Home » ලෝක පොලිස්කාරයා ගැන අවුරුදු 42ක් කියුබාවට ඔත්තු සැපයූ අමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයා

ලෝක පොලිස්කාරයා ගැන අවුරුදු 42ක් කියුබාවට ඔත්තු සැපයූ අමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයා

by Mahesh Lakehouse
December 9, 2023 12:30 am 0 comment

කියුබාව යළි අමෙරිකාවට කරදර කරන්නට පටන්ගෙනය. අමෙරිකාවේ දශක ගණනාවක් තිස්සේ පැවැති දරුණු හිසරදයක් නැවත අලුත් වී ඇත. ධනවාදයේ එළිපත්තේ දැල්වුණු ගිනි සිළුවක් සේ හැම අතින්ම අභියෝග කළ කියුබාවේ විප්ලවීය නායක ෆිදෙල් කස්ත්‍රෝ මිය යෑමෙන් පසු අමෙරිකාව දැන් මුහුණ දී සිටින්නේ කිසිදාක අපේක්ෂා නොකළ වෙනත් ආකාරයේ ගැටලුවකටය. එය අමෙරිකාවේ කීර්තිය හා ගෞරවය බිංදුවටම ඇද දැමූ අර්බුදයක් පමණක් නොව මෙතෙක් කාලයක් ලොව බොහෝ රටවල දේශපාලනය හා ආර්ථිකය උපායශීලිව වෙනස් කිරීමට සමත් වූ බව කියන අමෙරිකාවේ සීඅයිඒ කාරයන්ගේ රෙදි ගැල වූ සිදු වීමකි.

මේ කියන්නේ දශක ගණනාවක් තිස්සේ කියුබාවට ඔත්තු බැලූ අමෙරිකාවේ නොම්මර එකේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියා ගැනය. ඔහු හසු වූයේ ඊයේ පෙරේදාය. ඒ වන තුරු අවුරුදු 42ක්ම අමෙරිකාවේ රාජ්‍ය රහස්, ජාත්‍යන්තර සැලසුම් පමණක් නොව අන් සියලු ආකාරයේ ක්‍රියාකාරකම් ගැනත් කියුබාවට අකුරක් නෑර තොරතුරු සැපයූ ඔහු වික්ටර් මැනුවෙල් රොචා ය. 73 හැවිරිදි මේ විශ්‍රාමිකයා පසුගියදා අත්අඩංගුවට පත් වූයේ මියාමි නුවර ඔහුගේ නිවහනේ විවේක සුවයෙන් සිටියදීය.

ඇමෙරිකාවට මේ සිදු වී ඇත්තේ සිය බුද්ධි අංශ ජාලය එහෙම පිටින්ම ප්‍රතිසංස්කරණයට ලක්කිරීමට අවධානය යොමු කරවීමකි. අවුරුදු 42ක් යනු සුලුපටු කාල පරිච්ඡේදයක් නොවන බැවින් ඒ දීර්ඝ කාලය ඇතුළත මේ කියන රාජ්‍යතාන්ත්‍රික නිලධාරියා කෙරෙහි සීඅයිඒ සංවිධානයේ උකුසු ඇස යොමු නොවීම බරපතළ ගැටලුවක් ද මතු කර තිබේ.

ෆිදෙල් කස්ත්‍රෝ ජීවතුන් අතර සිටියදී ප්‍රකාශ කළ පරිදි අමෙරිකාවට මේ සිදු වී ඇත්තේ කොතරම් අභියෝග කළ ද, කියුබාවේ බුද්ධි අංශ සහ ඔත්තු සේවා ගැන අඩු තක්සේරුවට ලක් කිරීමේ ප්‍රතිඵලයය. කස්ත්‍රෝගේ දශක 5ක පාලන කාලය තුළ ඔහු ඝාතනය කිරීමට ඇමෙරිකාව සැලසුම් කළ බව කියන 600කට අධික ඝාතන ඉලක්ක ප්‍රමාණය අසාර්ථක කිරීමට සමත් වූ කියුබාවේ ඔත්තු සේවා ඒ සඳහා ඇමෙරිකාවේ පුරවැසියන්ගෙන් යම්කිසි දායකත්වයක් ලැබුවාට සැකයක් නැත.

