Home » ඉරාන හමුදා නායකයා මරා දැමුවේ පුළුල් යුද්ධයක් ඇති කිරීමට ද?

ඉරාන හමුදා නායකයා මරා දැමුවේ පුළුල් යුද්ධයක් ඇති කිරීමට ද?

by sachintha
December 30, 2023 12:24 am 0 comment

වාණිජ නැව් ගමනාගමනයට සහ රතු මුහුදේ එක්සත් ජනපද නාවික හමුදා යාත්‍රාවලට හූති ප්‍රහාර එල්ල කිරීම ගෝලීය ආර්ථිකයට තර්ජනයක් වන අතර එය වැදගත් සූවස් ඇළ වෙළඳ මාර්ගය අනතුරේ හෙළයි. පසුගිය මාසය තුළ එවැනි ප්‍රහාර 14 ක් එල්ල කෙරුණු අතර ඉරානය දැන් සටනට සම්බන්ධ වී සිටින බවට බටහිර ආරක්ෂක අංශ චෝදනා කරයි. ඉරානය දියත් කළ ඩ්‍රෝන යානයක් ඉන්දියන් සාගරයේ දී ඊශ්‍රායලයට අනුබද්ධ වෙළඳ නෞකාවකට පහර දුන් බව පෙන්ටගනය පසුගිය දෙසැම්බර් 23 වන දා චෝදනා කළේය. ප්‍රහාර සම්බන්ධයෙන් වොෂින්ටනය ඍජුවම ඉරානයට දොස් පැවරූ පළමු අවස්ථාව මෙය බව සනිටුහන් කරයි. ටෙහෙරානය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ ඊශ්‍රායලයට එරෙහි සටනේදී හමාස් සංවිධානය ස්වාධීනව ක්‍රියා කරන බවයි. උද්ගතව ඇති තත්ත්වයට මුහුණ දීම සඳහා ඉන්දීය ප්‍රහාරක යානා ද කලාපයට පැමිණ සිටී.

ඉරානයේ IRNA නිල ප්‍රවෘත්ති ඒජන්සියට අනුව, සිරියානු භූමිය තුළ ඉරානයේ ඉහළම අණදෙන නිලධාරි සෙයිද් රාසි මුසාවි ඉකුත් ඉරිදා දමස්කස් අගනුවර තදාසන්න ප්‍රදේශයකට එල්ල කෙරුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ඝාතනයට ලක් විය. මෙය පළිගැනීමක් සඳහා ටෙහෙරානය කැඳවීමකට තුඩු දී ඇති අතර, මැද පෙරදිග කලාපයේ පුළුල් යුද්ධයක් අවුළුවාලන නිමිත්තක් විය හැකි බවට බිය පවතී.

මෙම ඝාතනය පසුපස අරමුණු දෙකක් තිබිය හැකිය. ඊශ්‍රායලය එක්කෝ ඉරානයට කෙරෙන අනතුරු ඇඟවීමක් ලෙස එනම් රතු මුහුදේ නෞකාවන්ට එල්ල කෙරෙන හූති ප්‍රහාරවලට ටෙහෙරානයේ සහාය ලබා දීමට එරෙහිව – නැතහොත් ඊශ්‍රායලයට යුද්ධය විශාල කිරීමට කඩතුරාවක් ලබා දෙන පරිදි ඉරානයෙන් ප්‍රතිචාරයක් ලබා ගැනීමේ ප්‍රකෝපකාරී ක්‍රියාවක් ලෙස හෝ මෙම ප්‍රහාරය සිදු කළා වන්නට පිළිවන.

එක්සත් ජනපද බුද්ධි අංශ විශ්වාස කරන්නේ ඊශ්‍රායල නෞකාවන්ට බාබ් එල්-මන්ඩෙබ් සමුද්‍ර සන්ධිය වසා දමමින්, ඊශ්‍රායල ආර්ථිකයට ඩොලර් බිලියන ගණනක් අහිමි කරන රතු මුහුදේ නැව් ඉලක්ක කිරීමේ හූතී සැලසුමට ඉරානය ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටින බවයි. ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ හෙළීම නතර කරන තුරු එක්සත් ජනපදයේ තර්ජන නොතකා ප්‍රහාර අඛණ්ඩව සිදු කරන බව හූතිවරු අවධාරණය කරති.

දෙවනුව, ඝාතනය ඊශ්‍රායලයට යුද්ධය විශාල කිරීමට කඩතුරාවක් ලබා දෙන පරිදි ඉරානයෙන් ප්‍රතිචාරයක් ලබා ගැනීමේ අරමුණින් හිතාමතාම සිදු කළ ප්‍රකෝප කිරීමක් විය හැකිය. ඉහත තර්ක දෙකට අමතරව, තුන්වන පැහැදිලි කිරීමක් ද තිබේ. ඇතැම් මාධ්‍ය වාර්තාවලට අනුව, ඉරානය ප්‍රමුඛ හමුදා සිරියාවට ඇතුළු වීම් සහ ලෙබනනයේ හිස්බුල්ලා ව්‍යාපාරයට අවි නැව්ගත කිරීමට පහසුකම් සැලසීම මූසාවි භාරව සිටියේය. ඊශ්‍රායලය ලෙබනනයට පහර දීමට අදහස් කරන්නේ නම්, මූසාවි ඉවත් කිරීම හිස්බුල්ලා සන්නද්ධකරණය වළකාලීම මෙන්ම එහි සැපයුම් මාර්ග කඩාකප්පල් කිරීමට අත්‍යවශ්‍ය තාර්කික පළමු පියවර විය හැකිය. එබැවින්, මෙම ඝාතනයට ඉරානය දක්වන ප්‍රතිචාරය කුමක් වුවත්, යුද්ධය පුළුල් කිරීමේ සූදානමේ එක් වැදගත් පියවරක් විය හැකිය.

මෙම සියලු සිද්ධීන් එක් ප්‍රතික්ෂේප කළ නොහැකි යථාර්ථයක් වෙත අප යොමු කරයි: එනම්, ගාසා තීරයේ සටන් විරාමයක් පිළිගන්නා ලෙස ඊශ්‍රායලයට බලපෑම් කිරීම බයිඩන් පාලනය ප්‍රතික්ෂේප කරන තාක් කල්, කලාපයේ ආතතීන් අඛණ්ඩව ඉහළ යනු ඇති අතර මැද පෙරදිග කලාපීය යුද්ධයක් කරා ඇති අතර අමෙරිකා එක්සත් ජනපදය ද එහි කොටස්කරුවකු බවට පත්වනු වැළැක්විය නොහැකිය. මෙම සිදුවීම් කෙසේ හෝ පාලනය කර ඊශ්‍රායලයට ගාසා තීරයේ තම අරමුණු ඉටුකර ගැනීමට ඉඩ සලසා දිය හැකි බව බයිඩන් සිතනවා වන්නට පිළිවන. එහෙත්, බයිඩන්ගේ උපායමාර්ගික නොහැකියාව විසින් වැඩි ඈතක නොයා අමෙරිකානු ජනතාව මැද පෙරදිග කලාපයේ තවත් අනවශ්‍ය යුද්ධයකට යොමු කරනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division