටිවන කවි කීමට දක්ෂ විය. ‘අස දිස කු කව’ රාජාධිරාජසිංහ රජු ලියූ කවි පොතකි. එමෙන් ම මොරතොට හිමි සමඟ හිටිවනව රසවත් කවි කියා ඇත. රජුගේ බිසෝවරු ද නායක්කර් පරපුරට අයත් වූහ. අලමමේලු - සිරියම්මාලු රජුගේ නායක්කාර් බිසෝවරු දෙදෙනෙකි. එයින් අලමමේළු අගබිසව විය.

මහනුවර රජමැඳුරු උයන හැර මේ වන විට පේරාදෙණිය රාජකීය මල්වත්ත ද එදා උඩරට රජවරුන්ට සීමාවූ පෞද්ගලික රාජකීය පුෂ්පෝද්‍යානයක් විය. ඉතිහාසගත සාක්ෂි අනුව පේරාදෙණිය රාජකීය මල්වත්ත වැඩි දියුණු කිරීම ආරම්භ කළේ මීට පෙර රජකළ කීර්ති ශ්‍රී රාජසිංහ රජු ය. මේ රාජකීය මල්වත්තේ තවත් රාජකීය රාජ මාලිකාවක් විය. සිරියම්මාළු බිසව ඇයගේ මව සමඟ මල්වත්තේ රජමැඳුරේ ජීවත් වූවා ය. රාජාධිරාජසිංහ රජුගේ මහාදිකාරම් පදවිය දැරුවේ පිළිමතලාවේ ය. රාජකීය රාජකාරී උත්සව පණිවිඩ සඳහා නිතර පේරාදෙණිය මල්වත්තට යෑමට පිළිමතලාවේ මහාදිකාරමට සිදු විය. කලක් යන විට මහාදිකාරම් හා සිරියම්මාළු බිසව අතර රහස් මිත්‍රත්වයක් මතු විය. එදා රාජ නීතිය අනුව අන්තඃපුර බිසවත් සමඟ ආදරයක පැටලීම හිස් ගැසුම් කන රාජද්‍රෝහී අපරාධයකි. එහෙත් නිතර මල්වත්තට යන එන නිතර කතාබහ කරන රූමත් රජබිසව දකින මහාදිකාරමට මේ වරළේ බරපතළකම දැනුණේ නැත. කලක් යන විට සිරියම්මාළු බිසව දරුවකු ලැබීමේ ලකුණු පහළ කළා ය‍. එසේ පිළිමතලාවේට දාව සිරියම්මාළු බිසව ලත් පුත් කුමරා කන්නසාමි කුමරුය. පසු කල මහාදිකාරම් පිළිමතලාවේගේ උපක්‍රම අනුව ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් උඩරට රජ වූයේ මේ කන්නසාමි කුමරු ය. (ක්‍රි.ව. 1798 – 1815)

කන්නසාමි කුමරු දැන් බහ තෝරන වියට එළඹ ඇත. රාජාධිරාජසිංහ රජුට මේ තහනම් ආදරය පිළිබඳ තොරතුරු වටින් පිටින් සැල විය. සුදුසු අවස්ථාවක් එන තුරු රජු දූරදර්ශී ලෙස නිහඬ විය. මහනුවර රජමැඳුරේ සිට වරින් වර ඉඳහිට පේරාදෙණිය මල්වත්තේ රාජ මාලිගාවට යෑම ඒම රජුගේ සිරිතක් විය. රජු කෙටි ගමන් බිමන් ගියේ අසු පිටිනි. අසුන් පිට යෑමට රජු බෙහෙවින් ප්‍රිය කළේ ය. තමන් වරදක පැටලී සිටින බැවින් සුදුසු අවස්ථාවක රජු මරා දමා රහස යටපත් කිරීමට මෙන් ම තම කැමැත්ත පරිදි ‍ළදරු කන්නසාමි කුමරු රූකඩ රජකු ලෙස රජකමට පත් කිරීමට මහාදිකාරම්ගේ යටි සිත ක්‍රියාත්මක විය. ඒ සඳහා බාල වයස් කන්නසාමි කුමරු යොදා ගැනීම ඔහුගේ අරමුණ විය.‍

කන්නසාමි කුමරාට තියුණු අසිපතක් දුන් මහාදිකාරම් පිළිපැදිය යුතු උපදෙස් දුන්නේ ය.