සැබැවින්ම දශක 5ක් පුරා කියුබාවේ අසහාය නායකයා ලෙස කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම කස්ත්‍රෝ නිර්මාණය කිරීමට එරට ඔත්තු සේවා වැදගත් භූමිකාවක නිරත වූ බව ප්‍රකට කරුණකි. එබැවින් එවකට කස්ත්‍රෝට සිය ජීවිතය ගැන ලොකු අවදානමක් තිබුණේම නැත. ඔහු නිතරම කියා සිටියේ ‘අමෙරිකානු ජනාධිපතිවරුන්ගේ මැකියාවේලි සැලසුම් මගේ සිනහවට කාරණයක් වුණා.‘ කියා ය. මෙහිදී මැකියාවේලිගේ කුමාරයා කෘතිය ගැනත් යමක් කිව යුතුය. 15 වැනි සියවසේ ඉතාලියේ ජීවත් වූ නිකොලායි මැකියාවේලි ජාත්‍යන්තර දේශපාලන විචාරකයන්ට අනුව නූතන දේශපාලන විද්‍යාවේ පියා හැටියටය. දේශපාලඥයකුගේ භූමිකාව කෙසේ විය යුතුදැයි පොත් කන්දරාවක් ලියූ මේ දාර්ශනිකයාට අනුව දේශපාලකයා අසීමිත කාරුණික විය යුතු නැත. ජනතාව සහ ප්‍රතිවාදීන් තැති ගැන්වෙනසුලු චරිතයක් විය යුතුය. ඔහුගේ දර්ශනයට අනුව දේශපාලකයට දුෂ්ටකම් ද තිබිය යුතුය. සිය බලය රැක ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීමට කළ හැකි සියලු දේ කිරීමට නොපැකිළිය යුතුය.

එහෙත් කියුබාව සමඟ සියලු රාජ්‍යතාන්ත්‍රික සබඳතා මුලින්ම බිඳ දැමූ ඩ්වයිට් අයිසින්හෝවර්ගේ සිට නැවත රාජ්‍යතාන්ත්‍රික සබඳතා අලුත් කිරීමට තීරණය කළ බැරක් ඔබාමා දක්වා අමෙරිකානු ජනාධිපතිවරු 11 දෙනකු සමඟ ඔට්ටු වීමට කස්ත්‍රෝ සමත් විය. මුහුණට මුහුණ ගැටුණේය. ඔහු කොටු කරගැනීමට උපාය මාර්ග සැලසුම් කළ අමෙරිකාවේ ජනාධිපතිවරු දුටුවේ ඔහු පමණි. ඔහුගේ නායකත්වය ආරක්ෂා කර ගැනීමට පසුපසින් සිටි අදෘෂ්‍යමාන බලවේග ගැන අවධානය යොමු කළේ නැත.

අමෙරිකාවේ ඉහළම මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු ලෙස දශක ගණනාවක් සේවය කළ වික්ටර් රොචා ද ඔය කියන අදෘෂ්‍යමාන බලවේගයක් බවට පත්වී තිබූ බව අමෙරිකාව දැන ගත්තේ ඊයේ පෙරේදාය. ඒ වෙද්දී ඔහු විසින් කියුබාවට සපයනු ලැබූ බව කියන ඔත්තු කන්දරාව කෙළවරක් නැති බව මේ වන විට අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට අවබෝධ වී තිබේ.

කියුබානු විප්ලවයට වසර 9කට පෙර කොලොම්බියාවේ උපන් වික්ටර් රොචා එසේ මෙසේ පුද්ගලයකු නොවන බව ඔහුගේ පැටිකිරිය විපරම් කිරීමේදී පැහැදිලිය. කුඩා වියේදි සිය පවුලේ සාමාජිකයන් සමඟ අමෙරිකාවට සේන්දු වී නිව්යෝක් සිටි නුවර හැදී වැඩුණු රොචා අධ්‍යාපනය ලැබුවේ එහිදීය.

