Home » ගාසා තීරයට සටන් විරාමයක්

ගාසා තීරයට සටන් විරාමයක්

by Mahesh Lakehouse
November 25, 2023 12:35 am 0 comment

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර කටාර් රාජ්‍යය, ඊජිප්තුව සහ අමෙරිකා එක්සත් ජනපදය මැදිහත්ව ඇති කරගත් එකඟතාවට අනුව දින හතරක් සඳහා සටන් නතර කිරීමට සියලු පාර්ශ්ව එකඟ වී ඇත. හමාස් සංවිධානය විසින් ඔක්තෝබර් මස 7 වන දින අල්ලා ගනු ලැබූ කාන්තාවන් සහ ළමුන් 50 දෙනෙකු නිදහස් කරනු ඇති අතර ඊශ්‍රායලය විසින් තම හමුදා බන්ධනාගාරවල රඳවා සිටින 10,000ක් හෝ ඊට වැඩි පලස්තීනුවන් අතර සිටින කාන්තාවන් සහ ළමුන් 150 දෙනෙකු නිදහස් කරනු ඇත.

මූලික ගිවිසුම ක්‍රියාත්මක කිරීමෙන් පසු තවත් දින පහක් දක්වා විරාමය දීර්ඝ කිරීමේ සහ තවත් ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීමේ හැකියාවක් පවතී. එය සටන් විරාමය දින නවයක් දක්වා දීර්ඝ කිරීමකට තුඩු දිය හැකිය. එකඟතාව යටතේ ගාසා වැසියන්ට මානුෂීය ආධාර සහ ඉන්ධන වැඩි ප්‍රමාණයක් ලැබෙනු ඇත.

සටන් විරාම එකඟතාව ගාසා වැසියන්ට මෙන්ම, පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ලොව පුරා නැඟුණු මානුෂවාදී ඉල්ලීම් ලැබු ජයග්‍රහණයක් වන නමුත් එය ඊශ්‍රායල රජයට උභතෝකෝටික කිහිපයක් මතු කරයි.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ට අවශ්‍ය වූයේ හමාස් මත පීඩනය තවදුරටත් පවත්වා ගෙන යාමට ය. අනෙක් අතට, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමට නම් සටන් නතර කළ යුතු බව පැහැදිලිය. එපමණක් නොව, මෙම ගනුදෙනුව පිරිමින් සහ සොල්දාදුවන් හැර කාන්තාවන්ට සහ ළමයින්ට පමණක් අදාළ කරගැනීමට ඊශ්‍රායල්වරු කැමති නොවනු ඇත. තව ද එය ඉදිරි දිනවලදී යළි සංවිධානය වී ප්‍රහාර යළි එල්ල කිරීමට හමාස් සංවිධානයට ලබා දුන් අවසර පතක් වනු ඇති අතර, ඊශ්‍රායලයෙන් තවත් සටන් විරාම සහ සහන ඉල්ලා බල කිරීමට ඉතිරි ප්‍රාණ ඇපකරුවන් යොදා ගැනීමට අවස්ථාවක් ඔවුන්ට ලබා දෙනු ඇත.

පළපුරුදු දේශපාලඥයකු වන, ඊශ්‍රායල අගමැති බෙන්යමින් නෙතන්යාහු සංවේදී සිරකරුවන් හුවමාරු ගිවිසුමකට අත්සන් තැබූ පළමු අවස්ථාව මෙය නොවේ. 2011 දී ඊශ්‍රායලය තනි ඊශ්‍රායල සොල්දාදුවකු වූ ගිලාඩ් ෂාලිට් වෙනුවට සිරකරුවන් 1,000කට වැඩි ප්‍රමාණයක් නිදහස් කරන විට ඔහු අගමැතිවරයාව සිටියේය. මුදා හරින ලද සිරකරුවන් අතර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටි 280 දෙනෙකු ද සිටි අතර ඔවුන් අතරට ගාසා තීරයේ වත්මන් හමාස් නායක යාහ්යා සින්වර් ද ඇතුළත් විය. ඔක්තෝබර් 7 හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල වීදිවල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට ප්‍රමුඛත්වය දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණ සිදු විය. මෙය ඊශ්‍රායල දේශපාලනය බෙහෙවින් සංවේදී කාරණා බැව් නොකිවමනාය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division