Home » ගම්වලට ගියහම ජනතාව අහනවා අපි ආණ්ඩුවේ ද විපක්ෂයේ ද කියලා

ගම්වලට ගියහම ජනතාව අහනවා අපි ආණ්ඩුවේ ද විපක්ෂයේ ද කියලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මිත්‍රපාල

by Mahesh Lakehouse
April 13, 2024 12:30 am 0 comment

– පක්ෂයේ සිටින ඇමැතිවරුන් නිසා කකුල් දෙක එක තැනක තියාගෙන වැඩ කරන්න බැහැ
– ගම්වලට ගියහම ජනතාව අහනවා අපි ආණ්ඩුවේද විපක්ෂයේ ද කියලා
– මේ අයට විශාල උනන්දුවක් තිබුණා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂයට එකතු කිරීමට

පක්ෂ මුලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකින් පසු ලිපිගොනු අතුරුදහන් වූ බවට චෝදනා එල්ල කරනවා. ඇත්තටම මොකද වුණේ?

එයට හේතුව වුණේ අපි නොමැති වෙලාවක පක්ෂ කාර්යාලයට නන්නාඳුනනා කිහිපදෙනෙක් ඇතුළු වීම. ඒ වෙලාවේ අපේ පාලක ලේකම්තුමා, කාර්ය මණ්ඩලය එහි සිටියා. වාරණ නියෝගයත් සමඟ මේ ආකාරයෙන් ඇවිත් මගේ පුටුවේ හා පාලක ලේකම්ගේ පුටුවේ වාඩි වී අමුතු හැසිරීමක් පෙන්නුම් කළා. පසුව දැනගන්න ලැබුණා, ඇතුළේ තිබූ ලිපි ගොනු එහාට මෙහාට අරගෙන යන බව. ලොකර් හා ලොක් කඩලා. පසුව පරිපාලන හා මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් මට ඇති බලතල යටතේ මරදාන පොලිසියට පැමිණිල්ලක් කළා.

මොන ආකාරයේ ලියැවිලි ද අතුරුදහන් වුණේ?

මේ පැමිණිල්ලට පසුදා මේ ගොඩනැඟිල්ල සීල් කළා. අපි පොලිසියත් එක්ක ගියා. එසේ ගිය පසුයි සම්පූර්ණ වාර්තාවක් ගෙන අඩුපාඩු සොයා බැලිය යුත්තේ.

ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා තිබුණත්, මේ වන විට පක්ෂය දෙකඩ වෙලා ඉවරයි?

පක්ෂයේ මතවාදය වන්නේ විපක්ෂයේ සිට දේශපාලනය කිරීම. ආණ්ඩුව ගෙනියන ප්‍රතිපත්තිමය කාරණා වැරදිය යන මතයේ අපි ඉන්නවා. නමුත් පක්ෂයේ තීන්දුවට පිටින් ගොස් අමාත්‍ය ධූර ලබාගත් පිරිසක් පක්ෂයේ ඉන්නවා. පක්ෂය දෙකඩ වෙන්නේ මේ කාරණාව නිසා. අපේ ආසන සංවිධායකවරු කියනවා ගමේ ගිහින් දේශපාලනය කරන්න විදියක් නැහැ කියලා. හේතුව ගම්වල සිටිය අය අහන්නේ ඔබතුමන්ලා ආණ්ඩුවේ ද නැතිනම් විපක්ෂයේ ද කියලා. අනික් පක්ෂවලට එහෙම ප්‍රශ්නයක් නැහැ. පක්ෂයක් තුළ ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රිවරු සිටීම හාස්‍යජනකයි. ඒ නිසා තනතුරු වරප්‍රසාදවලට යම් පිරිසක් ආණ්ඩුවට ගිහින් කළ විනාශය නිසයි මේ හානිය වුණේ.

මේ ප්‍රශ්නයේදි ඔබ සෘජුවම චෝදනා කරන්නේ ආණ්ඩුවේ මැති ඇමැතිකම් දරන පක්ෂයේ පිරිසටද?

ඔව්.

මේ අය එම තනතුරු දැරුවේ පක්ෂයේ අවසරය මත නෙමෙයිද?

