විජය හැම­දා­මත් වේදි­කා­වට ආද­රය කළා මමත් ඒ මග යන්න සුදා­නම් | සිළුමිණ

විජය හැම­දා­මත් වේදි­කා­වට ආද­රය කළා මමත් ඒ මග යන්න සුදා­නම්

ප්‍රවීණ රංගන ශිල්පිනී දේවිකා මිහිරානි

විජය නන්දසිරි යනු කලාව ජීවිතය කරගත් සොඳුරු සෞන්දර්ය වාදියෙක්. ඔහු අපෙන් සමුගෙන ගිහින් දැන් මාස හතක් ගත වෙලා. ගෙවුණු මාස හත අපට දැනෙන්නේ හරියට අවුරුදු හතකටත් වඩා වැඩියි වගේ. වේදිකාව, රූපවාහිනිය, සිනමාව යන ක්ෂේත්‍ර තුනටම දස්කම් දැක්වුවත් විජය නන්දසිරි කලාකරුවා පෙම් බැන්දේ වේදිකාවට. ඒ නිසාමයි විජය නන්දසිරි නිෂ්පාදනය කළ කුස පබාවතී වේදිකා නාට්‍ය නැවතත් ප්‍රේක්ෂකයන් අතරට ගෙන එන්නට විජයගේ ආදරණීය බිරිය මේ දිනවල කඩිමුඩියේ වෙහෙස වන්නෙ. ඒ ගැන දැනගන්නත් එක්කයි අපි පසුගියදා ගල්කිස්ස කලාපුරයේ විජය-දේවිකා කැදැල්ලට ගොඩවුණේ.

• කොහොමද..විජය නැතිව ගෙවන ජීවිතය ..?

විජය නැතිව ගෙදරම පාළුයි. දැන් මාස හතක් ගෙවුණත් හැම තිස්සෙම ගෙදර ඇහෙන්නෙ දේවිකා..දේවිකා කියනව වගේ. . ඔහු නැතිවුනහම ජීවිතයම හිස්වෙලා ගියා.

• විජය කියන රංගන ශිල්පියාව ඔබ දුටුවේ කොහොමද..?

ඕනෑම ශෛලියක රංගනයක් කළ හැකි කලාකෙරුවෙක්. ඔහු කුමන චරිතයක් කළත් එම චරිතයට ඒ අවස්ථාවේ ආරූඩ වෙනවා. එම චරිතයට සාධාරණයක් කිරීම තමයි ඔහුගේ එකම අපේක්ෂාව. ‍ශෛලීගත නාට්‍ය, නාඩගම්, නූර්ති, ආදි ඕනෑම කලා මාධ්‍යක් ඔහුට හුරුයි. ප්‍රහසන කලාවට යොමු වුණාට ගැඹුරු චරිත නිරූපණයටත් ඔහු ඉතා දක්ෂ නළුවෙක්.

• ඔබ ඔහුගේ දුටු විශේෂ ගුණාංග ..?

ඔහුගේ ස්වයංවිනයානුකූල හැසිරීම බොහොම කලාතුරකින් කලාකරුවකුගෙන් දකින්න ලැබෙන දෙයක්. වෙලාවට වැඩකිරීම, වගකීම් සහගත බව, ඔහුගේ හොඳ ගතිගුණ. හොඳ සැමියෙක් වගේම දරුවන්ට හොඳ ගුණ යහපත් පියෙක්.

. කොහොමද .. එකවර විජයගේ වියෝව දරාගත්තේ...?

සහන්යා මිහිරාණි මගේ මිණිබිරිය තමයි විජය නැති අඩුව මකා දැමුවේ. ඒකට අපේ දුව නවාංජනා මිහිරාණි නන්දසිරිට ස්තූති වන්නඕනෑ. විශේෂයෙන් ඇයගේ සැමියා සනත් චමින්ද ගුණරත්න පුතා දුවත් මිණිබිරියත් මාස හතක් අපේ ගෙදර නවත්වා ඔහු ඕස්ට්‍රේලියාවට ගියා. මගේ දුක තුනී වු විටයි ඔවුන් නැවතත් ඕස්ට්‍රේලියාවට ගියේ.

• ඒකද ..ඔබ කුස පබාවතී නාට්‍යයේ නව නිෂ්පාදකවරිය වන්න අදහස්කළේ.?

කුස පබාවතී වේදිකා නාට්‍ය විජයගේ ජීවිතයේ කොටසක් වගේ. අපි ඒ නාට්‍ය අරන් මුළු ලෝකය වටාම ගියා. දර්ශනවාර 2500ක් කළා. වේදිකා නාට්‍ය යුරෝපයට පෙන්වීමේ පෙර ගමන්කරුවා විජය නන්දසිරි කලාකරුවා කියන එක කවුරුත් දන්නවා. විජයට කරන ගෞරවයක් ලෙසත්, මගේ ජීවිතයේ හිස්බව නැතිකරගන්නටත් මට හිතුණා කුස පබාවතී වේදිකා නාට්‍ය නැවතත් රසිකයන් අතරට ගෙන යෑම හොඳයි කියලා.

