Home » දොස්තරලාට ‘ඇඳලා’ මත්ලෝලීන්ට පෙති දුන් බෙම්මුල්ලේ කොල්ලෝ

දොස්තරලාට ‘ඇඳලා’ මත්ලෝලීන්ට පෙති දුන් බෙම්මුල්ලේ කොල්ලෝ

by thanushika
March 23, 2024 12:30 am 0 comment

මත්පෙති අලෙවි කළ පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීමේ පුවතක්, පුවත්පත්වල ලොකු අකුරින් පළ වූයේ පසුගියදාය. මෙවැනි ක්‍රියා හේතුවෙන් ඇතැමුන් වෛද්‍ය වෘත්තියට කැලලක් එක්කළ ද බහුතරයක් එසේ නැත. මේ කතාවද ගම්පොළ සිද්ධිය සිහිපත් කරන්නකි. තම නම සහ නිල මුද්‍රාව භාවිත කරමින් මත්පෙති අලෙවි කිරීමක් ගැන ගම්පහ රෝහලේ වෛද්‍යවරයකු ද ගම්පහ පොලිසියට පසුගියදා පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ ඔහුට ලැබුණු විශ්වාසවන්ත ආරංචියක් හේතුවෙනි. ගම්පහ පොලිසියේ නිලධරයෝ ද මේ ගැන හෝඩුවාවක් සෙවීමට දැඩි විපරමින් පසු වූහ.

බෙම්මුල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් තාරකට පසුගිය දිනෙක රාත්‍රියේ දුරකතන ඇමතුමක් ලැබෙන්නේ ඔය අතරය.

“සර්… ‘කොරසේ’ කොල්ලෙක් ජයටම ටැබ්ලට් විකුණනවා. කොල්ලා මෙතන ඉන්නවා… දැන්ම ආවොත් කොටු කරගන්න පුළුවන්…” එදින රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටියේ බෙම්මුල්ල පොලිසියේ පොලිස් පරීක්ෂක කරුණාරත්නය.

ස්ථානාධිපතිගේ එම දැනුම් දීමෙන් පොලිස් පරීක්ෂක කරුණාරත්න ඇතුළු නිලධාරින් කිහිපදෙනකු කොරසේට පිටත්ව යන්නේ ඒ මොහොතේමය. ලැබුණු තොරතුර නිවැරදිය.

එක් පුද්ගලයකු පොලිස් නිලධාරින්ගේ අත්අඩංගුවට පත්වන්නේය. සැකකරු සන්තකයේ කිසිවක් නැත. එහෙත් සැකකරු පොලිස් නිලධාරින් දුටු සැණින් කලබල විය. මෙතැන කුමක් හෝ අබිරහසක් ඇතැයි තේරුම්ගත් පොලිස් නිලධාරින් එම පුද්ගලයා ද රැගෙන ඔහුගේ නිවෙසට යන්නේ එහිදී කුමන හෝ හෝඩුවාවක් සොයා ගැනීමටය.

සැකකරුගේ නිවෙස පරීක්ෂා කිරීමේදී එක් නිලධාරියකුට නිවෙසේ තිබී වෛද්‍යවරයකුට අයත් නිල මුද්‍රාවක් හමුවන්නේ ඔය අතරය.

සැකකරු නිරුත්තරය. සැකකරුගෙන් නිල මුද්‍රාව ගැන දිගින් දිගටම ප්‍රශ්න කිරීම ඇරඹෙන්නේ ඉන් පසුවය.

“සර් මම වැඩ කරන්නේ ‘සීල්’ හදන තැනක. ඔය ඩොක්ටර් කෙනෙක්ට හදල දෙන්න කිව්ව සීල් එකක්…”

“ඇයි එහෙනම් මේක ගෙදර තියෙන්නෙ…?” ඒ පොලිස් නිලධාරියකුගේ උස් හඬකි.

වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ මොහු ගම්පහ ප්‍රදේශයේ රබර් නිල මුද්‍රා නිෂ්පාදනය කරන තැනක රැකියාවක් කරන බවට අනාවරණය වන්නේය. පොලිස් නිලධාරීන් දිගින් දිගටම සැකකරුගෙන් ප්‍රශ්න කරන්නේ නිල මුද්‍රාව ගැන කුමන හෝ හෝඩුවාවක් දැනගැනීමේ අටියෙනි.

“අනේ සර්…. මාව හිරේ දාන්නනම් එපා… මං ඇත්තම කියන්නම්….” යැයි සැකකරු එසේ කියන්නේ තවත් බොරු කීමෙන් පලක් නැති බව තේරුම් ගැනීමෙන් පසුවය.