උපාධිය ලබා ගත්තේ යේල් විශ්වවිද්‍යාලයෙනි. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ සහ ජොර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි දෙකක් ද තිබේ. ඔහු අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සේවයට එක් වූයේ 1981 වසරේදීය. ඒ වන විට ඔහු අමෙරිකාවේ නිත්‍ය පුරවැසිභාවය ලබා සිටි අතර, එරට රාජ්‍ය සේවයට හැම අතින්ම සුදුසුකම් කීවේය. ඔහු අත්අඩංගුවට පත් වීමෙන් පසු එරට මාධ්‍යවේදිනියක සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ සීඅයිඒ සංවිධානයේ හිටපු පරීක්ෂණ නිලධාරියකු වන රොබර්ට් බයිර්ට අනුව වික්ටර් රොචා කියුබාවේ ඔත්තුකරුවකු වීමේ පසුබිම නිර්මාණය වී ඇත්තේ ඊටත් වසර ගණනාවකට පෙරය.

‘තරුණ කාලයේදීම ඔහු කියුබාවේ ඔත්තුකරුවෙක් වෙන්න ඇති. පෙනෙන හැටියට නම් ඔහු ඇමෙරිකාවේ විදේශ සේවා විභාගය සමත් වීම, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සේවයට බැඳීම කියුබාවේ උපදෙස් අනුව සිද්ධ වෙන්න ඇති. ඇත්තෙන්ම ඔහු වැඩ කළේ අමෙරිකාවට ආදරය කරන පුරවැසියෙක් විදිහටයි. ඔහු අතිවිශිෂ්ට රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙක් බව කියන්නම ඕනා. ඔහු රාජ්‍ය හිතෛෂිභාවය ඉහළින්ම පෙන්නුම් කළා. ඒත් ඔහු දෙබිඩි ජීවිතයක් ගත කළ පුද්ගලයෙක්. කියුබාවට අනුව නම් රොචා හැම අතින්ම සාර්ථක ඔත්තුකාරයෙක්. ඔහු මුදලට ඔත්තු දුන් පුද්ගලයෙක් නොවන බවත් අපි හොයා ගත්තා. ඒ වගේ කෙනෙක් කොටු කර ගන්න එක හරිම අමාරුයි.‘ දශක 4ක් පුරා වික්ටර් කවුරුන්දැයි හෙළි කරගැනීමට අපහසු වූ කාරණාව රොබර්ට් බයිර් දකින්නේ ඒ ආකාරයෙනි.

1981 වසරේ නොවැම්බරයේ සිට ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සේවයට එක් වූ මේ අතිශූර පුද්ගලයා 1982 දෙසැම්බරයේ සිට 1985 ජනවාරිය දක්වා ඩොමිනිකන් රාජ්‍යයේ අමෙරිකානු දේශපාලන නිලධාරියා ලෙස රාජකාරියේ නිරත වූ අතර, ඔහුට සිය අනාගත බිරිය කාර්ලා විටාකොප් මුණ ගැසෙන්නේ එහිදීය. පසුකාලීනව රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු අමෙරිකාවේ සිට වරින් වර කියුබාවට යෑමට වික්ටර් භාවිත කර ඇත්තේ ඩොමිනිකන් රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍රයකි. ඔහුට එම විදේශ ගමන් බලපත්‍රය ලැබී ඇත්තේ ඔහුගේ බිරිය ඩොමිනිකන් ජාතිකයකු වීම නිසාය.

රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු ලෙස එවකට අමෙරිකාවේ ජනාධිපතිවරු අතර කීර්තියක් සහ විශ්වාසයක් දිනා ගැනීමට සමත් වූ වික්ටර් රොචා 1987 පෙබරවාරියේ සිට 1989 පෙබරවාරිය දක්වා හොන්ඩරස් රාජ්‍යයේ දේශපාලන හා මිලිටරි කටයුතු පිළිබඳ නිලධාරියා ලෙස සේවය කළ අතර, 1989 පෙබරවාරියේ සිට 1991 නොවැම්බරය දක්වා මෙක්සිකෝවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරයා ලෙස කටයුතු කළේය. අනතුරුව 1991 නොවැම්බරයේ සිට 1994 ජූලි මාසය දක්වා යළි ඩොමිනිකන් රාජ්‍යයේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස සේවය කළ හෙතෙම 1994 ජූලි මාසයේදී අමෙරිකාවේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයකු බවට ද පත් වූයේ ඉහළ නායකත්වයේ විශ්වාසය දිනා ගනිමිනි. එහිදී ඔහුගේ කාර්යභාරය වූයේ එවකට අමෙරිකාවේ ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ උපදෙස් අනුව කියුබානු රජය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය කරගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමය. 1995 සහ 1997 ජූලි මාසය අතර කාලයේදී ඔහු කියුබාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ඉහළ තනතුරක ද කටයුතු කර ඇති අතර, 1997 ජූලියේ සිට 1999 නොවැම්බර දක්වා ආජෙන්ටිනාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස සේවයට එක් විය.

ඉතාලියේ අමෙරිකානු තානාපති කාර්යාලයේ ද කලක් කටයුතු කළ වික්ටර් රොචාට කියුබාවට ඔත්තු සැපයීමට ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික සේවා වපසරිය හොඳටෝම ප්‍රමාණවත් බවට ඒවා කදිම නිදසුන්ය.

වික්ටර් රොචා බොලීවියාවේ තානාපතිවරයා ලෙස පත් වන්නේ 2000 වසරේ ජූනි මාසයේදීය. ඔහු එම තනතුරට පත් කරනු ලැබුවේ ජනාධිපති බිල් ක්ලින්ටන් විසිනි. අනතුරුව 2002 අගෝස්තුව දක්වා එම තනතුරෙහි කටයුතු කළ ඔහු එවකට බොලීවියාවේ මහ මැතිවරණයට මැදිහත් වී තිබිණි. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු අමෙරිකාවේ විවිධ සමාගම්වල සහ සංවිධානවල ඉහළම තනතුරුවල කටයුතු කර ඇති අතර, අත්අඩංගුවට පත්වූ දිනය දක්වාම එරට රජයේ ගෞරවයට හා කීර්තියට පාත්‍ර වී සිටියේය. වික්ටර් රොචා ගැන සීඅයිඒ සහ එෆ්බීඅයි නිලධාරින්ගේ සැකයක් මතු වී ඇත්තේ ඔහු විශ්‍රාම ගැනීමටත් වසර කිහිපයකට පසුවය. රාජ්‍යතාන්ත්‍රික සේවයෙන් විශ්‍රාම යෑමෙන් පසු ඔහුට කියුබාවට ඔත්තු සැපයීමේදී දුෂ්කරතාවට පත්වීමට සිදුවීම ඊට හේතු විය හැකි බවට එරට මාධ්‍ය අනුමාන කළ ද, සැබැවින්ම රොචා කියුබාවේ ඔත්තුකරුවකු බව තහවුරු කර ගනු ලැබුවේ කියුබානු ක්‍රියාකාරිකයකු බවට ඒත්තු ගන්වමින් ඔහු සමඟ සමීප ඇසුරක් පවත්වා ගෙන ගිය එෆ්බීඅයි නිලධාරියෙකි. ඒ සඳහා සෑහෙන කාලයක් ගත වූ බවත් වාර්තා විය.

