යහපාලන ආණ්ඩුව හැදුවෙ කුණු කන්ද වළකට දමන බයට | සිළුමිණ

යහපාලන ආණ්ඩුව හැදුවෙ කුණු කන්ද වළකට දමන බයට

 “එයාලා හිටිය නම් ඕක කඩා වැටිලා මිනිස්සු මැරෙන් නෑ අනේ!”

“ඒක ඇත්ත. එයාලා ඕක කෝච්චි පෙට්ටිවල පටෝලා උතුරේ ලොකු වළකට ගෙනිහිං දාන්ඩ සැලසුම හැදුවා.”

අපේ මායියයි නිමලෙගෙ මායිය යි දෙන්නා චීත්ත පොටෙං කඳුළු පිහ දම දමා බරට බරේ කතාව. මායි නිමලෙයි අඹ කොටේට වෙලා කන් දුන්නා.

“කෝච්චි පෙට්ටිවල පුළුවන් ද අනේ ටොන් ගානක් පටවන්ඩ? ඔයා කොහොමද ‍එච්චර දේවල් දන්නෙ?”

“මොකද පටවන්ඩ බැරි? ලංකාවේ කෝච්චි මදි හන්දා පිටරටින් ඕඩර් කෙරුවා. හිටපු ජනාදිපතිතුමා නායක හාමුදුරුවො මුණ ගැහිලා ඕක ගැන කියද්දි නායක හාන්දුරුවො ඔළුව වනනවා මම ටී වී එකෙං දැක්කා.”

“දෙයි හාන්දුරුවනේ! ඕක ආරංචි වෙලා වෙන්ඩැති වහාම ආණ්ඩුව පෙරළුවේ”

“නැතුව වෙන මොකේට ද? කොරපු අපරාදෙ ලේසි පහසු එකක් නොවෙයි”

නිමලෙගෙ මායිය යි අපේ මායියයි හූල්ලනවා. ඒ හීල්ලිල්ලට මයෙ පපුවත් හෝස් ගාලා දාලා ගියා.

“මොකෝ බණ්ඩයියෙ හූල්ලන්නෙ? ඔහොම තමයි ජීවිතේ. ඇති වෙනවා. නැති වෙනවා.”

නිමලේ බණට බැස්සා.

“නිමලෙ‍ මොකද හිතන්නෙ අර ආණ්ඩු පෙරලිල්ලෙ කතාව ගැන”

“සම්පූර්ණ ඇත්ත”

“එකකොට උඹැහෙ කියන්නෙ යහපාලන ආණ්ඩුව හැදුවෙ පහුගිය ආණ්ඩුව කුණු කන්දෙ පුරස්නෙ විසඳන්ඩ හදපු හන්දා කියලා ද?”

“ඔව්”

“කොහොම ද ඒක විශ්වාස කරන්නෙ?”

“හේතු කීපයක් තියනවා. පළමු වැනි එක හිටපු ජනාදිපති තුමා කියපු හින්දා. එතුමා කීවොත් කීව ම තමා. අවුරුදු නැකතවත් හදාගන්ඩ බැරි ආණ්ඩුවක් කියපු එකත් හරියට ම හරි”

“ඒ කොහොම ද?”

“සුමනදාස උන්නැහේ නැකත හදලා ජනාදිපතිගෙ අස්සනෙන් නැකත් කමිටුවට අරිනවා. කමිටුව අවුරුද්දක් තිස්සේ හදපු එක විසිකරලා අරක ගන්නවා. රාජකීය දයිවඥ්ඥයා තරම් දන්න එකෙක් තවත් ඉන්නව ද? නොගත්තොත් බඩු ම තමා.”

“ඒ උනාට පුරවැසි සංවිදාන නම් කියන්නෙ නිදහස, පොජාතන්තරේ දිනා ගන්න ආණ්ඩුව හැදුව කියලනෙ”

“පිස්සු කතා. ඕවා ගැන මිනිස්සු දන්නව ද? කුණු ගැන හැමෝ ම දන්නොවා. සිරීපාදෙ වගේ කුණු කන්දක් අයින් කරන එක සෙල්ලමක් ද? පාතාලේ වෙඩි තියනවා. කප්පම්කාරයො කලබල වෙනවා. ඇමතිලා ආණ්ඩුවෙන් අයින්වෙන්ඩ හදනවා. එහෙම කුණු කන්දක් අයින් කරන එක සෙල්ලමක් නොවෙයි.”

“ඒ කියන්නෙ ඒක විසඳන එක ද රටේ අමාරු ම ප්‍රස්නෙ?”

“නැතුව - නැතුව! අර තරම් උස කුණු කන්දක් අයින් කරා නම් කවදාකවත් චන්දෙකින් පරදින් නෑ. ඒ හින්දා තමයි ඊට කලින් කුමන්ත්‍රණේ කරලා යහපාලන ආණ්ඩුව හැදුවේ”

“ඒ කියන්නෙ ලංකාවෙ ලොකු ම ප්‍රස්නෙ කුණු ප්‍රස්නෙ විසඳන්ඩ මොන ජගතටවත් හම්බුවෙන් නෑ”

අපි දෙන්නගෙ කතාව අපේ මායියයි නිමලෙගෙ මායියයි අහගෙන ඉඳලා.

“දැන් නං ටිකක් මොළේ පෑදිලා වගේ” දෙන්නා කියනව ඇහුණා.

Comments