නැහැ. කිසිදු අවසරයක් ගෙන නැහැ. අවස්ථා ගණනවකදි ඒ අයට දැන්වූවා වගේම මධ්‍යම කාරක සභාවේදී විවිධ තීන්දු තීරණ ගත්තා. මේ අය ආණ්ඩුවට ගිය පසු පක්ෂයක් ලෙස සාමාජිකත්වය අහෝසි කරන්න කටයුතු කර තීන්දුවක් ගත්තා. නිමල් සිරිපාලද සිල්වා ඇමැතිවරයා අධිකරණයට ගිහින් පක්ෂයට ආවේ අධිකරණ නියෝගයකින්. අවස්ථා ගණනවකදි ඔවුන්ව දැනුම්වත් කළා. ඒත් මේ අය කිසිම කාරණාවකට ඇහුම්කන් දුන්නේ නැහැ.

පිරිසක් පසුගියදා තනතුරුවලින් නෙරපීමට තීන්දු කළේ මේ කාරණාව පසුබිම් කරගෙනද?

72 වැනි සංවත්සරයෙදීත් පාක්ෂිකයන් කිව්වේ දැන් හෝ ආණ්ඩුවෙන් ඉවත් වී එළියට එන්න කියලා. එයට ප්‍රධාන හේතුව රටේ ප්‍රතිප්තිමය කාරණා පිළිබඳ ප්‍රශ්නය. රාජ්‍ය සම්පත් විකුණන එකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධයි. පසුගිය කාල සීමාව තුළ මේ රට විනාශ කළ පොහෝට්ටුවත් සමඟ ආණ්ඩු කරනවාට අපි විරුද්ධයි. මේ පිරිස පක්ෂයේ ප්‍රවර්ධනය ගැන නොව ආණ්ඩුව ගැනයි ප්‍රසාදයෙන් කතා කළේ.

චෝදනාවත් තියෙනවා මේ පිරිස ඔබ පක්ෂය එක්සත් ජාතික පක්ෂයට හේත්තු කිරීමේ සූදානමක් පවතින බවට?

මේ අයට විශාල උනන්දුවක් තිබුණා ශ්‍රී ලංකා නිදහස් පකෂය එක්සත් ජාතික පක්ෂයට එකතු කිරීමට. මේ නිසා සංවිධායකවරුන්ගේ හා පාක්ෂිකයන්ගේ දැඩි ඉල්ලීම නිසා නැවත වතාවක් පෙර ඉල්ලීමම කළා. එසේ නොවූ නිසයි විධායක සභාවෙන් මේ පිරිස ඉවත් කිරීමට කටයුතු කළේ.

ඔබ චෝදන එල්ල කරන්නේ කී දෙනෙකුට විරුද්ධවද?

මන්ත්‍රි දුමින්ද දිසානායක, ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්න අලගියවන්න මෙන්ම ජගත් පුෂ්පකුමාර ආදි ආණ්ඩුවේ ඇමැතිකම් හා වරප්‍රසාද ලබන පිරිස.

මැතිවරණ වසරක් තුළ පක්ෂයේ බෙදීම ආවාසිදායක තත්ත්වයක් නේද?

අපේ මතවාදය මේ ආණඩුවේ ප්‍රතිපත්තීන්ට විරුද්ධවයි පවතින්නේ. ජනාධිපතිවරණයට අපි අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා. නමුත් මේ ඇමැතිවරු පක්ෂය තුළ සිට රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තල්ලු කරන්න උත්සාහ කරනවා. එය හානිකරයි. මෙය ආණ්ඩුවේ ජොබ් එකක්. නමුත් අපි සන්ධානයක් නිර්මාණය කර අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමෙන් තමයි ජයග්‍රහණය කිරීමට හැකි වෙන්නේ. මේ අය පක්ෂය තුළ සිටීමෙන් විරුද්ධව මත දරන අය එක්කාසු කිරීමට අපහසුයි. හමෝම බලාපොරොත්තු වන්නේ මේ ප්‍රශ්නය විසඳා ගත් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලාපොරොත්තු වන අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමටයි. මැතිවරණ සූදානමට වඩා රටේ ජනතාව බලන්නේ ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙනුයි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා වැදගත් ආණ්ඩුව කරන විනාශයෙන් රට බේරා ගැනීමටයි.