සීඅයිඒ වැනි ඔත්තු සේවයේ අතිශූර සංවිධානයකට සිය රටෙහි ඔත්තු බැලූ පුරවැසියකු හඳුනා ගැනීමට එතරම් කාලයක් ගතවීම ජාත්‍යන්තර කතාබහට ලක් වූ කාරණාවකි. සීඅයිඒ සංවිධානයේ හිටපු නිලධාරියා පවසන්නේ වෙනත් කතාවකි.

‘ඒක රඳා පවතින්නේ එකිනෙකාගේ තරාතිරම අනුවයි. වික්ටර් රොචා වගේ රාජ්‍ය නායකයන්ගේ පවා විශ්වාසය දිනාගත්තු නිලධාරියෙක් විදෙස් රටකට ඔත්තු සැපයීමේ චෝදනාවට එක එල්ලයේම අත්අඩංගුවට ගන්න බෑ. අනිත් අතට ඔහු සේවය කළ රාජ්‍ය දෙපාර්තමේන්තුව සාමාන්‍යයෙන් සේවයට බඳවා ගන්නා අය ඔවුන්ගේ ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව හඳුනා ගැනීමට සිදු කරන ‘පොලිග්‍රාෆ්‘ පරීක්ෂණයට ලක් කරන්නේ නෑ. කාලයෙන් කාලයට ඔවුන්ගේ පසුබිම හා දින චර්යාව වගේ ආරක්ෂාවට සම්බන්ධ තොරතුරු විපරම් කිරීමක් විතරයි සිදු කරන්නේ. ඒත් කෙනෙක් විශ්වාසය දිනා ගත්තට පස්සේ ඒ වගේ දේවල් කරන්නෙම නැති තරම්. ඒක නෙවෙයි වැදගත්ම කාරණාව වන්නේ කියුබාවේ බුද්ධි අංශයේ ක්‍රියාකලාපයයි. නිසැකවම ඔවුන් ලෝකයේ හොඳම බුද්ධි අංශවලින් එකක්. අපි ඔවුන් අඩු තක්සේරුවට ලක් කිරීම තමයි වැරැද්ද‘

සීඅයිඒ නිලධාරියාගේ අවධානය යොමු වී ඇත්තේ වික්ටර් රොචා සපයනු ලැබූ අමෙරිකාවේ රහස් තොරතුරු කියුබාවෙන් වෙනත් රටවලට අලෙවි කළේදැයි යන්න විපරම් කිරීමය. කියුබාව සහ රුසියාව අතර ශක්තිමත් මිත්‍රත්වයක් පවතින බවත්, නිසැකවම කියුබාව විසින් රොචා දුන් රහස් තොරතුරු රුසියාවට ලබා දුන් බවට අනුමාන කළ හැකි බවත් සීඅයිඒ නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ඔහු කියන්නේ වික්ටර් රොචාගේ සිදුවීම රොබර්ට් හැන්සෙන්ගේ සිදු වීමට වඩා වෙනස් බවය. රොබර්ට් හැන්සෙන් යනු හිටපු එෆ්බීඅයි රහස් ඔත්තු නිලධාරියෙකි. ඔහු වසර 1979 සිට 2001 දක්වා කාලසීමාව තුළ අමෙරිකාවේ රහස් තොරතුරු රුසියාවට සැපයූ අතර, අමෙරිකාව ඔහු හඳුන්වනු ලබන්නේ එරට ඉතිහාසයේ දරුණුතම බුද්ධි ව්‍යසනය සිදු කළ පුද්ගලයා හැටියටය. ඔහු න්‍යෂ්ටික යුද්ධයකදී අමෙරිකාව විසින් ගැනීමට සැලසුම් කර ඇති උපාය මාර්ගික ක්‍රියාමාර්ග, මිලිටරි ආයුධ තාක්ෂණය ඇතුළු රහසිගත ලේඛන හයදහසකට වඩා රුසියාවේ කේජීබී ඔත්තු සේවයට අලෙවි කර ඇති බවට හෙළි විය. වසර 22ක් පුරා රුසියාවට ඔත්තු සැපයූ රොබර්ට් හැන්සෙන් එමඟින් උපයා ගත් ධනය ඩොලර් මිලියන 1.4කට වැඩි බවත් වාර්තා විය. වරද පිළිගැනීමෙන් පසු මරණ දඬුවමින් බේරුණු මේ ඔත්තුකරුවාට කිසිදු සමාවකින් තොරව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ අතර, මේ වසරේ මැද භාගයේදී ස්වාභාවික මරණයකට ගොදුරු වනතුරුම බන්ධනාගාරගත වී සිටියේය.

