Home » ගාසා තීරයේ ගැටුම කලාපීය යුද්ධයක් බවට පත්වේ

ගාසා තීරයේ ගැටුම කලාපීය යුද්ධයක් බවට පත්වේ

by Mahesh Lakehouse
December 23, 2023 12:30 am 0 comment

මාස් සටන්කාමීන් ඔක්තෝබර් මස 7 වන දින එල්ල කරන ලද ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායලය ගාසා තීරයේ වෙසෙන සියලුම පලස්තීනුවන් මරා දැමීමේ හෝ පලවා හැරීමේ ජන සංහාරක චේතනාවකින් කටයුතු කරන බව පැහැදිලිය.

ජාත්‍යන්තර නීතිය යටතේ, ජන සංහාර පිළිබඳ අපරාධ නිර්වචනය කරනු ලබන්නේ, 1948 දෙසැම්බර් මස එක්සත් ජාතීන්ගේ ජනසංහාර වැළැක්වීමේ සහ දඬුවම් පැමිණවීමට අදාළ සම්මුතියේ (UN Convention on the Prevention and Punishment of the Crime of Genocide) සඳහන් කර ඇති පරිදි, “ජාතික, වාර්ගික හෝ ආගමික කණ්ඩායමක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් විනාශ කිරීමේ චේතනාව” ලෙසින් ය. මෙය ජන සංහාර අපරාධ ලෙසින් හැඳින්වේ. ඊශ්‍රායලය ගාසා තීරයේ ජන සංහාරය සාර්ථකව නිම කරන ආකාරය දෙස හිස්බුල්ලා සංවිධානය නිෂ්ක්‍රීයව බලා සිටී යැයි අපේක්ෂා කළ නොහැකිය.

හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාරවලින් සිදු වන හානිය සහ ඒවායේ පරිමාණය බටහිර මාධ්‍ය විසින් සඟවන බවක් පෙනේ. එහෙත්, හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත එහි සැබෑ ස්වරූපය හෙළි කරයි. ප්‍රහාර 500කට අධික සංඛ්‍යාවක් එල්ල කරමින්, හිස්බුල්ලා සංවිධානය මේ දක්වා ඊශ්‍රායලයට බරපතළ හානියක් සිදු කොට ඇත.

උතුරු දිග ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාර දිනපතාම පාහේ එල්ල කෙරෙමින් පවතී. 2023 ඔක්තෝබර් මාසයේ සිට, ඊශ්‍රායලයට ලෙබනනය සමඟ දේශසීමා ආසන්නයේ ඇති නගර මුළුමනින්න්ම පාහේ ඉවත් කර ගැනීමට සිදුව තිබේ. ඊශ්‍රායලයට මෙය තවදුරටත් දරාගත නොහැකිය. මෙම ප්‍රහාර ඊශ්‍රායලයේ අභිමානයට තර්ජනයකි. උතුරු ඊශ්‍රායලයේ 100,000කට අධික සොල්දාදුවන් පිරිසක් දිගුකාලීනව රඳවා තැබීමේ සමාජ හා ආර්ථික පිරිවැය ඊශ්‍රායලයට තවදුරටත් දරාගත නොහැකිය. ඊශ්‍රායල හමුදාවන්ට රටේ ආරක්ෂාව සහතික කළ නොහැකි බවට මතයක් සමාජගත වෙමින් පවතී.

ලෙබනනයේ බීරූට් අගනුවර තවත් ගාසා තීරයක් බවට පත් කරන බවට අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ ජෙනරාල්වරු තර්ජනය කරති. හිස්බුල්ලා සංවිධානය මෙය මනාව අවබෝධ කරගෙන සිටී.

ඊශ්‍රායල සමූහ ඝාතනවලින් බේරූට්හි සිවිල් වැසියන් ආරක්ෂා කර ගැනීම සඳහා ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාරවල පරිමාණය ඔවුන් තාවකාලිකව හකුළා ගෙන සිටිනුයේ එබැවිනි. ඒ අතරම හිස්බුල්ලා සංවිධානයට රුසියාවේ නිෂ්පාදිත පැන්ට්සීර් ගුවන් ආරක්ෂක පද්ධති ද ලැබී ඇත. ඊශ්‍රායලය ලෙබනනයට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන අතරම, බීරූට් අගනුවර ආරක්ෂා කිරීම සඳහා තවත් රුසියානු සහ ඉරාන ගුවන් ආරක්ෂක සැපයුම් හිස්බුල්ලා සංවිධානයට ලැබෙමින් පවතී.

රතු මුහුදේ ගැටුම් උත්සන්න වුවහොත් ඇමෙරිකානු යුද නැව්වලට පහර දෙන බවට යේමනයේ හවුති කැරලි නායකයා මේ අතර ප්‍රතිඥා දී තිබේ.

ගෝලීය නාවික ගමනාගමනයට ප්‍රබල බාධාවක් එල්ල කරන ඉරානයේ පිටුබලය ලත් හවුතිවරුන්ගේ ප්‍රහාර නැවැත්වීම ඉලක්ක කරගත් ජාත්‍යන්තර සන්ධානයක් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉකුත් සඳුදා දිනයේ එළිදක්වන ලදි. ප්‍රොස්පරිටි ගාඩියන් මෙහෙයුමේ කොටසක් ලෙස දැන් යේමනය අවට මුහුදේ ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ යුද නෞකා ස්ථානගත කොට ඇත.

ගෝලීය මුහුදු වෙළඳාමෙන් දහයෙන් එකක් රතු මුහුද ඔස්සේ ගමන් කරන අතර නවතම තර්ජන හමුවේ නැව් සමාගම් අප්‍රිකාවේ සුබ පැතුම් තුඩුව වටා යළි ගමන් කිරීම ආරම්භ කර ඇත්තේ තම නාවික ගමනට අවම වශයෙන් තවත් දින 10ක් එකතු කරමිනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division