අලුත් අවු­රුදු කෑම මේස­යට | සිළුමිණ

අලුත් අවු­රුදු කෑම මේස­යට

අලුත් අවුරුද්ද උදාවෙලා දැන් දින කිහිපයක් ම ගෙවිලා. මේ දිනවල තමයි බොහෝ දෙනෙක් නෑදෑ හිත මිත්‍රකම් වර්ධනය කරගන්නට නෑ ගමන් වල යෙදෙන්නේ. අවුරුද්ද කියන්නේ කා බී ප්‍රීතියෙන් යුතුව සමරන උත්සවයක් නිසා නිවෙසට එන නෑදෑයන්ට, යහළු හිත මිත්‍රයන්ට උපරිමයෙන් සංග්‍රහ කරන්නට කවුරුත් උනන්දුයි. අද රසඳුන මෙම විශේෂාංගයෙන් නිවෙසට එන නෑදෑයින්ට සංග්‍රහ කරන්නට හරි අපූරු ආහාර වට්ටෝරු කීපයක්ම ඔබට ගෙන එනවා.

උපදෙස්

විධායක සූපවේදි සුජිත් ආරියරත්න


 

ඉස්සන් බුරියානි

 

 

අවශ්‍ය ද්‍රව්‍ය

ඉස්සන් - 450g

මුදවපු කිරි මේස හැඳි - 3

මිරිස් කුඩු තේ හැඳි - 3

කහකුඩු තේ හැඳි - ¼

තුනපහ කුඩු තේ හැඳි - 1 ½

කජු මද - 50g

ලොකු ලූනු ගෙඩි - 3

රතු ලූනු ගෙඩි - 6

කරපිංචා කිනිති - 1

රම්පේ කැබලි - 1 – 2

එනසාල් කරල් - 10

කුරුඳු පොතු කැබැල්ලක්

තෙල් ‍ස්වල්පයක්

ලුණු තේ හැඳි - 1

තක්කාලි ගෙඩි - 3

සුදු ලූනු බික් - 3

සාදන ආකාරය

තරමක භාජනයක් ගෙන එයට මුදවාපු කිරි ටික දමා ඊට මිරිස් කුඩු, කහ, තුනපහ කුඩු සහ ලුණු දමන්න. සුදුලූනු, ඉඟුරු සහ කජු අඹරා ගෙන මෙම භාජනයට දමා කළවම් කර විනාඩි 10 ක් පමණ තබන්න. පසුව තාච්චියක් ගෙන එයට තෙල් මේස හැඳි 3 ක් දමා රත් කරන්න. තෙල් රත්වූ පසු ලූනු, කරපිංචා, රම්පේ, එනසාල්, කුරුඳු ‍දමා බැද ගන්න. ලූනු දුඹුරු පැහැවන විට ශුද්ධකර සෝදාගත් ඉස්සන් හා කෑලි කපාගත් තත්කාලි එක්කර තරමක් බැදුණු පසු පසෙකින් තබන්න.

බුරියානි බත පිළියෙල කිරීමට

අවශ්‍ය වන්නෙ

හාල් (සම්බා හෝ බාස්මතී) - 450g

ලියාගත් රතුලූනු - 120g

කරාබු නැටි කිහිපයක්

කරඳමුංගු කරල් - 5

වතුර

කරපිංචා ස්වල්පයක්

රම්පෙ කැබල්ලක්

කුරුඳු කැබැල්ලක්

තෙල් මේස හැඳි - 4

පාන් පිටි - 500g

සාදන ආකාරය

මුලින්ම බත පිස ගැනීමට ප්‍රමාණවත් බඳුනකට තෙල් දමා රත් කරන්න. එයට කරපිංචා, රතුලූනු සහ කුළුබඩු දමා රන්වන් පැහැවන තුරු බදින්න. එයට සෝදා දිය බේරෙන්නට තබාගත් හාල් එකතු කොට විනාඩි කිහිපයක් බැදෙන්නට හරින්න.

පසුව වතුර දමා බත පිසගන්න බත භාගෙට තැම්බෙන විට මුලින් තාච්චියේ පිළියෙල කරගත් ඉස්සන් එකතු කරන්න. වතුර පිටි මිශ්‍රණයෙන් (පාන්පිටි 500 කට වතුර 250ml ක් දමා අනා පිළියෙල කරගන්න) බඳුනේ ගැට්ට සීල් කර ෆැරන්හයිට් අංශක 300 ක පමණ උෂ්ණත්වයේ පෝරණුවක තබා විනාඩි 45 ක් පිසින්න.

මේසයට යවන විට ඉස්සන් උඩින් දමා සරසා ගන්න.

 


රෝස්ට් කළ කුකුළු මස්

අවශ්‍ය ද්‍රව්‍ය

හොඳින් සෝදා පිරිසුදු කරගත්

සම්පූර්ණ කුකුළෙක්.‍

ගම්මිරිස් කුඩු තේ හැඳි - 1 ½

සුදුලූනු බික් - 4

අමු ඉඟුරු කෑලි - 1 (අඟලක තරම්)

උණු වතුරෙන් දියකරගත් සීනි මේස හැඳි - 1 ½

මී පැණි මේස හැඳි - 3‍

කරදමුංගු කරල් - 3

අවශ්‍ය තරම් ලුණු

බටර් හෝ මාතරින් මේස හැඳි - 5

පිළියෙල කර‍න ආකාරය

මුලින් ම සුදු ලූනු අමු ඉඟුරු කරඳමුංගු, කරාබුනැටි ඉතා සියුම්ව අඹරා ගන්න. භාජනයකට බටර් දමා එයට අඹරාගත් ද්‍රව්‍ය හා ගම්මිරිස් කුඩු, මී පැණි ද ලුණු ද එක්කර ඝන මිශ්‍රණයක් සාදා ගන්න. පසුව සාදාගත් මෙම මිශ්‍රණය කුකුළාගේ සිරුරේ ඇතුළත හා පිටත තවරා මඳ උණුසුම් පෝරණුවක පුළුස්සා ගන්න.