• එහි විජය (ජයම්පති) කුමරුගේ චරිතය නිරූපණය කරන්නෙ කවුද...?

කුස පබාවතී නාට්‍යයේ කුසගේ චරිතය රොජර් සෙනෙවිරත්නත්, පබාවතී ලෙස මමත්, ජයම්පතී කුමරු ලෙස අපේ පුතා රසාංජන සුචිත්‍ර නන්දසිරිත් එක්වෙනවා. එයට අමතරව ජයනාත් බණ්ඩාර, ඉන්දික ජයසිංහ, තිලක් පුෂ්පකුමාර, වැනි කලාකරුවන් රැසක් රංගනයෙන් දායක වනවා.

• හිතනවද.. විජය වැනි දක්ෂ රංගන ශිල්පියකුගේ භූමිකාව රසාංජනට කළ හැකියි කියා...?

මම බය නැතිව කියනවා අපේ පුතාට එය කළ හැකියි කියා. ඔහුට ගායනය, රංගනය, නර්තනය, විදුලි ආලෝකකරණය, වේදිකා පාලනය, බෙරවාදනය වැනි රඟපෑමට අවශ්‍ය සුදුසුකම් සියල්ල තිබෙනවා. එවගේම විජයගේ තරුණ කාලේ රූපයමයි පුතාටත් තිබෙන්නේ. එයාට තාත්තා මෙන් දක්ෂ රංගන ශිල්පියකු වන්නට ලොකු ඕනෑ කමක් සහ කැපවීමක් තිබෙනවා. මම ජීවත්ව ඉන්නතාක්කල් ඒ සඳහා ඔහුව මෙහෙයවනවා.

• ඒත් රසාංජන වෘත්තියෙන් ගුවන් නියමුවෙක්..?

ඔව්.. ඇමරිකාවේ දී ඔහු ගුවන්නියමුවකුට අවශ්‍ය වෘත්තිය දැනුම ලබා තිබෙනවා. ඒ සඳහා බලපත්‍රයත් ලබා තිබෙනවා. විදේශ ගත නොවී අපේ රටේම එම වෘත්තියෙහි නියැළෙන්නයි ඔහුගේ බලාපොරොත්තුව.

• රසාංජන රංගන ශිල්පියකු කරන්න විජයගේ අදහසක් තිබුණද..?

කොහොමටත් විජය රූපගතකිරීම්වලට ගියේ රසාංජන එක්ක. වේදිකාව නාට්‍යවලදීත් ඔහු තිරය පිටුපස සිට ලොකු කාර්ය භාරයක් කරනවා. කුඩා කාලයේ සිටම දුවත්, පුතාත් විවිධ චරිත නිරූපණය කර තිබෙනවා. හැබැයි මෙ තරම් ඉක්මනට රංගන ශිල්පියකු වුණේ විජය අප අතරින් වියෝ වු නිසයි.

• ඔබත් කාලයක් ක්ෂේත්‍රයේ සිටි ප්‍රවීණ නිළියක්.. නැවතත් රංගනයට එන්න අදහසක් නැද්ද..?

ප්‍රථම රූපවාහිනි නිළිය වීමේ ගෞරවය අදටත් මගේ සිතේ තියෙනවා. මා රංගනයෙන් දායක වු දිමුතු මුතු ටෙලි නාට්‍යයේ කළ රඟපෑම වෙනුවෙන් එම වසරේ ජනප්‍රිය හා දක්ෂම නිළිය ලෙස සම්මාන ලැබුවා. පසුකාලීනව දරුවන්ගේ වැඩ නිසා ටිකක් රංගනයෙන් ඈත්වී විජයට රඟපෑමට උපරිම සහයෝගය ලබා දුන්නා. අද ඔහු නැති නිසා මගේ පාළුව යන්නත් එක්ක නැවතත් හොඳ නිර්මාණ ලැබුණොත් භාර ගන්නවා.

• පේක්ෂකයන්ට කුස පබාවතී නාට්‍ය පෙරට වඩා නවමු අද්දැකීමක් වෙයිද..?

මෙහි රසාංජන ඉදිරිපත්කරන ජයම්පතී චරිතයේ තමයි රංගන ශිල්පියා වෙනස් වන්නේ. රචනය, රත්නසිරි පරණවිතාන, සංගීතය, ලයනල් අල්ගම, නැටුම්, මිනිපුර රත්නසේකර, විදුලි ආලෝකය, උපාලි වීරසිංහ, ඇතුළු විශාල පිරිසක් මෙයට දායකවනවා. 26 ඉරිදා බිෂෝප් හිදී සවස 6.30ට ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක, දුමින්ද දිසානායක, පාලිත තෙවරප්පෙරුම, රන්ජන් රාමනායක, යන මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනවා. මම ආරාධනා කරනවා විජයට ආදරය කළ රසිකයන්ට මේ නාට්‍ය නරඹන්න එන්න කියලා. 156/1 දේවිකා මිහිරාණි, ටෙම්පල්ස් පාර, ගල්කිස්ස ලිපිනයට හෝ 0777363627 දුරකථන අංකයෙන් මා ඇමතිය හැකියි. 

Comments