මම මෙහෙදි ඇති තරම් පරිප්පු කෑවා | සිළුමිණ

මම මෙහෙදි ඇති තරම් පරිප්පු කෑවා

 ආබාධිතබවට වඩා මගේ දක්ෂතා ප්‍රබලයි

 අත් පා හතර නැතත් මට මවුපියො හතර දෙනෙක් ඉන්නවා

දෙපා ඇති ඇතැම් දෙනා පාවහන් ඉල්ලා හඬා වැලපෙති. එහෙත් ඔහු පවසන්නේ පාවහන් නොපැලඳ ජීවත් වීමට ලැබීම ගැන තමා බොහෝ සතුටුවන බවය. මොහු කවුද? සැමදේම තිබියදීත් නැති දේ වෙනුවෙන් හඬා වැලපෙන්නන්ට ආදර්ශයක් දෙන ඔහු අපූරු තරුණයෙකි. යානිස් මැක්ඩේවිස්. ඔහු විසි හතර හැවිරිදිය. අතක පයක ඇඟිල්ලක් කැපුණු විට හෝ තුවාල වූ විට හෝ ළතැවෙන පසුතැවෙන අද සමාජයේ බොහෝ දෙනාට ඔහුගෙන් ලද හැකි ගුරුහරුකම් බොහෝය. ජර්මානු ජාතික මේ තරුණයා පසුගිය දිනක මෙරටට පා තැබුවේ දෙවැනි වරටය. ඒ ගමනේ දී ඔහු හා කතාබහක නියැළීමට මට ද අවස්ථාවක් ලැබිණි. ඔහු සිය ජීවිත අත්දැකීම් අන් අය හා බෙදා හදා ගන්නේ බොහෝ සතුටිනි. ඔහු වෙතින් සමාජයට ඉටුවන මෙහෙවරක් ලෙස සලකාය. කෙනෙක් සිය ජීවිත අත්දැකීම් ඇසුරෙන් තම ජීවිත සාර්ථක මඟකට යොමු කර ගන්නේ නම් එයම ඔහුගේ කාර්යයේ සාර්ථකත්වය යැයි ඔහු සතුටු වන්නේය.

මේ යානිස් මැක්ඩේවිස් හා අප කළ කතාබහය.

යානිස් උපන්නේ ජර්මනියේ බර්ලින් නුවරය. උපතේදීම අත් පා අහිමිව උපන් ඔහු තමා අන් අයගෙන් වෙනස් කෙනකු බව මුලින්ම තේරුම් ගන්නේ වයස අවුරුදු අටේදීය. එදින උදෑසන පවුලේ දරුවන් පාසල් යැවීමට සූදානම් කරන පියා යානිස්ට ඉක්මන් කරන ලෙස හඬ නඟයි. ඒ මොහොතේ රෝද පුටුවේ නොසිටි ඔහු පියා වෙතට පනිමින් යද්දී ඔහුගේම ප්‍රතිබිම්බය කන්නාඩියෙන් දකින්නේය. ඒ දසුන ඔහුගේ මුළු ජීවිතයම වෙනස් කළ බව ඔහු පවසයි.

"මං මීට පෙර මගේ ‍ප්‍රතිබිම්බය කන්නාඩියෙන් දැක තිබුණත් මෙතෙක් මා ගැන මා සිතා සිටි අන්දමට වඩා මම බොහෝ වෙනස්ය යන්න හැඟුණේ එදිනයි. මං අන් අයගෙන් වෙනස් කෙනෙක්ය යන්න එදා මා තේරුම් ගත්තා. ඇත්තෙන්ම එදින මා මා ගැනම තැතිගැනීමකට ලක් වුණා. මට මා ගැන ලජ්ජා හිතුණා. මා හරිම මෝඩපාටයි කියා හිතුණා. සැබැවින්ම මා ආබාධිතයකු බව මට තේරුම් ගියේ එදිනයි"

එදින සිතේ උපන් හැඟීමෙන් මිදීමට ඔහුට ‍බොහෝ කලක් ගත වූයේය. එතැන් පටන් ඔහු සිය පැන පැන යෑම වෙනුවට බිම ඇවිදීමට පටන් ගත්තේය. ඉන්පසු ඔහු තමාගේ සියලු ක්‍රියාකාරකම් ගැන සැලකිලිමත් වූයේය. ගමන බිමන වෙනස් කර ගත්තේය. තම ආබාධිත බව බාරගෙන ඊට අනුගතව හැසිරීමට ඉ‍ටා ගත්තේය.

