ජාතික සම්මානයක් අවමානයක් වීය | සිළුමිණ

ජාතික සම්මානයක් අවමානයක් වීය

 ඉන්ද්‍රචාපගේ සමීප රූප අතරට ජනාධිපති ගෞරව සම්මාන උලෙළක රූපාවලියක් එක් වේ. ශ්‍රී ලංකාභිමාන්‍ය, දේශමාන්‍ය, දේශබන්ධු, වීරචූඩාමණී, විද්‍යජෝති, කලාකීර්ති, ශ්‍රී ලංකා ශිඛාමණී, විද්‍යා නිධි, කලාශූරී, ශ්‍රී ලංකාතිලක හා වීර ප්‍රතාප වශයෙන් මේ ජාතික සම්මාන හැඳින්වෙන බවත් ඉන්ද්‍රචාප දකී. ඉන්ද්‍රචාප මේ උලෙළ පිළිබඳ වඩාත් සතුටු වන්නේ එය වසර දහයකට පසුව පැවැත්වෙන උලෙළක් වීම නිසාය. වසර දහයක් තිස්සේ මෙවන් ජාතික සම්මාන පිරිනැමීමට තරම් සුදුසු කීර්තිමත් පුරවැසියන් ශ්‍රී ලංකාවේ නොසිටියා ද වැනි ප්‍රශ්නයක් ඉන්ද්‍රචාප නො අසන්නේ, මෙවැනි තවත් ප්‍රමුඛ සම්මාන උලෙළක් පසුගිය දස වසරක් පමණ කාලයක් තුළ පවත්වා නොමැති බව දන්නා බැවිනි. ජනාධිපති සිනමා සම්මාන උලෙළක් මෙරට අවසාන වරට පවත්වා ඇත්තේ 2007 වර්ෂයේ බවයි ඉන්ද්‍රචාපට වාර්තා වන්නේ. ජනාධිපති ජාතික සම්මාන, ජනාධිපති සිනමා සම්මාන ප්‍රදානය යළි ඇරැඹී තිබෙනු දැක්ම ඉන්ද්‍රචාපගේ පමණක් නොව, මෙරට බහුතර පුරවැසියන්ගේ අමන්දානන්දයට හේතු වන බව පුන පුනා කිව යුතු නොවේ යයි ඉන්ද්‍රචාප කල්පනා කරයි.

ජාතික සම්මාන හෝ ජනාධිපති සිනමා සම්මාන වැනි ඉහළම සම්මානයක්, ඊට සුදුසු හිමිකම් ඇත්තෙකුට පිරිනැමිය යුත්තේ, ඔහු හෝ ඈ සම්මානයක් ලබාගැනීමට තරම් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිටින මොහොතකදීය. තමන් විසින් නිර්මාණය කරන ලද නිර්මාණ කාර්යයක් සඳහා නම්, ඊට අදාළ වර්ෂය සඳහා වීම එහි වටිනාකම බව ඉන්ද්‍රචාප අවධාරණය කරයි. විශේෂයෙන්, ජනාධිපති සිනමා සම්මාන ප්‍රදානය වැනි උලෙළකදී ඒ ඒ වර්ෂ සඳහා විශිෂ්ට දක්ෂකම් පෑ පිරිසට සම්මාන දීමට අවස්ථාවක් උදා නොවන්නේ නම්, ඔවුනට යළි තම දක්ෂකම් වෙනුවෙන් ඇගැයීමක්, නොවීමේ අසාධාරණයට ගොදුරු වීම අනිවාර්යයෙන් සිදුවන්නකි. 2017 ජනාධිපති සිනමා සම්මාන පිදෙන්නේ 2015 වර්ෂයේ තිරගත වූ සිනමා කෘති වෙනුවෙනි. එසේ නම්, 2007 සිට 2014 දක්වා වූ කාලය තුළ තිරගත වූ චිත්‍රපට නිර්මාණකරුවන්ට, ඔවුන්ගේ නිර්මාණ සඳහා සිදු වූ අසාධාරණය මේ යැයි කිව නොහැකිය. මේ සා දිගු කාලයක නිහඬතාව පිළිබඳ සිනමා ක්ෂේත්‍රයේ දැවැන්තයින් හෝ ප්‍රවීණයන් නැඟූ හඬක් පිළිබඳ ඉන්ද්‍රචාපට අසන්නට ලැබී නොමැත. ඒ සා දිගු කාලයක් තුළ සම්මාන සඳහා විනිශ්චයට ලක් නොවූ ඇතැම් නිර්මාණකරුවෙක් හෝ නිර්මාණ කාරියක්, අද දවසේ ජිවතුන් අතර නොසිටින්නට ද ඉඩ ඇත. සම්මාන උලෙළ නිසි කලට නොපැවැත්වීමේ අවාසනාවන්ත තත්ත්වය එය ලෙස ඉන්ද්‍රචාප දකී.