“පුතණුවෙනි, රාත්‍රී කාලවල අනවසරයෙන් සතුරන් රජමැඳුරට පැමිණිය හැකි ය. එසේ පැමිණීම ඔබට මෙන් ම ඔබ මෑණියන්ට ද අනතුරුදායක ය. එසේ රාත්‍රී කාලයක අනවසර අයෙකු ඇතුළු වුවහොත් මේ තියුණු අසිපතෙන් ඔහුගේ හිස සිඳලන්න.”

කාලයක් ගත විය. එදා මුළු දවසම නා කපන වැසි දිනයකි.‍ අහස කළු වී වැහිපොද වැටී පරිසරය අඳුරු වී ඇත. කළු පාට අන්ධකාරය කපාගෙන වරින් වර විදුලිය කොටයි. හෙණ හඬ නැ‍ඟෙයි. මහනුවර රජමාලිඟාවේ සිට අසුපිට නැඟුණු රජු වැස්සට ඔරොත්තු දෙන ඇඳුම් පැලඳුමෙන් සැරසී පේරාදෙණිය මල්වත්තේ රජමැඳුරට අඳුර මැදින් අසු මෙහෙයවී ය. දැඩි සුළඟ සමඟ මල්වත්තේ රජ මැඳුරට ඇතුළු වන බිමේ පිහිටි දැවැන්ත ගසක් බිම වැටී මාර්ගය අවහිර වී තිබිණි. අසු පිටින් බට රජු අශ්වයා නවතා ඉඩ ඇති තැනකින් අතු අස්සෙන් රජමැදුර දෙසට ගමන් කරන්නට විය.

“වහාම නවතිනු. තොප කවුද?”

කන්නසාමි කුමරු අසිපත ඇදගෙන අඳුරේ ඉදිරියට ගමන් කරන්නට විය.

“තොප කවුද?” දෙවැනි වත‍ාවටත් කුමරු ඇසුවේය.

එහෙත් රජු නිහඬ තමාට අයත් රජමැඳුරේදී තමා කවුද කියා වටහාදීම අවශ්‍ය නොවූ බැවින් රජු නිහඬ විය‍.

පළාතම කම්පා කරමින් අහස එක්වරම ගුඟුරන්නට විය. ඒ සමඟ විදුලි ආලෝකය පැතිරී තම ‍ඉණේ වූ අසිපත ඇදගත් කුමරු නිහඬව සිටින අමුත්තාගේ ගෙලට තියුණු පහරක් එල්ල කළේ ය. මහ ළතෝනි හඬක් සමඟ හිස ලේ ධාරා විඳිමින් ක‍ඳෙන් වෙන් වී බිම වැටුණේ ය. ඒ සමඟ මුළු රජමැඳුරම ගාලගෝට්ටියක් විය. සිරියම්මාළු බිසව දිවගෙන අවුත් දෑත් ‍හිසේ ගසාගෙන වැලපෙන්නට වූවා ය. කන්නසාමි කුමරු උමතු ව‍ූවාක් මෙන් ඒ මේ අත ගමන් කරයි. කුමරු අතින් තදබල අත්වැරැද්දක් සිදු වී ඇති බව පැහැදිලි විය.

බිසව කුමරු ළං කොටගෙන සිදුවූ දේ ඇසුවා ය. මේ වන විට කළයුතු හදිසි ම කටයුත්ත රජුගේ මරණය හා එය සිදුවූ ආකාරය රහසක් ලෙස සඟවා ගැනීමයි. අඩ හෝරාවක් ඇතුළත බිසව මහාදිකාරම් වෙත පණිවිඩයක් යැව්වාය. ඔහු වහා එහි පැමිණියේ ය. තිදෙනා අතර කෙටි තීරණාත්මක කතාබහක් ඇති විය.

ඒ අනුව රජු රාත්‍රි කාලයේ වැටී තිබූ ගසක් හරහා අසු මෙහෙයවද්දී ගසේ හැපී බිම වැටී මියගිය බව පසුදා මහාදිකාරම රාජ සභාවට හා ඉන්පසු රටට දැනුම් දෙනු ලැබිණි. කන්නසාමි කුමරු රජකමට පත් කරවනු ලැබිණ.

Comments