දියරය සාදා ගැනීමට මේවා අවශ්‍ය වේ.

පෙති කපාගත් ලොකු රට ලුනු ගෙඩි - 1

තක්කාලි ඉස්ම කෝප්ප - 1

ගම්මිරිස් කුඩු තේ හැඳි - 1 ½

ලොකුවට කෑලි කැපූ මාළු මිරිස් කරල් - 2

අඟල් ½ තරමට කැපූ කොළ බෝංචි - 50g

කු‍ඩාවට තීරු කැපූ කැරට් අල - 2‍

තක්කාලි කැබලි - 100g

වතුර අඬු කෝප්ප - 2 ½

බටර් මේස හැඳි - 3

ලුණු කුඩු අවශ්‍ය තරමට

සාදන ආකාරය

සාස්පානයකට බ‍ටර් දමා ළිප තබා රත් වනවිට එයට ලූනු පෙති දමන්න. එය මඳක් තැම්බීගෙන එනවිට එයට වතුර, ගම්මිරිස්, තක්කාලි ඉස්ම, මාළු මිරිස්, කැරට්, බෝංචි දමා ළිප තබා හින්දා ගන්න. මෙය සෝස් එකක් සේ උකු විය යුතුයි. ඉන්පසු මේසයට යැවීමට සුදුසු තැටියක් ගෙන සළාද කොළ තක්කාලි පෙති වැනි දෙයකින් සරසා ඒ මත රෝස්ට් කරගත් කුකුළා කඩා පිළියෙල කරගත් දියරය කුකුළා මතට වත්කර මේසයට යවන්න.


කජු සමඟ නෙලුම් අල

අවශ්‍ය ද්‍රව්‍ය

පෙඟෙන්නට හැර ශුද්ධ කරගත් කජු මද - 250g

පෙති කපා හොඳින් සේදූ නෙළුම් අල - 150g

සිහින්ව කපාගත් සුදුලූනු බික් - 5‍

සිහින්ව කපාගත් රතු ලූනු පෙති - 8

සිහින්ව කපාගත් අමු මිරිස් කරල් - 5

කැබලි කපාගත් තක්කාලි ගෙඩි - 1

අමු තුනපහ කුඩු තේ හැඳි - 2

කහ කුඩු තේ හැඳි - ½‍

පොල්තෙල් මේස හැඳි - 1

රම්පේ, කරපිංචා ස්වල්පයක්

අවශ්‍ය ප්‍රමාණයට ලුණු

දිය කිරි කෝප්ප - 4

මිටි කිරි කෝප්ප - 4

සාදන ආකාරය

පිරිසිදු භාජනයක් ගෙන ළිප තබා තෙල් හැඳි 1 ක් පමණ දමා රත් කරන්න.

දැන් එයට සුදුලූනු, රතුලූනු, අමුමිරිස්, රම්පේ, කරපිංචා, කුරුඳුපොතු දමා රන්වන් පාට වනතුරු බැද ගන්න. පසුව එයට කජු මද සහ නෙළුම් අල එකතු කර උළුහාල්, තුනපහ කුඩු, කහකුඩු, ගම්මිරිස් කුඩු, තක්කාලි සහ ලුණු දමා හොඳින් කලවම් කර දිය කිරෙන් තම්බා ගන්න. තැම්බුණු පසුව මිටිකිරි දමා සුළු වෙලාවක් හොඳින් බිස ගන්න.

 


අඹ මෝජු

අවශ්‍ය ද්‍රව්‍ය

අමු අඹ ගෙඩි - 3

බැදගත් තුනපහ මේස හැඳි - 11/2

මිටිකිරි කෝප්ප - 2

දියකිරි කෝප්ප - 1‍

බැදගත් මිරිස් කුඩු තේ හැඳි - 1

ගම්මිරිස් කුඩු තේ හැඳි - 1

රතුලූනු ගෙඩි - 10

සුදු ලූනු බික් - 5

කුරුඳු පොතු කරපිංචා ස්වල්පය බැඟින්

අමුමිරිස් කරල් - 4

කහකුඩු තේ හැඳි - ½

උම්බලකඩ මේස හැඳි - 1

අඹරාගත් අබ තේ හැඳි - ½

ලුණු රස පදමට

සාදන ආකාරය

අඹ කැබලි වලට කපා ගන්න.

බැදගත් තුනපහ, වියළි මිරිස්, රතුලූනු, සුදුලූනු, කුරුඳු පොතු, රම්පේ, කරපිංචා, කහ, අමු මිරිස්, උම්බලකඩ, ලුණු, ගම්මිරිස්, ඇතිලියකට දමා ඊට අඹ කැබලි දමා හොඳින් කලවම් කරගන්න. පසුව එයට දියකිරි එක්කර ළිප මත තබා තැම්බී එනවිට මිටිකිරි ද එක්කර උතුරවා ළිපෙන් බාගන්න. තෙම්පරාදු කළවිට රසය තවත් පංකාදු ය.

 

Comments