දේශීය සංගීතයේ උන්නතියට වෙහෙසුණු මාලිනිය | සිළුමිණ

දේශීය සංගීතයේ උන්නතියට වෙහෙසුණු මාලිනිය

ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද මාලනී බුලත්සිංහල මහත්මියගේ ගුණ සැමරුම මාර්තු මස 29 වන දිනට යෙදී තිබිණි. එය නිමිතිකරගෙන මෙම ලිපිය සම්පාදනය කරන ලදි.

“සිතක් කෙළෙසද මේ තරම්... වේදනාවන් විඳින්නේ...

නෙතක් කෙලෙස ද ... මේ තරම්

දුකට කඳුලැළි සලන්නේ”

 

අපේ රටේ සංගීත ක්ෂේත්‍රයෙහි උන්නතිය උදෙසා කිසියම් හෝ මෙහෙවරක් සිදු කළ නිර්මාණකරුවන් සිටින්නේ, ඉතාම සුළු පිරිසකි. ඒ අතුරින් ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද මාලනී බුලත්සිංහල මහත්මියට හිමි වන්නේ, සුවිශේෂී වූ ස්ථානයකි. මාලනී බුලත්සිංහල මහත්මිය සෑම විටම දේශීය සංගීතය නව මගකට ගැනීමට උනන්දු වූ කලාකාරිනියකි.

මාලනී බුලත්සිංහල මහත්මියට කලා ලොවෙහි අත්පොත් තැබීමට අවස්ථාව උදා වන්නේ, තම නිවෙස තුළ දීම ය. කලා ක්ෂේත්‍රයේ නියැළී සිටි තම පියාගේ උදව් උපකාර මධ්‍යයේ සංගීතය ප්‍රගුණ කරනු ලැබූ අය සෑම විටම අලුත් නිර්මාණ බිහි කිරීමට පෙළඹී තිබේ. මාලනී බුලත්සිංහල මහත්මිය, ගුවන් විදුලිය මාධ්‍ය ඔස්සේ ප්‍රථම වරට ස්වකීය හඬ අවදි කර ඇත්තේ, “යාල... යාල... යාල... යන්න... සතුන් බලන්න...” යන විනෝදාත්මක ගීතය ගායනා කිරීමෙනි. එම ගීතය ඇය එදා ගායනා කර ඇත්තේ, බටහිර සංගීත කණ්ඩායමක නායකයකු වූ ග්‍රේන් ලෙනාර්ඩෝස් සමඟ ය. එසේම ඇගේ ගායන හැකියාව දියුණු කර ගැනීමට, එදා ගුවන් විදුලියෙහි විකාශය වූ ‘ළමා පිටිය’ වැඩසටහන ද බෙහෙවින් ඉවහල් වී තිබේ.

සංගීත විෂයට විශේෂ නිපුණතාවක් දැක්වූ මාලනී රජයේ සංගීත විද්‍යාලයෙන් මෙන්ම භාරතයේ ලක්නව් හී භාත්ඛණ්ඩ සරසවියෙන් ද උසස් අධ්‍යාපන ලැබුවා ය. ආරම්භක වකවානුව තුළ ඇගේ රැකියාව බවට පත් වූයේ, ගුරු වෘත්තියයි. ඒ අනුව පාසල්වල සංගීතය ඉගැන්වීමේ කටයුතුවල නිරත වූ ඇය, ගායන ක්ෂේත්‍රයෙන් කිසි විටක ඉවත් නොවී ය. එමෙන්ම ගුවන් විදුලියෙහි ප්‍රබුද්ධ ගී වැඩ සටහනට සහභාගී වෙමින් ගැයූ “සඳ මඬලේ සිට... තරු මඬලේ සිට...” ගීතය එතුමිය විසින් ගුවන් විදුලි වැඩසටහනකට ගායනා කළ මුල්ම ගීතයයි. විශාරද මාලනී බුලත්සිංහල මහත්මිය අපේ රටේ ගීත ක්ෂේත්‍රයට විවිධ මුහුණුවරයන්ගෙන් යුත් හරවත් නිර්මාණ සමුදායක් දායාද කිරීමට සමත් වූවා ය. ඒ අතරින් “තුන් රුවණේ සරණයි...” “පිපෙන මලකට...”, “හිමි සනරාමර...” යන ගීත වලට ද ප්‍රමුඛස්ථානයක් හිමි වේ. එසේම අපේ රටේ සංගීත ක්ෂේත්‍රයෙහි දැවැන්තයන් සමඟ යුග ගී ගැයීමට ද අවස්ථාව උදා කරගනු ලැබූ විශාරද මාලනී බුලත්සිංහල මහත්මිය විශාරද ගුණදාස කපුගේ මහතා සමඟ ගායනා කළ “දම් පාටින් ළා සඳ බැස යනවා...” යන ගීතය අදටත් බොහෝ රසික රසිකාවියන්ගෙන් ඈත් වී නොමැත.