“මම තමයි මේ සීල් එක හැදුවේ. ඒක හදලා මගෙ යාළුවෙක්ට දෙනවා. එයා ඩොක්ටර් කෙනෙක් වගේ මත්පෙති වර්ග තුණ්ඩුවල ලියලා රබර් සීල් එක ගහලා ෆාමසිවලින් පෙති ගන්නවා. අරන් අපි වැඩි ගාණට හොරෙන් මේවා බොන අයට විකුණනවා…” එක හුස්මට සැකකරු සියල්ලම ‘වමාරා’ අවසන්ය.

“කෝ දැන් තමුසෙගෙ යාළුවා…” පොලිස් නිලධාරීන්ට දැන් අවශ්‍ය අනෙක් පුද්ගලයාවය.

“යමු සර්… මම එයාගෙ ගෙදර පෙන්වන්නම්…” පොලිස් නිලධාරින් සැකකරු පෙන්වූ නිවෙස එකවරම වටලන්නේ නිවෙසේ සිටි කිසිවකුට හිතාගන්නටවත් බැරි වන ලෙසටය. එවෙලේ සැකකරු නිවසේ සිටි අතර ඔහුගේ දෑතට ද විලංගු වැටෙන්නේ ක්ෂණයෙනි.

“ඇත්ත කියන්න වෙයි… අපි ඔක්කොම හොයාගෙන ඉවරයි…” පොලිස් නිලධාරින් එම සැකකරුගේ නිවස පරීක්ෂාවට ලක්කරන්නේ ඔය අතරය.

“සර්… මෙන්න තියෙනවා තුණ්ඩු කෑලි…” කාමරයක තිබී එක් පොලිස් නිලධාරියෙක් තුණ්ඩු කැබලි කිහිපයක් ගෙන උප පොලිස් පරීක්ෂක රණවීරට පෙන්වූවේය. තවද වෛද්‍යවරුන් දෙදෙනකුගේ නම්වලට සාදන ලද සීල් තුනක් ද මේ සැකකරුගේ නිවසේ තිබී සොයාගන්නේ ඉන් අනතුරුවය.

මෙලෙස අත්අඩංගුව පත් වන්නේ බෙම්මුල්ල කොරසේ ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකි. මොවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හෙළි වන්නේ වෛද්‍යවරුන්ගේ ව්‍යාජ නිල මුද්‍රා සාදා ඒවා උපයෝගී කර ගනිමින් මත්පෙතිවල නම් තුණ්ඩුවල ලියා විවිධ ෆාමසිවලින් ඒවා මිලදීගෙන එක් පෙත්තක් රු. 1500කට පමණ අලෙවි කර ඇති බවය. එක් තුණ්ඩුවක් භාවිත කරමින් විවිධ ප්‍රදේශවල ෆාමසිවලින් මේ මත්පෙති මිලදී ගැනීමේදී කිසිවකුට සැක නොසිතෙන අතර මොවුන් ඒවා අලෙවි කරමින් මුදල් උපයා ඇති බවද හෙළි විය.

කොරස ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන දෙකක් පවත්වාගෙන යන ගම්පහ සහ වතුපිටිවල රෝහල්වල සේවය කරනා වෛද්‍යවරුන් දෙදෙනකුගේ නම්වලට මේ නිල මුද්‍රා සැකසීමට සැකකරුවන් කටයුතු කර තිබිණි. එහිදී අවට ෆාමසිවලට ද සැක නොසිතෙන පරිදි මෙම ජාවාරම කරගෙන ගොස් ඇත්තේ තම ප්‍රදේශයේ වෛද්‍යවරුන්ගේ නම් දෙකක් නිසාය. මේ ගැන ගම්පහ රෝහලේ වෛද්‍යවරයාට ලැබුණු ආරංචියක් මත ඔහු මීට ටික කාලයකට කලින් ගම්පහ පොලිසියේ පැමිණිල්ලක් ද කර තිබිණි. වෛද්‍යවරුන් දෙදෙනා ද පොලිසියට පැමිණ කටඋත්තරයක් දී ඇති අතර මේ තුණ්ඩුවල තිබෙන්නේ ඔවුන්ගේ අත්අකුරු නොවන බවට ද පවසා තිබේ. කෙසේ වෙතත් වැඩිදුර විමර්ශන සඳහා මෙම තුණ්ඩු රජයේ රස පරීක්ෂකවරයා වෙත ද යොමු කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ සහ ගම්පහ (i) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නාලක ඩබ්ලිව්. සේනානායකගේ උපදෙස් මත බෙම්මුල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් තාරකගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අනුර රණවීර, පොලිස් පරීක්ෂක කරුණාරත්න, සැරයන්වරුන් වන (60900) ප්‍රදීප්, (60804) බණ්ඩාර, කොස්තාපල්වරුන් වන (82559) කුමාර, (87713) විජේකෝන්, කොස්තාපල් රියැදුරු (1668) ලක්මාල් යන නිලධාරීහු වැටලීමට එක් වූහ.

ගයාන් සංජය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division