මේ සියල්ලටම ධෛර්යය දෙමින් යානිස් පසුපස සිටියේ ඔහු ගේ කැපකරු මවුපියන්ය.

"මා හැදුණේ වැඩුණේ මා වැදූ මවුපියන් ළඟ නොවෙයි. මගේ උපත මගේ මවුපියන් තිගැස්මකට හා පුදුමයට ලක් කළා. ආබාධිත දරුවකු හදාවඩා ගැනීම ඔවුන්ට ප්‍රශ්නයක් වූ නිසා මාස දාහතරේදී මා හදාවඩා ගැනීමට වෙනත් මවුපිය යුවළකට දීමට ඔවුන් තීරණය කළා. එතැන් සිට මා හැදුවේ මගේ කැපකරු මවුපියන්. ඔවුන් මා වෙනම කෙනකු ලෙස නොසිතෙන අයුරින් සැලකුවා. මට ඉතා සුන්දර ළමාවියක් ගත කිරීමට මඟ පෑදුවා. මා වැදූ මවුපියන් සමඟ ඉතා හොඳ සබඳතාවක් පවත්වා ගෙන යනවා. මගේ පවුලේ සහෝදරියන් දෙදෙනයි. සහෝදරයන් හතර දෙනයි. ඔවුන් සැ‍ෙව‍ාම මට ඉතාම ආදරයෙන් සලකනවා. මට අත් පා හතරම නැති වුණත් මට මවුපියවරු හතර දෙනෙක් ඉන්නවා. මා වැදූ මවුපියන් මා කැපකරු මවුපියන්ට බාරදීම ගැන දැන් මා හිතන්නේ ඔවුන් මා සම්බන්ධයෙන් කළ යුතු හොඳම දේ එදා කළ බවයි"

සිය ආබාධිත බව ජීවිතයේ ඉදිරි ගමනට බාධාවක් කර නොගත් යානිස්ට තමන්ගේ කටයුතු තමන්ම කර ගැනීමට ඉගැන්වූයේ කැපකරු මවුපියන්ය. ආත්මාභිමානයෙන් යුතු පුද්ගලයකු ලෙස සමාජයට පිවිසීමට ඔහුට මඟ පෙන්වූයේ ඔවුන්ය. අප රටේ ආබාධිත දරුවකු කෙසේ වුවද බොහෝ දරුවන්ට සෑම කටයුත්තකදීම මවුපිය සහාය නොඅඩුව ලැබේ. එහෙත් යානිස් පවසන පරිදි ඔහුගේ කැපකරු මවුපියෝ කුඩා කල සිටම ඔහුට ස්වාධීනවීමට හුරු කළහ.

විසි හතර වැනි වියේ පසුවන යානිස් ජර්මානු විශ්ව විද්‍යාලයක ව්‍යාපාරික ආර්ථික විද්‍යාව හදාරයි. සිත් ගන්නා අයුරින් කතා කරයි. ධනාත්මක චින්තනය ගැන දේශන පැවැත්වීමට ඔහුට ලොව නන්දෙසින් ආරාධනා ලැබේ. ඔහු අකුරු ලියන්නේ මුවගින් ගත් පෑනකිනි. අද යානිස් ගේ ගමන බිමන විශේෂිත වූ මෝටර් රථයකිනි. ඔහුගේ ගමන් සඳහා සුවිශේෂ රෝද පුටුවක් වෙයි. ලෝකය වටා යන ගමන්වලදී ඔහු එම රෝද පුටුව රැගෙන යයි.