“ඔබට මා... ආදරය කළ බව මෙතරම්...” නැමැති ගීත ගායනා කිරීමට විශාරද මාලනී බුලත්සිංහල මහත්මිය අද අප අතර නොමැති නමුත්, එතුමිය‍ගේ හඬ චායාව තවමත් අපගේ හදවත් තුළ තැන්පත් වී ඇත.


හසරැජින මර්සි සමරමු

ප්‍රවීණ කලාකාරිනියක වූ මර්සි එදිරිසිංහ මහත්මිය අප අතරින් සමුගෙන වසර 3 ක් සපිරුණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ගරු අර්නස්ට් පෝරුතොට පියතුමාගේ මඟපෙන්වීම මත වැලිකල රත්නායක මහතාගේ 'උගුරට හොරා බෙහෙත් 'වේදිකා නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකා‍වට අවතීර්ණ වූමර්සි එදිරිසිංහ වසර 50 කට අධික කාලයක් අඛණ්ඩව ජනහද දිනාගනිමින් වේදිකා නාට්‍ය, ගුවන්විදුලිය, රූපවාහිනිය සහ සිනමාවෙන් අප සමාජයට කළ මෙහෙවර කිසිසේත් ලඝුකර දැක්විය නොහැකිය.

'ඒ' ශ්‍රේනියේ ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක ලෙස ද කටයුතු කළ මර්සි බෞද්ධ, කිතුණු හා විශ්ව සාහිත්‍ය නාට්‍ය මෙන්ම ගුවන් විදුලි රඟමඬල වැනි වැඩසටහන් වලට ස්වකීය දායකත්වය ලබා දෙමින් රසික රසිකාවියන් බොහෝ පිරිසකගේ හදවතට සමීප වූවාය.හන්දියේ ගෙදර මිසිස් ඩූ ලිට්ල් ගේ චරිතය මුවන් පැලැස්ස නාට්‍යෙය් එතනා සහ වජිරා නාට්‍ය යේ ජේන් අක්කා යන චරිත අදටත් අපගේ මතකයෙන් ඈත්වී නැත. එසේම ඇනස්ලි ඩයස්, සැමුවෙල් රුද්‍රිගු සහ බර්ටි ගුණතිලක වැනි ප්‍රවීණ හඬ නළුවන් සමඟ විනෝද සමය වැනි වැඩ සටහන් වලට සහභාගී වූ මර්සි අතිශයින් ජනප්‍රියත්වයට පත්විය.

ප්‍රවීණ නාට්‍ය වේදී සුගතපාල ද සිල්වා මහතා එදා මර්සිව ‘නිල්කටරොල් මල්‘ වේදිකා නාට්‍ය යේ රඟපෑම සඳහා තෝරා ගනු ලැබුවේ ඈ තුළ තිබූ සහජ දක්ෂතා හේතුවෙනි. පසුව හිත හොඳ අම්මණ්ඩි, දෑවැද්දෝ, දුන්න දුනු ගමුවේ, මුතු කුමාරි සහ තුරඟ සන්නිය ආදී වේදිකා නාට්‍යවල රඟපෑමට ඇයට අවස්ථාව හිමිවිය.

එසේම ප්‍රවීණ නාට්‍ය වේදී ඩග්ලස් සිරිවර්ධන ගේ ‘අඹු සැමියෝ‘ සහ ප්‍රවීණ නාට්‍ය වේදී ආර්. ආර්. සමරකෝන් ගේ ‘ඉඩම‘ ගුණසේන ගලප්පත්ති මහතාගේ ‘මුහුදු පුත්තු‘, සඳ කිඳුරි සහ ලියතඹරා යන වේදිකා නාට්‍යවලද රඟපෑවාය.ලූෂන් බුලත්සිංහල මහතාගේ තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍ය යේ එන ‘මඩේ ලගින තාරාවුන්‘ ගීතය ගයමින් ගායිකාවක ලෙසද ජනප්‍රියත්වයට පත් වූවාය.

ඇතැම් අවස්ථාවලදී තම ජීවන ගමන් මඟ දුක් කම් කටොලු මධ්‍ය යේ ගෙවාදැමීමට සිදු වූවත්, අපගේ මුවට හසරැලි නැංවීමට කටයුතු කළ මර්සිට අපගේ කෘතවේදීත්වය පළ කළ යුතුව ඇත.

නැවත වරක් මේ රටේම ඉපිද අප සැමගේ මුවට හසරැලි නැංවීමට සමත් ‘හස රැජනක්‘ ම වේවායි ප්‍රාර්ථනා කරමු.

Comments