වියත් මග බිම් මට්ටමෙං | සිළුමිණ

වියත් මග බිම් මට්ටමෙං

 මේ දවස්වල අබිලිංගෙ කඩේ පොරදාන මාත්තුරුකාව තමයි වියත් මග. අබිලිංගෙ කඩේට අල්ලපු වැටේ වී මෝල ඉස්ටාට් වෙන්නෙත් වියත් මග, වියත් මග සද්දෙන්. නිමලෙගෙ බාල කොලුවා බයිසිකල් රිම් එකක් රූං කියා‍ගන තල්ලු කොරගෙන යද්දිං ඒක කැරකෙන්නෙත් වියත් මග වියත් මග තාලෙට. වියත්මග රැස්වීමේ මහා වියතුන් කොරපු කතා එකින් එක අරගෙන විග්ගහරහා කරලා බැලුවොත් අවුරුදු දෙක තුනක් එක දිගට දැනුම බුද්දිය වගා කොරගන්ඩ පුලුහං. දෙයි හාන්දුරුවන් පල්ල.

“ඊළඟ වියත් මග උස්සවේට ගන්ඩ හෙම අදහසක් නැද්ද?”

මයික් විජේ මයෙං ඇහුවා.

“වියතුන් එක්ක හැරෙන්ඩ අපි කව්ද මලේ?” මං ඇහුවා.

“බත් පැකට් එකක් එහෙම නැත්නම් මාලු පාන් එකක් රුපියල් පන්සීයක් කාරිය ලැබෙන්නැද්ද?”

නිමලෙ පෙරලා පුරස්න කොළා.

ඒකට ‍උත්තරයක් ලැබුන් නෑ. ඔය අව්අස්සෙ යකඩ මරං ලෑ ගෙදර කට්ටිය ගමනක් යන්ඩ පාර දිග යනවා.

යකඩමරං. මරංගෙ මායියා‍. ලොකු කොලුවා. බාල කොලුවා. කෙල්ල‍. මුණුබුරා. මිණිබිරී. අම්මා. තාත්තා යනාදී වයසෙං පිළිවෙළිං. ඒ උදවිය පිටුපස්සෙං ගෙදර බල්ලා. බල්ලා පිටු පස්සෙං බළලා. බළලා පිටුපස්සෙං පැටවු. පැටවු පිටුපස්සෙං ‍අල්ලපුගෙදර බළලා යනාදී වසයෙං.

“යකඩ මරංලත් වියත් මග දේසන බිම් මට්ටමෙං පටං අරං වද්ද?” නිමල් ඇහුවා.

“මොකද එහෙම හිතුණෙ?” අබිලිංට පුරස්නයක්.

“වියත් මග රැස්වීම කියන්නෙ අමුතු ම එකක්නෙ. ප්‍රධාන කතිකයා. එයාගෙ මල්ලිලා. ලොකු පුතා‍. ගෙදර බල්ලා ඒ අයනෙ රැස්වීමෙ පොරදාන අමුත්තො.”

ඔය අව් අස්සෙ මී හරක් පට්ටියක් ම පෙළපාලියකින් වගේ පාර දි‍ග ඉස්සරහට යනවා.

“මේක සයිටම් වි‍රෝදි එකක්ද? එහෙම නැත්නම් වියත් මග රැස්වීමට සහබාගි වෙන ගමනක් ද? නිමලෙ අවදානය යොමු කොළා.

‍”වෙනින් ගමනක් වගෙයි මලේ” මං කීවා.

“නෑ නෑ වියත් මග දේසන අහන්ඩ යන බව මට විස්වාස යි” අබිලිං කීවා.

“අබිලිං කොහොමද එහෙම කියන්නෙ?” නිමලෙ ඇහුවා.

“වියත්මග දේසන හොඳට ම තේරෙ‍න්නෙ මී හරකුන්ට” අබිලිං කීවා.

ඒ කතාවත් ඇත්ත බලං ගියාම.‍ මං ඕක සහසුද්දෙම් ම දැක්කා ආයිබොවන්ඩ.

වියත්මග රැස්වීමෙ කතා ටීවී පෙට්ටියක යද්දිං අපේ මී හරක් බාන බුලත් හපේ ගහගන අඹ ගහයට ඇලවෙලා උන්නෙ. කතා සද්දෙට මී හරක් මාන වරින් වර ඔලුව වනනවා. කන්පොට ගහනවා බලං ඉන්ඩ ලෝබයි ආයිබොවන්ඩ. රට බෙදන වියස්තාව, රණවිරු දඩයම, බුද්දාගමට වියස්තාවෙන් කෙළින එක යනාදී වසයෙන් වියතුන් කියපු හරබර දේවල් මී හරකුන් හොඳට ම අවබෝධ කරගත්තා. දියවන්නා අන්දරයේ නඩුකාර තුමා කතා කරද්දී නං මී හරක් මුලින් ටිකක් ලැජ්ජාවෙං වාගෙ ඉඳලා පස්සෙ තමයි ඔලුව වනන්ඩ පටං ගත්තෙ. සිරිලංකා පොජාතන්තරවාදී සමාජ ව්‍යාදී ජනරජයේ වැසියා! වියත් මගට සැවොම සවන් දෙත් වා! කෙළවර සියලු රටවැසියෝ වියතුන් බවට පත් වී ආවා මහ නිවන් සම්පත්තිය ලබත්වා!! සාදු! සාදු! සාදු!!! 

Comments