දිගට තිබුණු කොණ්ඩය හොරෙන් කපලා වහ­ල­යට විසි­කළා | සිළුමිණ

දිගට තිබුණු කොණ්ඩය හොරෙන් කපලා වහ­ල­යට විසි­කළා

අමතක නොවන මතක විශේෂාංගයට මෙවර මතකය අවදිකරන්නේ අපේ රටේ සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. දැනට දශක ගණනාවකට පෙර මෙරට රංගන ශිල්පිනියන් අතර ඉහළම ප්‍රේක්ෂක ආදරය දිනු ඇය ශ්‍රියානි අමරසේන. ශ්‍රියානිට ජීවිතයේ අමතක නොවන සිඳුවීම් ගොඩක් ඇති බවයි අප හා පැවසුවේ. ඒවායින් අමතක කරන්න බැරිම මතකයන් කිහිපයක් රසදුනට පැවසුවේ මෙසේයි.

 

කොළොන්නාවේ මීතොටමුල්ලේ ගෙවු කුඩා කාලයේ හැම සිදුවීමක්ම අමතක නොවන මතකයන්. ඒ කාලයේ ලැබූ අද්දැකීම් හරිම මිහිරියි. කොළොන්නාව මගේ අම්මාගේ ගම. එහෙ තමයි අපි පුංචි කාලෙ පදිංචිවෙලා සිටියෙ. දෙමවුපියන්ට සිටිය එකම දරුවා නිසා මම හරිම සැපවත් ජීවිතයක් ‍ගතකළා.

• ගංවතුරට ගහ‍ගෙන යන්න ගියා

අපේ ගෙවල් ආසන්නයේම බන්ටෙකක් තියෙනවා. ගං වතුර කාලෙට ඔය බන්ටෙකේ වතුර පිරිල උතුරනවා. අවට ඉඩම් පවා වතුරෙන් යටවෙනවා. එතකොට මට අවුරුදු හයක් විතර ඇති. අහළ පහළ ගෙවල්වල මගේ යාළුවො ගොඩක් හිටියා. අපේ ගේ ඉස්සරහ හැමදාම කාර් එකක් නවත්වල තියෙනවා. ඒක අයිතිකෙනා රූපට් මාමා. අපි යාළුවො කට්ටිය රූපට් මාමගේ කාර් එකේ නැගලා බන්ට්එකේ ගංවතුර බලන්න ගියා. යන්න කලින් අම්ම කිව්වා ගියාට කමක් නෑ වතුරට නම් බහින්න එපා කියල. යනකොට බන්ට්එකේ වතුර බැහැල ගුරුපාරවල වතුර පිරිලා. අපේ ඉල්ලීමට රූපට් මාමා කාර් එක ගුරුපාරට දැම්මා. ටික දුරක් යනකොට අපිව ගිලෙන්න යනව වගේ. කොහොමහරි බන්ට්එක උඩ හිටපු කට්ටියක් ඇවිත් ගහගෙන ගිය කාර් එකේ සිටි අපිව බේරගත්තා. අම්මා හොඳටම බයවෙලා අඬනවා. දොස්තර ළඟට ගියාම උරහිසේ ඇටේ පැනලා කීවා. උරහිසට මාසයක් විතර සිංහල බේත් බැන්දා. එදායින් පස්සෙ නම් කවදාවත් ඒ වගේ හිතුවක්කාරවැඩ කළේ නෑ. ඒ යාළුවො අද කොහෙද දන්නෙ නෑ.