එහෙත් වසර 42ක කාලයක් කියුබාවට ඔත්තු සැපයූ වික්ටර් රොචා අමෙරිකාවට සිදු කර ඇත්තේ ඊටත් වඩා දරුණු ව්‍යවසනයකි. එය තවමත් පරීක්ෂණ මට්ටමේ තිබෙන බැවින් ඔහු විසින් කියුබාවට සපයනු ලැබූ තොරතුරු ප්‍රමාණය අනුමාන කිරීමට වේලාසන වැඩිය. වැඩිම කාලයක් විදෙස් රටකට ඔත්තු සැපයූ ඇමෙරිකානු ජාතිකයා වික්ටර් රොචා වුව ද, එහි ගිනස් වාර්තාවට හිමිකම් කියනු ලබන්නේ ඔහු නොව බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. ඇය මෙලිටා නෝර්වුඩ් ය. ඇය හඳුනා නොගත් ඔත්තුකාරිනියකි. 1937 වසරේ සිට රුසියාවේ කේජීබී බුද්ධි සේවයට බ්‍රිතාන්‍ය රහස් තොරතුරු සපයා ඇති අතර, කේජීබී සංවිධානය ඇය හඳුන්වන්නේ ‘ඒජන්ත හෝලා‘ නමිනි. බ්‍රිතාන්‍ය න්‍යෂ්ටික අවි ඇතුළු රජයේ සියලු ක්‍රියාකාරකම් පිළිබඳ කේජීබී ඔත්තු සේවයට තොරතුරු සැපයූ මෙලිටා නෝර්වුඩ් වසර 45ක් පුරා සිය කටයුතු කිසිදු බාධාවකින් තොරව කරගෙන ගියාය. ඇය පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ 1999 දී කේජීබී ඔත්තු සේවයේ හිටපු නිලධාරියකු විසින් ලියන ලද කෘතියකිනි. ඒ වන විට ඇය ඔත්තු සැපයීමේ රාජකාරියෙන් විශ්‍රාම ගොස් විවේක සුවයෙන් පසු වූ මිත්තණියකි.

වික්ටර් රොචා අත්අඩංගුවට පත් වූයේ ඇගේ ගිනස් වාර්තාව අබිබවා යෑමට වසර තුනක් ඉතිරිව තිබියදීය. අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ විදේශීය රටකට ඔත්තු සපයන අතරතුර අමෙරිකානු රජයට පක්ෂපාතී බවට ව්‍යාජ ලෙස ප්‍රතිඥා දීමෙන් එම ජනතා විශ්වාසය පාවා දී ඇති බවය. එය බරපතළ අපරාධයක් බවත් නීතිපති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. විදේශීය රජයේ නියෝජිතයකු ලෙස කටයුතු කිරීමට කුමන්ත්‍රණය කිරීම, රජයේ පූර්ව අවසරයකින් තොරව විදේශ රජයක නියෝජිතයකු ලෙස කටයුතු කිරීම, අසත්‍ය ප්‍රකාශ කරමින් ලබාගත් අමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය අවභාවිත කිරීම ඔහුට එරෙහිව ඇති චෝදනා වේ. එහෙත් ඇමෙරිකාවට හිසරදයක් වී ඇත්තේ වික්ටර් රොචාට දඬුවම් කිරීම නොව, ඔහු විසින් කියුබාවට සැපයූ අතිශය රහසිගත අමෙරිකානු තොරතුරු තුන්වැනි පාර්ශ්වයක් අතට පත් වීම ගැනය.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division