සම්මාන පිරිනැමීමකදී, එවන් උලෙළක රැඳී තිබිය යුතු ගාම්භීරත්වය, සම්මාන ලබන්නා වූ විශිෂ්ටයන්ට දැක්විය යුතු ගෞරවය, නොඅඩුව ප්‍රදර්ශනය විය යුතුය. ජනාධිපති තුමා විසින් පිරිනැමෙන ජාතික සම්මානයකට තෝරාගත් ආරාධිතයකුට, සම්මානය ලබා ගැනීමට නොහැකි වී සුන් වූ අපේක්ෂාවෙන්, හිස් අතින් යළි ගේදොර බලා යන්නට සිදුවන අවස්ථාවක් උදාවේනම්, එවැන්නක් හැඳින්විය යුත්තේ, ජාතික සම්මාන පිරිනැමීමක් ලෙස නොව, රට පිළිගත් විශිෂ්ට කලාකරුවකුගේ කීර්ති නාමයට, ඔහුගේ ආත්ම ගෞරවයට සිදුකළ, ජාතික අපරාධයක් අවමානයක් ලෙසය. එබඳු අතිශය ශෝකජනක ඉරණමකට ගොදුරු වූ, ජනාධිපති ජාතික සම්මානයකට තෝරා ගනු ලැබූ, එහෙත්, එකී සම්මානය ලබා ගැනීමට නෙළුම් පොකුණ රඟහලට පිවිසෙන්නටවත් ඉඩ නොලද විශිෂ්ට කලාකරුවකුගේ සමීප රූපය ඉන්ද්‍රචාප දකී. ලූෂන් බුලත්සිංහල නම්, විශිෂ්ට ගේය පද රචකයා, වේදිකා නාට්‍ය රචකයා, නිෂ්පාදකයා, රූපවාහිනී නාට්‍ය හා වැඩසටහන් නිර්මාණකරුවා, ගුවන්විදුලි මාධ්‍යයෙහි අපූරු නිමැවුම්කරුවා ලෙස තම අනන්‍යතාව මෙරට කලා ක්ෂේත්‍රය තුළ සටහන් කොට සිටින, පුද්ගලයෙකු, ජනාධිපති ජාතික සම්මානයක් සඳහා තෝරා ගනු ලැබීම නිවැරැදි, කාලෝචිත, තීරණයක් ලෙස ඉන්ද්‍රචාප දකී. එහෙත් ඒ සම්මානය, ඔහුට ජනාධිපතිතුමා අතින්, අනෙකුත් සම්මානලාභීන් ඉදිරියේ ලබාගන්නට ඉඩක් නොලැබෙන්නේ නම් එය කෙබඳු අවාසනාවන්ත තත්ත්වයක් ද?

නෙළුම් පොකුණ රඟහල පිවිසුමෙහි හා පරිශ්‍රයෙහි සිටි ආරක්ෂකයෝ පසුගිය 20 වන සඳුදා සවස් භාගයේ දී ජාතික සම්මානයකින් පිදුම් ලැබීමට නියමිතව සිටි ලූෂන් බුලත්සිංහල නම් වූ විශිෂ්ට කලාකරුවාට පමණක් නොව, එවන් සම්මානයක් පිරිනැමීමට තීරණය කළ ජනාධිපතිතුමාට ද අවමන් කළහ. ජාතික සම්මානලාභීන් පිළිබඳ දැනුවත්කමකින් තොර, රාජකාරිය ඉටුකිරීම යනු පොතක පතක ලියැවී ඇති නීතිරීති හෝ ඉහළින් ලබා දී ඇති උපදෙස් හෝ අණ අකුරට පිළිපදින යාන්ත්‍රික ආරක්ෂකයන් මෙබඳු උත්සව රාජකාරි සඳහා යොදවා ගැනීමෙන් සිදු වූ හානියෙහි බරපතළකම, මේ සම්මාන උලෙළ සංවිධාන කළ නිලධාරීන් වටහාගත යුතුය. ලූෂන් බුලත්සිංහල කලාකරුවාට පිරිනැමීමට, නිර්දේශ වූ සම්මානය අවමානයක් බවට පත්වූයේ, ජනාධිපති ජාතික සම්මාන උලෙළක් යනු කෙබඳු වර්ගයේ අභිමානවත් උලෙළක් ද, එහිදී ජනාධිපතිතුමා විසින් සම්මාන පිරිනමනු ලබන්නේ කෙබඳු විශිෂ්ටයන්ට ද යන්න පිළිබඳ අබමල් රේණුවක හෝ දැනුමකින් තොර අතළොස්සකගේ ක්‍රියාකලාපය නිසා බව ඉන්ද්‍රචාප සටහන් කරයි.

 

  

Comments