අම්මා සනීප කරගෙන ඉගෙනගන්න මට අත දෙන්න | සිළුමිණ

අම්මා සනීප කරගෙන ඉගෙනගන්න මට අත දෙන්න

නෙත්මි විදුහල්පතිනිය හා රාජපක්ෂ ගුරුතුමිය

ජයසිරි පේදුරුආරච්චි

හක්මණ ඇල්ලේවෙල නෙත්මි දහරා දියණිය කටුක අත්දැකීම් මැද ජීවිතය දිනන්නට වැරදරන දිරිය දියණියකි.

හක්මණ ඇල්ලේවෙල කනිෂ්ඨ විදුහලෙන් පළමු වැනි ශ්‍රේණියේ සිට අධ්‍යාපනය හදාරන නෙත්මී කිසිදු අමතර පන්ති හෝ පහසුකමක් හෝ පරිපූර්ණ ආහාරවේලක් හෝ නොලබා අකුරු කරමින් පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු එකසිය හැට දෙකක් (162) ලබා වසර හතළිහකට පසු ඇල්ලේවෙල කනිටු විදුහලෙන් ශිෂ්‍යත්වය සමත්ව වාර්තාවක් තැබීමට සමත් වූවාය. ඇගේ ඒ සමත්වීම පාසලට පමණක් නොව මුළු ගමටම කීර්තියක් විය.

නෙත්මිගේ තනි නොතනියට සිටිමින් ඇය රැක බලා ගන්නේ ඇගේ මිත්තනිය ය. වයස අවුරුදු අසූ පහක් වුවද ඇයද දිරිය කාන්තාවකි.

“ මගේ දුව ළඟ හිටියට මේ දරුවට කිසි රැකවරණයක් නෑ. ඒ නිසා මගේ ළඟ තියාගෙන ඉන්නවා. අපි ඉන්නේ මගේ පුතාගෙ ගෙදර. ඒ ගෙදරත් පුංචි එවුන් ඉන්නවා. ලොකුවෙනකොට ප්‍රශ්න ඇතිවෙන්නත් පුළුවන්නේ. මේ දරුවට හොද ආරක්ෂාවෙන් ඉන්න ගෙයක් හදල දුන්නොත් තමයි ලොකුම උදව්ව. මම මැරුණ කාලෙක මේ දරුවට කිසි රැකවරණයක් නෑ. ඒකයි මට තියෙන දුක.” සුසුමක් හෙළමින් මිත්තණිය කීවාය.

“ මේ දරුවා අපේ පාසලට කීර්තියක් ලබාදෙන බව මට මුල් අවස්ථාවේ සිටම මට තේරුණා. අපේ ගුරු මණ්ඩලයත් එක්ක එකතුවෙලා අපිට පුළුවන් උපරිම උදව් ඒ දරුවා වෙනුවෙන් ලබාදුන්නා. නෙත්මි මුල් කාලයේ පාසලට ආවාම ගෙදර ගැන කියා අඬනවා. ඇයට හැම ගුරු භවතෙක්ම ආදරය දුන්නා. ඒ අතර පන්ති භාර රාජපක්ෂ ගුරුතුමිය ගොඩාක් උදව්කළා. එයා තුන වසරේ සිට පාසලේ පන්තියක් පවත්වමින් උදව් කළා. මේ දුවගෙ කථික දක්ෂතා හොඳට තිබෙනවා. ක්‍රීඩාවටත් එහෙමයි. අපේ පාසලේ තරමට ඇයගේ දක්ෂතා පෙන්නන්න අවස්ථාව දුන්නා. නෙත්මි දුව ඉදිරියටම යන එකනම් මට විශ්වාසයි” ඇල්ලේවෙල කනිෂ්ඨ විදුහලේ විදුහල්පතිනී ඊ. එච්. පී. ජයලක්ෂ්මී මහත්මිය පවසන්නීය.

“මගේ ආච්චි තමයි පුංචි කාලෙ සිට මා බලාගත්තෙ. කොච්චර ආශාව තිබුණත් මට සෙල්ලම් කරන්න සෙල්ලම් බඩුවක්වත් තිබුණේ නෑ. පොත් තියාගන්න තැනක් තිබුණෙවත් නෑ. දැන් මගේ ආච්චිට මා බලාගන්න අමාරුයි. තාත්තට හරියට රක්ෂාවක් නෑ. සල්ලි අඩුපාඩු ගොඩාක් තිබෙනවා. අම්මටත් ඒවා ගැන තේරෙන්නේ නෑ. අම්මා ලෙඩවෙලා ඉන්නේ. මාසයකට සැරයක් මාතර ගිහින් බෙහෙත් ගෙනත් බොනවා. මම ඉගෙන ගන්න ගොඩාක් ආසයි. මට උදව් කරන්න කවුරු හරි නැන්දා මාමා කෙනෙක් ඉන්නවානම් ලොකු පිනක්. මම කොහොමහරි ඉගෙන ගෙන අනාගතේ වෛද්‍යවරියක් වෙනවා. මට වගේම අපේ අම්මත් සනීප කර ගන්න උදව් දෙන්න '' කදුළු මැදින් නෙත්මි ඉල්ලා සිටින්නීය.

සේයාරුව - ගන්දර සමූහ

Comments