Home » ඉරානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට වගකිව යුත්තේ කවු ද?

ඉරානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට වගකිව යුත්තේ කවු ද?

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

ඉරානයේ කඩ්ස් බළකායේ ප්‍රධානියාගේ සොහොන අසල සිදු වූ බෝම්බ ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් 95 දෙනකු මිය යාම සම්බන්ධයෙන් ඊශ්‍රායලයට දොස් පැවරිය යුතුද යන්න සම්බන්ධයෙන් ඉරානය තුළ මතභේද පවතී.

ඉරානයේ ගෝලීය සහ කලාපීය යුද මෙහෙයුම්වල ප්‍රධානියා වන කාසිම් සොලෙයිමානිගේ සොහොන අසල දුරස්ථ පාලකයකින් පුපුරුවා හරින ලද බෝම්බ දෙකක් ඉකුත් බදාදා දිනයේ පුපුරුවා හැරීමෙන් අවම වශයෙන් පුද්ගලයෝ 95 දෙනෙක් මරණයට පත් වූහ. ඉස්ලාමීය ජනරජයෙන් යුදමය ප්‍රතිචාරයක් අපේක්ෂා කළ හැකි, 1979 ඉස්ලාමීය විප්ලවයෙන් අනතුරුව රට තුළ සිදු වූ මාරාන්තික බෝම්බ ප්‍රහාරය පිළිබඳව ඊශ්‍රායලයට සෘජුවම චෝදනා කළ යුතු ද යන්න සම්බන්ධයෙන් ඉරාන බලධාරීන් අතර මත ගැටුමක් පවතින බැව් පෙනෙන්නට තිබේ. ඉරානයේ උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි, ද්විත්ව පිපිරීම් “ඉරාන ජාතියේ දුෂ්ට සහ සාපරාධී සතුරන්ට” ආරෝපණය කළ නමුත් ඊශ්‍රායලය නම් කිරීමෙන් වැළකී සිටියේ ය. ඉරාන විදේශ අමාත්‍යාංශය ද ප්‍රහාරය සම්බන්ධයෙන් සිය දිගුකාලීන සතුරාට දොස් පැවරීමෙන් වැළකී සිටියේය.

කෙසේ වෙතත්, ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට (IRGC) සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නායකයින් දෙදෙනකු වන මොහොමඩ් මොක්බර් සහ කඩ්ස් බළකායේ නායක ඉස්මයිල් ඝානි ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය අපරාධකරුවන් බව ප්‍රකාශ කළහ.

බෝම්බ ප්‍රහාරයට තමන් සම්බන්ධ නොවූ බවත්, ඊශ්‍රායලය ද එය පිටුපස සිටින බව විශ්වාස කිරීමට වොෂින්ටනයට කිසිදු හේතුවක් නොමැති බවත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මැතිව් මිලර් බදාදා රාත්‍රියේ පැවසීය. එක්සත් ජනපද ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි පැවසුවේ “ඊශ්‍රායලය මෙයට කිසිදු ආකාරයකින් සම්බන්ධ වූ බවට අපට කිසිදු ඇඟවුමක් නොමැත” යන්නයි.

කඩ්ස් බළකායේ හිටපු අණදෙන නිලධාරි සොලෙයිමානි එක්සත් ජනපද ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනයට ලක්වීමේ සිවුවන සංවත්සරයේදී මෙම බෝම්බ ප්‍රහාර එල්ල විය. ටෙහෙරාන් අගනුවරට සැතපුම් 510ක් පමණ ගිනිකොන දෙසින් පිහිටි කර්මන් හි පිහිටි ජෙනරාල්වරයාගේ සොහොන් ගැබ අසලට ඔහුගේ මරනයෙන් සොවට පත් දහස් ගණනක් පැමිණෙමින් සිටියහ. ඉරානයේ තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සියට අනුව සුසාන භූමියට යන මාර්ගයේ බෑගයක අසුරා තිබූ බෝම්බ යුගළයක් අනුස්මරණ පෙරහැරක් පසුකර යද්දී පුපුරුවා හැරීමෙන් ප්‍රහාරය සිදු විය.

ඉරානය බ්‍රහස්පතින්දා දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර, හදිසි සේවා මඟින් රුධිර පරිත්‍යාග සඳහා ඇමතුම් නිකුත් කළේ අධික මරණ සංඛ්‍යාව සැලකිල්ලට ගෙන රුධිර සැපයුම් හිඟකම හේතුවෙනි.

හමාස් දේශපාලන අංශයේ නියෝජ්‍ය නායක සලේ අල්-අරෝරි, ලෙබනනයේ බේරූට් අගනුවරට එල්ල කෙරුණු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඊශ්‍රායලය විසින් ඝාතනය කර පැය 24කටත් අඩු කාලයකට පසුව බෝම්බ ප්‍රහාර එල්ල විය. ඊශ්‍රායලය මීට ඉහතදී ද රට තුළ ඉරාන නිලධාරීන් ඝාතනය කර ඇත, විශේෂයෙන්ම ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ පුද්ගලයන් එවැනි ප්‍රහාරවල ඉලක්ක බවට පත්වුවද, කිසිදු විටෙකදීවත් මහා පරිමාණ ප්‍රහාරයක් සිදු නොකළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division