පක්ෂයෙන් නෙරපූ අයගේ වාරණ නියෝගයත් දිගු කළා. මේ වන විට වඩා වාසිදායක කොයි පැත්තටද?

අධිකරණය ස්වාධීනයි. මේ කාල වකාවානුව අධිකරණය නිවාඩු. ඒ නිසා වාරණ නියෝගයට කැඳ වූ දිනයට අපි උසාවියට කරුණු දක්වා වාරණ නියෝගය ඉවත් කර ගැනීමට කටයුතු කරනවා.

පසුගියදා දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවීම කැඳවීමේදී ද ගැටලු සහගත තත්ත්වයක් මතු වුණා?

පක්ෂ ව්‍යවස්ථාවට අනුව ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකුට දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවන්න බැහැ. මේ රැස්වීම නීති විරෝධි රැස්වීමක්. නීත්‍යනූකූල නොවන රැස්වීම්වලදි ගන්න තීන්දු තීරණ කිසිවක් එකඟ නැහැ. පක්ෂ ව්‍යවස්ථාවට විරුද්ධයි. ඔවුන් මේ වාරණ නියෝගය ලබාගෙන මේ සියලු දේ තකහනියකින් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට ගෙනයාමේ විශාල දේශපාලන කුමන්ත්‍රණය නිසයි. අලුත් අවුරුද්දේ දේශපාලන කටයුතු සිදු වන්නේ නැහැනේ. පසුගියදා පැවැත්වුණෙත් එවැනි වැදගැම්මකට නැති සාකච්ඡාවක්. අපි අධිකරණයට අවශ්‍ය විට කරුණු දක්වනවා.

මේ ප්‍රශ්න සම්බන්ධයෙන් හිටපු ජනපති හා සභාපති මෛත්‍රීපාල සිරිසේනයන්ගේ ස්ථාවරය කුමක්ද?

වාරණ නියෝගයට එතුමා මුහුණ දෙනවා. එසේම මේ වාරණ නියෝගයෙන් එතුමාට අත්හිටුවා පමණයි. ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයින් නොමඟ යැවීමට ගෙනියන වැඩ පිළිවෙළ පරාජයට පත් කරන බව එතුමා කියනවා.

මේ ගැටුමේ අවසානය කුමක්ද? සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට බැරි වේවිද?

නීත්‍යනුකූලව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් මම. වාරණ නියෝගයට මුහුණ දීමයි අපේ බලාපොරොත්තුව. වාරණ නියෝගය ඉවත් කර ගත් පසු පක්ෂයේ සභාපතිකමට මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත පත් වෙනවා. පසුව ගත යුතු තීන්දු තීරණ ගන්නවා.

පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කොයි ආකාරයෙන් සිදු වෙනවාද?

හැමෝටම තිබුණ ප්‍රශ්නය වන්නේ අපේ ආසන සංවිධායකවරුන්ට ගමේ ගිහින් කකුල් දෙක එක තැනක තබා ගෙන වැඩ කළ නොහැකි වීම. ඒ ආණ්ඩුවේ සිටින මේ ඇමැතිවරුන්. මේ බාධාව ඉවත් කර දෙන ලෙසයි ආසන සංවිධායකවරු හා පාක්ෂිකයෝ අපෙන් ඉල්ලන්නේ. මේ නිසා වාරණ නියෝගයෙන් පසු ඉදිරි කටයුතු සිදු කරනවා.

කවුද ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා?

අපි පක්ෂ කිහිපයක් සමඟ සන්ධානයක් හදාන්න කටයුතු කරගෙන යනවා. එය සාර්ථකයි. ඒ අනුව ගන්නා තීන්දුවකින් තමයි ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ.

සමගි ජන බලවේගයට එකතු වෙනවාද?

කිසිසේත්ම එකතු වෙන්නේ නැහැ

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division