යානිස් මේ වෙද්දී මුළු ජර්මනිය පුරාම පුද්ගලයන් අමතා ඇත්තේය. ඊට අමතරව ස්විට්සර්ලන්තයේ ද සංචාරය කරමින් ධනාත්මක චින්තනය ගැන දේශන පවත්වා ඇත්තේය. ඔහුට ඉන්දියාව, මාලදිවයින, පාකිස්තානය හා බංග­්ලාදේශය යන රටවලින් දේශනා සඳහා ආරාධනා ලැබී තිබේ.

"මා දේශන පැවැත්වීම ආරම්භ කළේ මීට වසර දෙක තුනකට පෙරයි. මගේ එකම අරමුණ රටරටවල සංචාරය කරමින් තවදුරටත් දේශන පැවැත්වීමයි. මට විවේක කාලයක් ඇත්නම් මා එය කැප කරන්නේත් ඒ වෙනුවෙන්. ඒ සමඟම මගේ පොත සිංහල හා දෙමළ භාෂාවලින් පළ කිරීමටත් මට අවශ්‍යයි. ඒ හැරුණුවිට මට කිරීමට බොහෝ දේ තිබෙනවා. මා අප රටේ ආබාධිතයන් වෙනුවෙන් හඬ නඟනවා. ඕනෑම රටක ආබාධිතයන්ට ස්වාධීනව නැඟී සිටිමට හැකි පරිසරයක් සැකසිය යුතුයි. මේ රටේ අලුතෙන් ගොඩනැගිලි තැනෙනවා මා මෙරටට පය ගැසූ දා සිට දුටු දෙයක්. ඒවා සකසද්දී මුල් අදියරේදීම ආබාධිතයන්ට පහසුවෙන් යෑමට ඒමට හැකිවන අන්දමට ඉදිකරන ලෙස මා ඉල්ලා සිටිනවා. අප රට වැනි බොහෝ රටවල අාබාධිතයන් සඳහා පහසුකම් බොහොමයක් තිබෙනවා. ඔවුන්ට ස්වාධීන වීමට එය හොඳ රුකුලක් වේවි."

ඔහු මෙවර අප රටට පැමිණියේ දෙවැනි වරටය. මේ වන විට ඔහු නුවර දළදා මාලිගාව, යාල ‍වනෝද්‍යානය, හික්කඩුව, ගාල්ල හා සීගිරියේ ද සංචාරය කර ඇත්තේය. ඔහු අප රටට දක්වන්නේ දැඩි ආදරයකි; ළෙන්ගතුකමකි. අප රටේ ගත කළ කාලය ඔහුගේ ජීවිතයේ ලද සුන්දරම අත්දැකීමක් ලෙස ඔහු හඳුන්වයි.

"ගුවන් තොටට පැමිණි මෙහොතේ සිට මට දකින්න ලැබුණේ කාරුණික මිනිසුන්. මා ලංකාවට ඒමට පෙර ජර්මනියේ පදිංචි ශ්‍රී ලාංකික හිමිනමකගෙන් ලංකාව පිළිබඳ, මෙරට සංස්කෘතිය ගැන කරුණු විමසුවා. මා දැනුවත් ‍කළේ ආබාධිතයකු ලෙස ලංකාවට යනවිට තරමක් පරිස්සම් විය යුතු බවයි. එහෙත් මෙහිදී දේශනවලින් පසු බොහෝ දෙනා මා වට කර ගත්තා. මවුපියන් සිය ආබාධිත දරුවන් මා කරා ගෙන ආවා. මෙරට දී මා ගිය සෑම තැනකින්ම මට ලැබුණේ සුහද පිළිගැනීමක්. එසේම ඔවුන් මා ගැන ආඩම්බර වුණා. මට එය පුදුමයක්; එසේම ආඩම්බරයක්. ඇත්තෙන්ම අපේ රටේ ජනතාවට වඩා මෙහේ ජනතාව වෙනස්. ඒවගේම මේ රටේ ජනතාව මා සමඟ එකට සිට ජායාරූප ගැනීමට දැක්වූයේ පුදුම උනන්දුවක්. අපේ රටේ නම් පොතක් එළිදැක්වූවිට ජනතාවට අවශ්‍ය පොතට අත්සන ගැනීම පමණයි. ජායාරූප ගැනිමට උනන්දු වන්නේ නැහැ. මට එය පුදුමයක්. එසේම ආඩම්බරයක්."