• රෑට රෑට උගුරැස්ස හොරකමේ

අපේ ගෙදර නැවතිලා හිටියා අපිට ඥාතිවන පුංචි අම්මා කෙනෙක්. හැබැයි එයා නෑකමට පුංචි අම්මා වුණාට මට වඩා අවුරුදු තුන හතරක් වගෙයි වැඩිමහල්. එතකොට මට අවුරුදු 9ක් විතර ඇති. අපේ ගේ ඉස්සරහ ගෙදරක තිබුණා උගුරැස්ස ගහක්. අපි රෑට එක කාමරයක නිදාගත්තෙ හොරෙන් උගුරැස්ස කඩන්න යන්න. අම්මලට හොරෙන් රෑට දොර ඇරගෙන ගිහින් ඉස්සරහ ගෙදර වත්තට ඇතුල්වෙලා උගුරැස්ස කඩාගෙන එනවා. කාමරයට ඇවිත් හොරෙන්ම කනවා. දවස් ගානක්ම ඔය හොර වැඩේ ජයටම කරගෙන ගියා. දවසක් උදේ ඉස්කෝලෙ යන්න ලෑස්තිවෙනකොට අම්ම අහනව මොකද මේ දත්වලට වෙලා තියෙන්නෙ, මොනවද මේ කහට කියලා . තාත්තට තේරුණා හොර වැඩේ. අම්මට හොරෙන් අවවාද කළා ආයිත් ඒ වැඩේ කරන්න එපා කියලා. එදායින් පස්සෙ නම් හොරෙන් උගුරැස්ස කඩන්න ගියේ නෑ. ඒ වගේ ගෙඩිපිරිච්ච ගහක් මම ජීවිතේටම දැකලා නෑ.

• දිග කොණ්ඩේ කොට කරලා

මියුසියස් විද්‍යාලයේ හත හෝ අට වසරේ ඉගෙන ගන්න කාලේ මට දිග කොණ්ඩයක් තිබුණා. මාව ගුරුවරු සහ ළමයි හඳුනන්නේ අර දිග කොණ්ඩය තියෙන ළමය කීවහම. මට මතකයි තාත්ත උදේට ස්ටූල් එකක නග්ගල කොණ්ඩෙ පීරල දෙකට ගොතල ස්කෝලෙ යවන්න ලෑස්ති කරනව. මට කොණ්ඩෙ දිගයි කියල විශේෂයක් නෑ. අනිත් ළමයිට වගේ කොට කොණ්ඩයක් තමයි මටත් ඕනෑවෙලා තිබුණේ. ඒකට මට හිතුණා වැඩක් කරන්න ඕන කියලා. ගෙදරට හොරෙන්ම දවසක් කොණ්ඩෙ අඟල් දෙකක් විතර කපල කොළයක ඔතල වහලයට විසිකරනවා.

ඔය විදිහට දවස් ගාණක්ම කළා. කොණ්ඩෙ පීරන්න ගිහින් තාත්තත් කියනව මොකද දන්නෙ නෑ දරුවගෙ කොණ්ඩෙ හොඳටම අඩුවෙලා කියල. ඔහොම ඉන්නකොට දවසක් වහලය සුද්ද කරන්න නැග්ග මනුස්සයට කොණ්ඩෙ කපල විසිකළ ගුලි ටික අසුවෙලා. තාත්තට පෙන්නුවා මේ මොනවද කියා. එදානම් හොඳටම බැනුම් ඊට පස්සෙ මගේ කොණ්ඩෙ දිගට වැවුණේ නෑ. ඒ වගේ මෝඩ වැඩත් පොඩිකාලෙ කළා.

• සිනමා නිළි පිස්සුවක්

පවුලට සිටි එකම දරුවා නිසා දෙමවුපියන් හැම තිස්සෙම මම කැමැතිදේ කරන්න ඉඩ දුන්නා. අවුරුදු හතක්ම මවුකිරි බිව්වා මට මතකයි. පොඩි කාලෙ ඉදන්ම මට චිත්‍රපට, වේදිකා, ටෙලිනාට්‍ය, බලන පිස්සුවක් තිබුණා. සිංහල සිනමාවේ රුක්මණී දේවියටත්, හින්දි සිනමාවේ වෛජයන්ති මාලාටත් පුදුම ආසාවක් තිබුණේ. මගේ ජීවිතයේ ලොකුම ආසාවක් තිබුණා කවදා හෝ මේ අය දකින්න ලැබෙනවානම් කියා. මම හිතන්නෙ ඒ බලාපොරොත්තුව වෙන්න ඇති මාව සිනමා නිළියක් කළේ. අම්ම තාත්තට කීවට රඟපාන්න ආසයි කියා ඔවුන් එයට වැඩි කැමැත්තක් දැක්වුයේ නෑ. මගේ විවාහයෙන් පස්සෙ ඒ හැමදෙයක්ම ලැබුණා.

• මංගල දිනයට විශේෂ අමුත්තෙක්

මගේ විවාහය සිදුවුණේ විසිතුර සිනමා පත්තරයේ කර්තෘවරයා වු ආතර් .යු. අමරසේන මහතා සමග. ඔහු සිනමා පුවත්පතක කතුවරයෙක් නිසා අපේ මංගල උත්සවයට කලාකාරයො විශාල පිරිසක් ආවා. ඒ අතර රුක්මණී දේවියගේ පැමිණීම මට ජීවිතේටම අමතක නොවන සිදුවීමක්. ඇය අපේ මංගල උත්සවයට පැමිණියා. මට අදහගන්නත් බැහැ. මා සමග කතා කළා. මගේ ජීවිතේ ලස්සනම දවසෙ ලොකුම බලාපොරොත්තු දෙකෙන් එකක් ඉටු වුණා. විවාහයෙන් පස්සෙ තමයි මා රංගනයට එක්වුණේ. ඒ සීයේ නෝට්ටුව චිත්‍රපටයේයි. එම චිත්‍රපටයේ රුක්මණී දේවියත් රඟපෑවා. එම අවස්ථාව හැමදාම මතකයේ තිබෙනවා.

• වෛජයන්තිමාලා ලංකාවට ඇවිත්

පුංචි පුංචි චරිතාංග නිළියක්ව සිටින කාලෙක තමයි මගේ සැමියා ගෙදර ඇවිත් කීවේ වෛජයන්තිමාලා ලංකාවට එනවා ආරධනාපත්‍රයක් ලැබුණා කියා. මම එකවරම ඇහුවේ මාවත් එක්ක යනවද කියායි. ‍වෛජයන්තිමාලාගේ පින්තූර ඇලවු පොතක් මම ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම අලවනවා. ඒකත් අරගෙනයි එදා මම ගියේ. මම ඒක ඇයට පෙන්නුවා. එය දුටුවිට ඇයට හරිම සතුටුයි. මා සමග කතා කළා. හරිම නිහතමානියි. එදා මාර සතුටක් දැනුණා ‍මගේ බලාපොරොත්තු දෙකම ඉටුවීම ගැන.

• හොල්මන් තානායමක

සිරි කුලරත්නගෙ සිකුරු දසාව චිත්‍රපටයේ රූගත කිරීම් කළේ ගල්ගමුවේ විශාල කැලෑබද ප්‍රදේශයක. ඒ ජේ. වී. පී කලබල ඉවර වු කාලයේ වගෙයි. අපිට නැවතිලා ඉන්න ලැබුණේ ගල්ගමුව පොලීසිය ඉදිරිපිට තානායමක. දෙනවක ඇන්ටිත් මා සමග එහි නැවතුණා. මගේ තනියට හිතවත් ප්‍රේමා අක්කාත් ගියා. හැබැයි සිද්ධිය වු දින රාත්‍රි දෙනවක ඇන්ටි සිටියේ නෑ.රෑ 12ට විතර අපි සිටිය කාමරෙත්, ඉන් පිටතත් අමුතු අමුතු ශබ්ද ඇසෙනවා. හරිම භයංකර ගතියක් තමයි දැනුනෙ. අපි දෙන්නම හොඳටම බයවෙලා. කොහොමහරි එළිවෙනකම් නින්ද ගියේ නෑ.

පසුවදා උදෙන්ම තේ අරගෙන ආපු වේටර්ගෙන් ඇහුවම එහෙම දෙයක් නෑ කිව්වා. එදා දෙනවක ඇන්ටිත් ආවා, දවල්ට කෑම ගන්නකොට වෙනත් වේටර් කෙනෙක් හිටියා. එයාට රෑ සිද්දිය කිව්වම ජේ. වී. පී කාලෙ ඉස්සරහ පොලිසියට අල්ලාගෙන ආපු ළමයි මේ තානායමේ කාමරයේ හිරකරලා තමයි මරලා තියෙන්නේ කිව්වා. මුලින්ම තානායම අලුත්වැඩියා කරල දීල තියෙන්නෙ අපිට. ඒක ඇහුවම දැනුණු බය මට අද වගේ මතකයි. බය වගේම දුකක්, අනේ ඒ ළමයි පව්නේ කියා. අදත් කොහේහරි නැවතුනහම මතක්වෙන්නෙ අර සිදුවීමමයි. ඒ බය අදටත් දැනෙනවා. 

Comments