යානිස්ට තම සියලු කටයුතු තමාම කර ගැනීමට හැකි වුවත් ඔහුට ආහාර පිස ගැනීමට නොහැකිය. තමා අහර පිසුවහොත් ඒවා ආහාරයට ගැනීමට නොහැකි වනු ඇතැයි ඔහු අප හා පැවසුවේ සිනාසෙමිනි. ඔහු අප රටේදී වඩාත්ම ප්‍රිය කළ ආහාරය වූයේ පරිප්පුය. තමන් මෙ රටේදී ඇති තරම් පරිප්පු ආහාරයට ගත් බවද ඔහු පැවසුවේය. අපේ රටේ ආහාර ප්‍රණීත වූවත් ඒවා සැර බව ඔහු පවසයි. එහෙත් ඔහු යහමින් ‍රොටී සහ බත් ආහාරයට ගෙන ඇත්තේය.

ඔහු තරුණය. එහෙත් යොවුන් ආදරයේ චමත්කාරය ඔහු තවමත් විඳ නැතිසේය. අප ඔහුගෙන් පෙම්වතියක සිටීදැයි අසද්දී ඔහු පැවසුවේ ඒ ගැනවත් විවාහවීම හා දරුවන් ලැබීම පිළිබඳවත් තමන් තවමත් නොසිතූ බවයි. යානිස් ප්‍රියමනාපය. කොයි රටකට ගියත් ඔහුට මිතුරු මිතුරියෝ එකතු වෙති. ඔහු මෙවර ලංකාවට පැමිණියේ ද මිතුරු මිතුරියන් දෙදෙනකු සමඟය. පසුගිය ගිම්හාන සමයේදී ජර්මනියේදී මිතුරු වූ ඔවුහූ දැන් ලෝකයේ රටවල ඔහු හා සංචාරය කරති.

ලෝකයේ මේ ආකාරයෙන් දෑත් දෙපා නොමැතිව උපත ලැබ තම ජීවිතය ආපස්සට නොයවා සාර්ථක කරගනිමින් ධනාත්මක ජීවිතය පිළිබඳ ලොවම දැනුවත් කරන අනෙක් පුද්ගලයා නික් ය. ඔස්ට්‍රේලියානු ජාතිකයකු වන ඔහු ගැන ලොවම දනී. එසේම දෑත් නැතත් දෙපා ඇති ජෙසිකා ‍අමෙරිකානු ජාතිකයෙකි. ආබාධිත බව පසෙක ලා ජීවිතය ජයගත් ඇය ගුවන් නියමුවරියකි.

අප අවසානයේ යානිස්ගෙන් විමසුවේ නික් පිළිබඳ ඔහු කුමක් සිතන්නේද යන්නයි.

"නික් මං ‍වගේමයි. මං එයා ගැන දැන ගත්තේ මට වයස අවුරුදු 16දී විතර. ඒ අලුත මා ඔහු හා සම්බන්ධවීමට දැඩි උත්සාහයක් ගත්තා. මට මඳක් හෝ නික් අනුකරණය කළ හැකි යැයි හිතුවා. ඔහු ගැන ඇති වීඩියෝ හා පින්තූර යූ ටියුබ් ඔස්සේ බැලුවා. ඒත් ඔහු ඇසුරු කරන කෙනකු හෝ සම්බන්ධ කර ගැනීම අපහසු වුණා. මට ඔහු අදාළ නැහැ, මගේ ගමන මා යායුතු යැයි පසුව මා හිතුවා. ඒ සඳහා මට දෙමවුපියෝ උදව් කළා. එසේම මා කෙසේවත් නික් අනුකරණය කරන්නේ නෑ. ලෝකය වටා යද්දී බොහෝ දෙනා මා නික් කියා හිතනවා. ඔහු ජනප්‍රියයි. දැන් මාත් ඔහු මෙන්ම ජනප්‍රියයි. එනිසා ළඟදීම ඔහුට මා මුණ ගැස‍ීමට අවශ්‍ය වේ යැයි මා හිතනවා." 

Comments